මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මීට කලින් පොත් ගැන ලියල තියෙන්නේ මෙන්න මේ ටික සහ මේක විතරයි. දැන් පොඩ්ඩකට කලින් අපේ හොඳ දරුවා (ඌ තමා එහෙම කියාගන්නේ [සුදාරක] අනේ මන් නම් දන්නේ නැහැ ඕවායේ ඇත්ත නැත්ත.) එක්ක පොඩි චැට් එකක් දැම්ම පොත් ගැන සහ පොත් කියවීම ගැන ඉතින් බීම ගාවට මන් ආසම පොත් ගැන තව මොනා හරි ලියන්න කියලා හිතුනා.

දැන් දැන් අන්තර්ජාලෙත් සිංහල පොත් බාගන්න තියෙනවා වගේ ඒත් පොතක් පොතක් වගේම අතේ තියාගෙන කියවනවා තරම් ඒකේ ගතියක් නැහැ කියලා මට නම් හිතෙන්නේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා බාන පොත් කියවන්න ඒත් මටනම් මේකක මිල දරන්න බැහැ අනික ඒ සල්ලි වලිනුත් පොත්ම ගත්තම ඉවරයිනේ.

මම නම් පොත් කියවන්න කැමතිම ඇඳේ නිදාගෙන ඒ ඇරෙන්න කලාතුරකින් තමා වාහනයක යනකොට පොත් කියවන්නේ පොත කියවනකොට පොතේ කඩදාසි වලින් එන අමුතු සුවඳ විඳින්නත් කැමතියි. ඒකෙත් මාර ගතියක් තියෙනවා. අලුතෙන් පොත් ගෙනවාම ඉතින් ඉඹ ඉඹ ඉන්න එක තමා කරන්නේ(ඉඳලා හිටලා භූමිතෙල් ගඳ පොතුත් නැත්තේ නැහැ).

ඉතින් තව ටික දවසකින් සාහිත්‍ය මාසෙත් එන්වා, මේ පාර නම් එක පොතක් වත් ගන්න වෙයිද දන්නේ නැහැ ඒ තරමටම මගේ ආර්ථිකය අයහපත්. නිකන් ගිහින් බලලා එන්න බැහැ දැක්කොත් පොතක් ගන්නමයි හිතෙන්නේ.

කවුරු හරි මන් අසාම පොත මොකද්ද කියලා ඇහුවොත් ඒකට හරි උත්තරයක් දෙන්න බැහැ මොකො මන් ආස පොත් ගොඩක් තියෙන්වා. අනික එක එක කාලෙට ආස පොත් වෙනස් වෙනවනේ. කරුණාසේන ජයලත්, සුනේත්‍රා රාජකරුණානායක, චන්ද්‍රසිරි දොඩංගොඩ වගේ අයගේ පොත් වලට ටිකක් වැඩිපුර කැමතියි.පොඩි කාලෙනම් දොන් පීටර් පියතුමා, මාර්ටින් වික්‍රමසිංහ, ටී.බී ඉලංගරත්න, කුලසේන ෆොන්සේකා වගේ අයට තමා ගොඩක් කැමති උනේ.

පොත්වලට කොච්චර ආස උනත් දවසින් දවස ඉහල යන පොත් මිළ නම් අපිව පොත් වලින් ටික ටික ඈත් කරන එක නම් කරනවා. (හැබැයි බෝතලේ මිළ නම් අහස උසට ගියත් අපි ඈත් වෙන්නේ නැහැ ). ඒ ගැන නම් බළවත් කනගාටුව

ලිෂාන්ගෙත් ලිපියක් තිබ්බ.

දුකාත් පොත් ගැන ටිකක් ලියලා තිබ්බ මෙතන

මේ ලොකේ තියෙන භයානකම දේ මොකද්ද කියලා කවුරුහරි ඇහුවොත් මම නම් කියන්නේ ඒ තමා සල්ලි කියල. මොකද මීට වඩා මොනතරම් භයානක දෙයක් ලෝකේ හැදුවත් ඒකටත් මිලක් නියම කරන්න සල්ලි වලට පුළුවන් නිසා සල්ලි තමයි ලෝකේ තියෙන භයානකම දේ.

සල්ලි නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි ඒත් සල්ලි තිබීම ජීවිතේ නැති වීමට හේතුවක් වෙන වෙලාවල් නැත්තෙමත් නැහැ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේම වෙන මිනීමැරුම් ගත්තෝත් මේවායේ කෙලවරේ ගොඩක් වෙලාවට තියෙන්නේ සල්ලි.

අපි අපිට කැමති විදිහට ජීවත් වෙන්න සල්ලි ඕනේ තමා ඒත් සල්ලි තියෙන කොට අපිට අපි කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්ද මන්දා. සල්ලි කියන්නේ මහ පුදුම ජාතියක්, සල්ලි වලට කරන්න බැරි ජාති තියෙන්න පුළුවන් ඒත් සල්ලි වලට නොකරන්න බැරි ජාති හරි අඩුයි.

ප්‍රේමය, සහෝදරකම්, නැදෑකම්, යාළුමිත්‍රකම්, මාපිය දූදරු සම්බඳතා සල්ලි වලට ඇති කරගන්න බැහැ ඒත් මේවා සුණුවිසුණු කරලා දාන්න සල්ලි වලට යන්නේ අපිට හිතා ගන්නවත් බැරි තරම් සුළු කාලයක් විතරයි.

මෙච්චර භයානක සල්ලි හොයන්න මේ ලොකේ ඉන්න හැම කෙනෙක්ම දිවා රෑ නොබලා මහන්සි වෙන එකත් මහ පුදුම වැඩක් බලාගෙන ගියාම. බල්ලොත් නොකන සල්ලි කියල කතාවට කිව්වට සල්ලි වලට මිනිස්සුන්ව නම් බල්ලන් ටත් වඩා පහත් තත්වෙකට පත් කරවන්න පුළුවන්.

අපි හැමොටම ජීවිතේ එක පාරක් හරි සල්ලි , ප්‍රශ්නයක් ඇති කරවලා තියෙන්වා ඒත් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන නිසා ඒ ප්‍රශන ඇති කරන සල්ලිම හොයන්නම වෙලා තියෙන ඒකත් මහ පුදුම වැඩක් ......

බියර් ගැන කාලෙකට කලිනුත් ලිව්වා ඒත් ආයි ලියන්න හිතුනා පොඩි සිදුවීමක් නිසා.


පහුගිය දවසක අධික වෙහෙසකර කටයුත්තක නියැලෙන්න උනා. ඉතින් වැඩ කරලා වැඩකරලා හොඳටම මහන්සිවෙලා හිටියේ කොච්චරද කියනවනම් ඇවිදගන්නත් පන නැහැ වගේ.

මන් මේ පරිගනකයක් ඉස්සරහා ඉඳන් කරන රස්සවක් නිසා ශරීරය හොඳටම හොර වෙලා ඉතින් පොඩ්ඩක් ඇඟපත හොල්ලල වැඩක් කලොත් එහෙම පාන් කියාගන්න බැරුව යනවා. ඇයි ඉතින් මෙලෝ ව්‍යායාමයක් නැහැනේ.

ඉතින් කොහොම හරි වැඩ ඉවර වෙලා රෑට කන්න යනකොට ෆ්‍රිජ් එකේ තිබ්බ එකම එක කූල් බියර් බෝතලය අපි දෙන්නෙක් බෙදා හදාගෙන බිව්වා. දවස් ගානක් ෆ්‍රිජ් එකේ තිබ්බ නිසා නියම ගානට කූල්. පුදුමේ කියන්නේ ඊට පස්සේ අර ඇඟේ මහන්සිය කොහෙන් ගියාද නැහැ. බියර් වලට පුදුම බලයක් තමා තියෙන්නේ මහන්සිය නැති කරන්න.

මන් මේ කිව්වේ බියර් ගොඩක් ගැන නෙමෙයි උපරිම බෝතලයක් විතර ප්‍රමානයක් ගැන. ඉතින් ඒ බියර් බාගෙත් බීල හොඳට කාල නින්දට ගිය නිසා පහුවදා උදේ ෆුල් ෆිට් එකේ නැගිට්ටා.

අම්පාර වගේ කාෂ්ටක පැත්තක ගොඩක් ඇවිදලා හොඳටම මහන්සි වෙලා ඉන්න වෙලාවක මහන්සිය නිවන්න උනත්, නුවර එළිය වගේ හීතල පළාතක හීතලේ ගල් වෙලා ඉන්න වෙලාවක හීතල නැතිකරන්නත් හොඳට කූල් වෙච්චර බියර් වලට කරන්න පුළුවන් වීම මහ පුදුම වැඩක් (මන් කිව්වේ මේ මන් ගැන) මේ දේශගුණ දෙකටම මේ විදිහට ගැලපෙන වෙන බීම ජාතියක් නම් මට කල්පනා වෙන්නේ නැහැ.

(අද උදේ ඉඳන් හයියෙන් වහිනවා කූල් බියර් එකක් තිබ්බ නම් ටිකක් ඇඟ රත් වෙන්න මරු කියල හිතෙන නිසා බියර් ගැන ලිව්වේ.)

මම ඉස්කොලේ යන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඉස්කොලේ ගියේ ස්කූල් බස් එකේ. ඊට පස්සේ පංතිවලටත් ගියා වෙන නොයෙක් ගමන් බිමන් බොහොමයක් බස් එකේ ගියේ. 88-89 කියන්නේ මේ රටේ භීෂණයක් තිබ්බ කාලයක් ඒ කාලෙදිත් මන් බස් එකෙ ඉස්කොලේ ගියා. කවදාවත් මට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. බස් නැතුව පරක්කු උන දවස් තිබ්බත් ඒ වෙලාවට ගෙදරට පණිවිඩයක් දුන්නේ නැහැ කියල ගැටළුවක් ඇති උනේත් නැහැ.රැකියාවක් කරන කාලෙ වෙනකම්ම මට ජංගම දුරකථනයක් අතට ලැබුනේ නැහැ එහෙම උනා කියලා මට කිසිම පාඩුවක් වෙලාත් නැහැ.

ඒත් දැන් කාලෙ වෙනස් තාලෙ අළුත් මොන්ටිසෝරි යන ළමයින්ටත් මොබයිල් ෆෝන්. ඉස්කෝල වලින් මොන තහනම්ක් දැම්මත් ඉස්කොලෙ යන ලමයි ගාවත් මොබයිල් ෆෝන් වැහි වැහැලා. සමහර අය ගාව දෙක තුනක්. හැබෑටම ජංගම දුරකථනය කියන්නේ අපිට නැතුවම් බැරි දෙයක්ද? මේක ඒ තරමටම වැදගත්ද? මේ වෙනකොට මාත් ඒකට ඇබ්බැහි වෙලා.

මට කිසිම වැදගත් පණිවිඩයක් ජංගම දුරකථයට ලැබුනේ නැතත් ඒක නැතුව ගෙදරින් එලියට බැස්සොත් හරියට අයිඩෙන්ටි කාඩ් එක නැතුව කොළඹ යනවා වගේ දැනෙනේ. මේ වෙනකම් ජංගම දුරකථයක් තිබ්බ කියලා හදිස්සි අවස්ථාවකදි මට සිද්ධ උන වාසියක් නම් නැහැ.මන් මේ වෙනකොට ජංගම දුරකථන සමාගම් දෙකකට ගෙවලා තියෙන බිල් වල එකතුව දැක්කම මටම හිතෙන්වා මේ සල්ලි වලින් වෙන මොනා හරි කලානම් කොච්චර ප්‍රයොජනවත්ද කියලා.

සමහර පිරිමි සහ කලාතුරකින් ගැහැණු අයත් ජංගම දුරකථන්යෙන් ගන්නේ මොන වගේ වැඩද කියලා ලංකාවේ තියෙන සමහර සයිට් වලට ගියාම බලාගන්න පුළුවන්. සිංදු අහන එක ඇරුනම ටීවී බලන්න, ගේම් ගහන්න, ෆොටො ගන්න, වීඩ්යෝ කරන වගේ දෙවල් තමයි ගොඩ දෙනෙක් ජංගම දුරකථනයෙන් වැඩිපුරම කරන්නේ. කලාතුරකින් කෝල් ගන්නවා නැත්නම් ඉතින් SMS හරි Miss Call හරි තමා.

මන් නම් හිතන්නේ මේක එක්තරා විදිහක තේරුමක් නැති වසංගතයක් කියලා. අවාසනාවට මාත් ඒකට ගොදුරු වෙලා

Bloggers.com - Meet Millions of Bloggers