මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේ දවස්වල නිතරම වැස්ස ඒක නිසා සතිඅන්තයේ කොහේවත් යන්න හිතුනේ නැහැ. ගෙදරට වෙලා නිදා ගන්න එක තමා වැඩිපුරම කලේ. ඊයේ (ඉරිදා)ටිකක් පායලා තිබ්බ නිසා දවල් ගියා නෑදෑ ගෙදරක ගිහින් ටික වෙලාවකින් එයාල එක්ක එහෙ දවල්ට කන්න හදලා තිබ්බ කෑම භාජනත් එක්කම අරන් ගියා මීගමුවේ වෙරළ උද්‍යානයට නාන්න.

ඇතුලට යන්න වාහනේටම රුපියල් පනහක ටිකට් එකක් නම් කඩනවා. හැබැයි ඇතුලේ නඩත්තුව නම් අන්තිමයි. හැම තනම කුණු. කුණු දාන්න එකම එක තැනක් විතරයි මන් දැක්කේ ඉතින් මිනිස්සු හැමතැනම් දාලා. එක ටැප් එකක් තියෙනවා ඉතින් එතන දිග පෝලිමක් මිනිස්සු බෝතල් වලට වතුර එකතු කරන් තමා මුහුදේ නාලා ඇවිත් නාන්නේ (අපේ මාමා කෙනෙක් නම් කිව්වා මුහුදේ නෑවම ලුණු වතුර පිටින් ඉන්න ඕනෙලු නැත්නම් මුහුදේ නාපු එකෙන් වැඩක් නැහැ කිව්වා ඒකත් ඇත්ත එක අතකට).

ඒ අස්සේ මගේ අතේ තිබ්බ ඉස්සො වඩේ එකක් කවුද එක පාරටම උදුර ගත්තා. බැලුවහම කපුටෙක් අවිත් උරහිස්සේ වහල අතේ තිබ්බ වඩේ කෑල්ල අරන් ගියා. වඩේ කෑල්ල ගැන නම් අවුලක් නැහැ ඒත් කපුටන්ගේ නියපොතු පාර වැදුනම තරු පේනවා. මීට කලින් දවසකත් කපුටෙක් මගේ ඔළුවේ වහගෙන ගියා (මගේ ඔළුව කපුටු කූඩුවක් වගේ නම් නැහැ යන්තම් කොන්ඩේ තියෙන්නේ). එදත් නියපොතු පාර මතක හිටින්නම ඔළුවට වැදුනා.

කනගාටුදායකම තත්වේ තමා මිනිස්සු බීලා බොතල් දාලා සමහර එවා බිඳලා ඉතින් වීදුරු කටු හැම තැනම මුහුදු වෙරළට යනකොට ලොකු පොඩි හැමෝම සෙරෙප්පු සපත්තු ගලෝලා යන්නේ ඉතින් කකුල කැපෙන්න තියෙන ඉඩ නම් හරිම වැඩියි.ඒක නම් හරිම ජරා වැඩක්.මිනිස්සු බිව්වට කමක් නැහැ ඒත් ආයිත් දවසක ඇවිත් ආපහු බොන්න බීපු තැන ඉතුරු කරන්න ඕනේ කියන එක නම් හිතේ තියා ගන්නම ඕනේ

මේ දවස්වල මට ටිකක් හෙම්බිරිස්සාව ඉතින් හැම වෙලේම නහයෙන් බේරි බේරි තමා ඉන්නේ.
ඔය අතරේ මට සිද්ද් උනා පොඩි උවමනාවකට පොදු වැසිකිලියකට යන්න.
ලංකාවේ පොදු වැසිකිලි හරිම පිරිසිදුයිනේ ඉතින් ඒවා ඇතුලේ මාර සුවඳයි
සාමාන්‍යයෙන් නම් ගිහින් එනකම් හුස්ම ගන්නේ නැතුව තමා ඉන්නේ

ඉතින් ඔන්න මන් මගේ කටයුත්ත සිදු කරමින් ඉන්න අතරේ මගේ නහයෙන් බේරෙන්න පටන් ගත්තා

ඉතින් ඔයවගේ වෙලාවකට කරන්න තියෙන්නේ දෙවල් දෙකයි එකක් ලේන්සුවෙන් පිහදාගන එක
ඒත් මට ඒක කරන්න අත් දෙක නිදහස් කරගන්න විදිහක් නැහැ
අත් නිදහස් කලොත් මට සිද්ද වෙන්නේ කලිසම තෙමා ගන්න

අනික් එක තමයි හොඳට උඩට හුස්මක් ඇදලා එලියට එනටික ඇතුලට ඇදලා ගන්න එක
අනේ මට එක කරන්න විදිහකුත් නැහැ
පොදු වැසිකිලියේ සුවඳවත් වාතයෙන් මගේ පෙනහළු පුරෝ ගන්න බැරි නිසා.

මොනවා කරන්නද ලාවට දැනිච්ච ලුණු රසකුත් එක්ක මගේ කටයුත්ත මන් ඉවර කලේ තවත් කෙනෙකුට මූණ පෙන්නන්න බැරි තත්වෙකට පත් වෙමින්.

වැඩිය සෙනගක් නොහිටපු නිසා ඉකමනින්නම මූණ පිහදාගත්තා වැඩේ ඉවර වෙලා.

හැමදේම තිබ්බත් සමහර වෙලාවට අපිට පොඩි දෙයක්වත් කරගන්න බැරි තරම් අසරන වෙන වෙලාවල නැත්තෙමත් නැහැ මේ ජීවිතේ....!!!!

අපේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත්. මම නම් තුන් වේලටම කන්න කැමති බත් ඒත් ඉඳලා හිටලා උදේ රෑ වේල් දෙකනම් වෙන වෙන කෑම ජාති කන්නත් අකමැත්තෙන් උනත් සිද්ධ වෙනවා. ඒත් දවලටනම් කොහොම හරි බත් ටිකක් කන්න තමා හැම වෙලේම ට්‍රයි කරන්නේ.

අපේ සමහර අය ඉන්නවා බත් කන්න වැඩිය කැමති නැති අය ඉතින් ඒ අය බත් කන්න පුළුවන් කමක් තිබ්බත් වෙන වෙන දේවල් කනවා. උදේ රෑ වේල් දෙක අත ඇරියත් දවල්ටත් බත් නැතුව වෙන වෙන කෑම කන අය ඕනේ තරම් ඉන්නවා.

තවත් කොටසක් ඉන්නවා බත් ටිකක් කන්න කොච්චර ආස උනත් එක වේලක් වත් බත් කන්න තරම් පුළුවන් කමක් නැති අය. මේක ලියන්න හිතුනේ ඒ අය නිසා. මම දවල්ට කන්න ගියාම එතනට එන සමහර අය දවල් කෑම ඒකට බොන්නේ ප්ලේන්ටියක් විතරයි. අපිට නම් ඉතින් දවල් කියන්නේ බත් කන වෙලාව මිසක් ප්ලේන්ටි බොන වෙලාවක් නෙමෙයිනේ. තවත් සමහරු වඩේ එකක් කාල ප්ලේන්ටියක් බොනවා. මේ අය අතරනම් බත් කන්න අකමැති නිසා ප්ලේන්ටි බොන අය නැහැ. බත් එකක් කන්න තරම් පුළුවන් කමක් නැති නිසා තමා මේ පිරිස වෙන මොනවායින් හරි දවල් වේල පිරිමහ ගන්නේ.

අපි වට පිටේ මිනිස්සු බඩගින්නට ප්ලේන්ටි බොද්දි අපේ බත් මුලෙන් කොච්චර අපි විසිකරලා ඇද්ද? ඒක කාටවත් දෙන්න නම් බැහැ තමයි ඒත් අපි අතින් කොච්චරනම් බත් අහක ගිහින් ඇද්ද. දන්සැල්, මළ ගෙවල්, මගුල් ගෙවල්, දානේ ගෙවල් කියලා කොච්චර නම් කෑම අපේ අය අහක දානවා ඇද්ද?

මේ දවස්වල කඩේ කෑම වේලට කොස්, දෙල් වරදින්නේ නැහැ. දවසින් දවස බඩු ගනන් යන නිසා කෑම වේල ලාබේට හදා ගැනීමේ උපක්‍රමයක් හැටියට තමයි කෑමට ලාබෙට හොයාගන්න පුළුවන් දේවල එකතු කරන්නේ. කොස්, දෙල් තියන්වා ෂා මරුනේ කියල කෙනෙක්ට හිතෙද්දි මීට වඩා වෙනස් මොනාහරි තිබ්බනම් කියලා සමහර වෙලාවට මට හිතෙනවා. ගමේ ගොඩේ කෑම කන්න අකමැති නිසා නෙමෙයි ඒත් හැමදාම එකම කනවට වඩා වෙනස් දේකටත් ඉතින් ආසයිනේ

නගරේ ඉන්න සල්ලි බාගෙ තියෙන උදවිය ගමේ විදිහට හදපු කෑම වේලක් කන්න ආස කරනවා. ඒ උදවිය ඒ වෙනුවෙන් ඉහල මිලකුත් ගෙවද්දි ගමේ ඉන්න නැති බැරි අය තමන්ගේ වියදම් අඩුකරගැනීමේ ක්‍රමයක් විදිහට සරලම දෙවල් වලින් තමන්ගේ ආහාරය සකසා ගන්නවා. වෙන කරන්න දෙයක් නැති කමට මිසක් වෙන දෙයක් කන්න ආස නැති කමකටම නෙමෙයි.

කටු මැටි ගේක හැමදාම ඉන්න කෙනෙක්ගේ එකම හීනය තමයි සිමෙන්ති වලින් කාමරයක් හරි හදා ගන්න එක ඒත් සිමෙන්තිවලින් හදපු මාලිගාවක් වගේ ගෙදරක ඉන්න අය නිවාඩුවක් එනකම් ඉන්නවා ඉතාම ඉහල මිලක් ගෙවලා කටු මැටි පැලක රැයක් දෙකක් ගතකරන්න යන්න.

මිනිස්සු හරි පුදුම ජාතියක්....

මන් දන්න විදිහටනම් ලංකාවේ කසාද බඳින්න ඕනේ කරන්නේ පස් දෙනයි. විවාහ ලියපදිංචි කරන කෙනයි සාක්කි කාරයෝ දෙන්නයි කසාද බඳින දෙන්නයි. හැබැයි මේ විදිහට විවාහ වෙන අය නම් හොයා ගන්න ලේසි නැහැ.

මේ ලිපිය ලියන්න හිතුනේ පහුගිය දවසක මුහුණු පොතේ දැක්ක දැන්වීමක්. මගුල් දවසට බැඳපු ජෝඩුවට නටන්න උගන්නන්වා කියලා තිබ්බ ඒකේ.මගුල් ගෙවල් වලට විවිධ අංග එකතු වෙලා. ගොඩක් ඒවායේ බොරු සෝබන විතරයි. දැන් Wedding Photo Album නෙමෙයි Wedding Story Book. මේ කිසිම එකෙක් අඩුවියදම් නම් නෙමෙයි .ගන්න මල් ටිකේ ඉඳලා රත්තරන් මාලෙට එනකම් අධික වියදම දැරියයුතු ඒවා.

පුළුවන් උපරිම මුදලක් වියදම් කරලා සමහර විට ණයත් වෙලා මගුල ගත්තට වැඩි කාලයක් දෙන්න එකට ජීවත් වෙන්නේත් නැහැ සමහ වෙලාවට.

මටනම් මගුල් ගෙවල් කියන්නේ පෙන්නන්න බැරි දෙයක් ඇඟට අපහසු ඇඳුමක් ඇඳන් පැය ගනම් ඉන්න එක එපා කරපු වැඩක් නිසා. කාගෙවත් මගුල් ගෙදරක ගිහින් නිකන් ඉඳලා ආවත් එදාට ඇඟට අමාරුයි හරියට දවසම මහන්සිවෙලා වැඩ කලාටත් වඩා. ඒකනම් මන් කීප පාරක් අත්දැකලා තියෙනවා ඒත් හේතුව නම් තේරෙන්නේ නැහැ

ජීවිතේටම එකපාරයි කියලා අති විශාල මුදලක් මේකට වැය කරන එකේ තේරුමක් තියෙනවද මන්දා?අර ඉස්සරම කාලෙක තිබ්බ වගේ දෙන්න කැමති උන දාක වෙනම ජීවත් වෙන්න පටන් ගන්න එක කසාද බැන්දා කියලා සැලකෙන විදිහට තිබ්බා නම් හොඳයි කියලා හිතෙනවා.