මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේ දවස් වල ඉතින් එක එක ඒවට තිත් තියාගෙන යන්වනේ. ඔය අතරින් ජන්ප්‍රියම එක තම මේ තිත.
දැන් කසිප්පු හෝගාලා අල්ලනවලු ඒකනම් හොඳ වැඩක්. ඒත් මේක කොච්චර සාර්ථකද කියලනම් මන් දන්නේ නැහැ. දන්න දන්න අය කියන්නේ කසිප්පු දැන් නැහැ කියලා. විකුනන අයත් කියන්වා දඩ වැඩි නිසා විකුනන්නේ නැහැ කියලා.

පෙරන්නෙත් නැහැලු , විකුනන්නෙත් නැහැලු ඒත් කසිප්පු කාරයෝ සේරම ඉන්නෙ බීලා. ඒක වෙන හැටිනම් මට හිතාගන්න බැහැ.

ඊයේ උදේ 10 ටත් කලින් උදෙට කන්න ගියාම එතන හිටිය ප්‍රදේශයේ ග්‍රාමසේවක මහත්තයා කොච්චර බීල හිටියද කියනවනම් කඩේ මුදලාලිගෙන් අහනව කෑවෙ මොනාද කියලා, මේ මිනිහා කාපු පිඟානත් මේසෙ උඩ තියෙද්දිම.
තව දෙන්නෙක් හිටියා අයියකෙනෙකුයි මල්ලි කෙනෙකුයි අයියට කෙලින් ඉන්නත් බැහැ මල්ලිට බනිනව කසිප්පු බීලා වැනි වැනි යනවා කියලා.

ඉස්සර නම් හැන්ඳෑවට සරුංගල් අරින්න ගියාම කට්ටිය යන්නේ පෝලිමේ දැන් එහෙම නැහැ ඒත් ගමේ ඉන්න සුපුරුදු බේබද්දො ටික ගානට වෙලාවට වැනි වැනි යනවා. මුන් එක්කෝ පුරුද්දට වෙරි වෙනවා එහෙම නැත්නම් මොන තිත තිබ්බත් බොන එකා බඩු හොයා ගන්නවා.

ඉතින් මේ තිත් තියන වැඩේ කොච්චර සාර්ථකද මන්දා.

පොඩි කතාවක්, අද කන්න හම්බ උනා ගෙදරක වවලා ගෙදර තම්බලා කොටපු වී වල බත්. සම්බා උනාට කඩේ තරම් සුදු නැහැ. කවුදෝ කිව්වා ඔය හාල් සුදු වෙන්න අළු හුණු දාල මොකද්ද කරනවා කියලා. මන් නම් හරියට දන්නේ නැහැ ඒත් ඒ කතාව බොරුම වෙන්නත් බැහැ. සුදු හාල් උනත් රතු හාල් උනත් ගෙවල් වල තම්බල කෙටුවහම එන හාල් වල බත් කඩේ හාල් වල බත් වලට වඩා පාටෙන් වෙනස්.

වෙළෙන්ඳෝ මොනාට මොනා දැම්මත් කමක් නැහැ ඔය කනබොන ජාති වලට වස විස නොදා. ඒත් ඉතින් අපි කන බොන හැම එකටම වගේ මොකක් හරි වසක් කලවම් කරලනේ මේ මිනිස්සු අපිට විකුනන්නේ.

මමත් ගියා ආකාස කුසුම් බලන්න. වැඩිපුරම යන්න හේතු උනේ මෙන්න මේ සිංන්දුව නිසා. ඒත් ඉතින් අන්තිමට උනේ බිල්ලු බාබර් බලන්න ගිහින් උන දේම තමා. අනේ මේ සිංදුව ෆිල්ම් එකේ නැහැ අඩුම ගානේ නම් දානකොටවත් තිබ්බනම්. අනික තියෙන මුල ටිකත් දෙබස් එක්ක පසුබිමෙන් යන්නේ.

මම ගියෙ ඊයේ (22) මේක පටන් ගත්තේ 21 ඒත් සෙනඟ නම් හිටියේ බොහොම ටිකයි. රීගල් එකෙත් එහෙමනම් අනික් ඒවායේ ඊටත් අඩු ඇති. කාලෙකට පස්සෙ හොඳයි කියලා හිතෙන ෆිල්ම් එකක් වගේ ආවත් සෙනඟ නම් නැහැ.

ඉස්සර හිටපු ජනප්‍රිය සිනමා තරුවකගේ වර්ථමාන ජීවිතය, එයාගේ අතීත සිදුවීම් වර්ථමානයට කරන බලපෑම්, පොදුවේ කාන්තාවන්ට පිරිමින්ගෙන් වෙන අසාධාරණයන් වගේ දේවල් තමා මේකෙන් කියැවෙන්නේ. (මට තේරුන විදිහටනම්)

මටනම් එච්චරම ඇල්ලුවේ නැහැ ෆිල්ම් එක.

වැඩි විස්තර

නිළ වෙබ් අඩවිය

IMDB

ඡායාරූපය උපුටා ගැනීම මෙතනින්


පර්ල් එස්. බක් ගේ Hidden Flower කියන පොතේ සිංහල පරිවර්ථනය තමයි සකායි කියන්නේ. මේක පරිවර්ථනය කරලා තියෙන්නේ මගේ කැමතිම ලේඛිකාවක් වෙන සුනේත්‍රා රාජකරුණානායක. සුනේත්‍රාගේ පොත් ඕනේ එකක් මන් ගන්න නිසා මේ පොත ගත්ත මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි ගත්තේ නම්. 1992 දි ප්‍රථම මුද්‍රනයේදි පොත් 2 ක් හටියට තිබිලා දැන් 2006 තුන්වෙනි මුද්‍රන්යේදි එක පොතක් හැටියට තමා තියෙන්නේ.

මගක් කියවද්දිම බ්ලොග් එකේ දාන්න හිතුනේ මේකේ කතාව යන්නේ දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ කාලේ ජපානයේ ජීවත් උන නම්බුකාර විදිහට ඉන්න හදන සාම්ප්‍රදායික ජපන් පවුලක යුවතියක් වන ජෝසු සකායි සහ ඒවගේම ඉන්න ඇමරිකානු පවුලක ජපානයේ සේවය කරන හමුදා නිලධාරියෙක් වෙන ඇලන් කෙනඩි අතර ඇතිවෙන ප්‍රේමය ගැන.

මේක කියවද්දි මට මතක් උනේ අපේ රටේ අනාත කඳවුරක ඉන්න වැදගත් දෙමළ පවුලක් අනාගතේ දවසක ගෙවල් වල පදිංචි උනාම එහෙම පවුලක ද්‍රවිඩ තරුණියක් සහ අපේ සිංහල හමුදා නිලධාරියෙක් අතර ප්‍රේමයක් ඇති උනොත් මේ වගේ වෙයිද කියලා.

යුද්ධෙන් දිනලා නිසා ඇමරිකානුවන් ජපන්නුන්ට සලකන්නේ පහත් විදිහට. යුද්ධෙන් පැරදුන නිසා ජපන්නු ඇමරිකානුවන් දිහා බලන්නේ වෛරයකින්. මේවා මේ විදිහටම නැතත් අපේ රටේත් අඩු වැඩි වශයෙන් නැත්තෙමත් නැහැ. (දැන් කට්ටිය කියයි ඒ යුද්ධෙයි මේ යුද්ධෙයි වෙනස් කියලා මටනම් කොහෙ උනත් යුද්ධේ යුද්ධෙම තමා). කොහෙදි හරි මන් දැක්ක ඉතිහාසයේ සිදුවීම් නැවත නැවත සිදු වෙනවා කියලා කවුද කියලා තියෙනවා.

ගිය පාර පොත් ප්‍රදර්ශන්යෙදි ගත්තත් අද තමා කියවන්න පටන් ගත්තේ තාම පිටු 320 න් 153 කියෙව්වේ.

මිල නම් ටිකක් වැඩියි 390/= පොත් ප්‍රදර්ශනයෙදි ගත්ත නිසා මන් හිතන්නේ 20%ක විතර වට්ටමක් ලැබෙන්න ඇති.

හැමදාම වගේ මට IT Filed එකේ රස්සාව එපා උනාම Paddy Field එක හොඳයි කියලා හිතෙනවා ඒත් තාමත් මඩ නැතත් IT Filed එකේ ඉඳගෙන මඩ නානවා.

කෘෂිකර්මාන්තයට සම්බඳ වෙලා ඉන්න තරුණ වයසේ අයනම් මේ පළාතේ හරිම අඩුයි ඉඳලා හිටලා වෙලඳාම කරන අය හිටියත් කෙලින්ම වගාවට සම්බඳ වෙච්ච අය ඇත්තේම නැති තරම්. ගොඩක් ඇඟ වෙහෙසලා කරන්න ඔනේ දෙයක් නිසා දැන් ඉන්න තරණ අයටනම් වගාවක නියැලෙන්න තරම් ශරීර ශක්තියක් නම් තියෙනවද මන්දා.

හමෝම හිතන්නේ ගොවිතැන් කරනවට වඩා කාර්යාලයක රස්සවක් කරන එක හොඳයි කියලා. ඒත් මන් නම් හිතාන්නේ ඒකේ අනික් පත්ත ඒත් කරන්නේ ඒ පැත්ත.

ලංකාවේ යුද්දෙන් පස්සේ නැගෙනහිර පළාතේ තියෙන ගොවිබිම අරගන්න වෙන රටවල සමාගම් නම් උනන්දු වෙනවා කියලා පහුගිය ටිකේ පත්තර වල තිබ්බා, ඒත් අපේම රටේ අය මේවා ගැන එච්චර උනන්දුවක් නැහැ වගේ අන්තිමට අපි අපේම රටේ වැවෙන දේවලුත් පිටරටවල අයට සල්ලි දීල අරන් කන කාලයක් උදාවෙයිද මන්දා.

මේ කාලේ ලොකේම කර්මාන්තවලට හෙනහුරා ලබලලුනේ ඒත් මන් කොහේ හරි දැක්ක කෘෂිකර්මාන්තයට එහෙම අර්බුදයක් බලපාල නැහැලු. ලෝකේ ඉන්න සල්ලි තියෙන අය කිසිම පැකිලීමක් නැතුව කෘෂිකර්මාන්තයට මුදල් ආයෝජනය කරනවලු.අප්‍රිකාවේ නොයෙක් ගැටළු තියෙන රටවල ගොවිබිම් අරගන්න හිටන් සල්ලි තියෙන රටවල් වල උදවිය කටයුතු කරනවා කියන්නේ.

මිනිස්සුන්ට පරිගනක නැතුව ඉන්න පුළුවන් උනත් කෑම නැතුව ඉන්න බැහැනේ ඒක නිසා කවද හරි දවසක ගොවිතැන් කරන අයට අනික් අයට වඩා හොඳ කලක් යාවි කියලා මටනම් හිතෙන්නේ.

පහුගිය දවසක දවල් කන්න ගිහින් කඩෙන් ඉල්ලුවා මගේ ප්‍රියතම ආහාරය සහිත කෑම එකක්. කඩේ අක්ක කිව්වේ දැන් ඌරුමස් ගේන්නේ නැති බවය. එයට හේතු වශයෙන් ඇය කීවේ කඩේට ආරක්ෂාවල් කර ඇති නිසා ඌරුමස් ගෙන ආවිට ඒවා නැතිවෙන බවය. පුදුම ආරක්ෂාවල්ය. අඩුම ගානේ ඌරුමස් කෑලකින් ආරක්ෂා කරගන්න බැරිනම් අනික් ඒවායින් කෙසේනම් ආරක්ෂා කරගන්නද?

අපේ රටේ නැති වෙන්න ඡන්ද ඇත මේවාට අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ සල්ලි මිටි මිටි විසික් කරමින්ය. ඉදිරිපත් වන සියළු අපේක්ෂකයන් ලංකාව පුරා ඇති සියළුම දේවාල වලට ගොස් මෙරට ඉන්නවා යැයි කියන සියළුම ප්‍රසිද්ධ දෙවිවරුන්ට බාර වෙති. මා දන්න තරමින් නම් ඡන්දය දීමට ජාතික හැඳුනුම්පත අනිවාර්යවේ. අපේ පු.ලි.දේ කිසිම දෙවියෙකුට හැඳුනුම්පත් නිකුත්කර නොමැත ඉතින් ඔය එකම එක දෙවියෙක්ටවත් ඡන්දය නැත. එහෙනම් ඉහත් අපේක්ෂකයන් ඡන්දය දිනන්නේ පනඇති මිනිස්සුන්ගේ ඡන්දයෙන් මිසක් දෙවියන්ගේ ඡන්දයෙන් නොව එහෙත් අවාසනාවට ඡන්දය දින්නත් පැරදුනත් ඡන්දෙවත් නැති දෙවියන්ටවූ පොරොන්දු සියල්ල ඉටු කරන අතර අර ඡන්දය ලබාදුන් මිනිස්සුන්ටවූ පොරොන්දු ගැන කතාවක් වත් නැත.

ලංකාවෙන් පිටතට අඩියක් ගසා නැති මම පිටරටවල බස්වල ගිහින් නැත එහෙත් අසා ඇති පරීදිනම් ඒවායේ සේවය උසස් අතර අනතුරු සිදුවන්නේත් අපේ රටට සාපේක්ෂව අඩුවෙන්ය. එහෙත් අපේ රටේ බස් යන්නේ උඩින්ය මිනිසුන් යනු හයේ අටේ කෑලිය. සතියකට සැරයක්වත් එකෙක් දෙන්නෙක්ට මරණය මුනගස්සවයි අනේ ඒඋනාට බුදුහාමුදුරුවෝ සහ ප්‍රසිද්ධ දෙවිවරු හතටපොලක්ම ඉස්සරහ වැඩ සිටී. ඩ්‍රයිවර් පාර බලන්නේත් දෙවියන්ගේ දෙපායටින්ය. උදේට වැඩ පටන්ගන්නේ අලි, හරක්, මොණරු, මීයෝ පිටේ යන දෙවිවරු සියල්ලටම හඳුන්කූරු දුම් අල්ලලාය ඒත් බස් එකේ නැගලා යන අපිට???

හූනියම් යනු අනික් අයට කරදර කිරීමයි ඒත් පුදුමය නම් ඒකට ලොක්කීත් පින් ගොඩක් කර දේවත්වයට පත්වූ හූනියම් දේවතාවියයි. පින් ලැබෙන්නේ හොඳ දේ කලවිට වුවත් මේ දේවතාවියටනම් අනික් අයට වින කරත් පින් ලැබී ඇත. මට ඇති ලොකුම කනගාටුව නම් මේවාට වැඩියෙනම ඇබ්බැහි වී සිටින්නේ මේවාගේ දේවල් වලට විරුද්ධව බණ දෙසූ බුදුහාමුදුරුවන්ගේ බණ අසන පිරිසම වීමය අපි දැන් ඉන්නේ මිහිඳු හාමුදුරුවෝ එන්නත් කලින් තිබ්බ කාලෙද?

කාලෙන් කාලෙට මිනිස්සු කියනවානේ ඉස්සර නම් අරක තිබ්බ දැන් දකින්නවත් නැහැ, මේක දැන් වඳ වෙලා ගිහින් ඔය වගේ කතා මාත් හොයා ගත්ත ඉස්සර තිබිල දැන් වඳ වෙච්ච දෙයක් ඒක තමයි "හිනාව".

මේක ගැන මන් මීට කලින් කොහේ හරි කියෙව්වා මට හරියටම මතක නැහැ බ්ලොග් එකකද නැත්නම් පොතකද පත්තරේකද කියලා. ඒකේ තිබ්බේ හිනාව දැන් දැන් අඩු වෙලා කියලා. ඒත් මන් නම් කියන්නේ ඒක දැන් වඳ වෙලා කියලා

මේ ලොකේ සුන්ඳරම හිනාව තියෙන්නේ කාටද කියල ඇහුවොත් මන් නම් එකපාරටම කියන්නේ අවුරුද්දකට වඩා අඩු ඕනෙම බබෙකුට කියලා. මොකද ඒ හිනාව හරිම අව්‍යාජයි ඒක නිසා එකේ තියෙන්නේ පුදුම සුඳරත්වයක් ඒත් ලමයා වැඩෙන කොට ටික ටික ඒක නැති වෙලා යනවා.

පාරේ තොටේ යනකොට මිනිස්සු දිහා බැලුවම කාගෙවත් මූනේ හිනාවක් දකින්නවත් නැහැ. උදේ පාන්දරටවත් කා එක්ක හරි හිනා උනත් ආපහු හිනා වෙන කෙනෙක් ඉන්නේ කලාතුරකින් (හිනා වෙලත් බැහැ හිනා උනාම සමහර අය කරේ යන්න එනවනේ ) . හැමෝම ඉන්නේ බුම්මගෙන හරියට අනික් මිනිහා තමන්ව ගිලියි වගේ කියලා හිතාගෙන (මාත් එහෙම තමා ඔය කිව්වට)

අපේ මිනිස්සු හොඳට හිනා වෙන වෙලාවක් තියෙනවා ඒ තමයි අනික් මිනිහට වැරදුනාම. අන්න එතකොටනම් හිනාව කටෙන් එකයි.

මිනිස්සුන්ගේ මූනේ තිබ්බ හිනාව අතුරුදහන් වෙන්න හේතුවක් නම් මට හිතාගන්න බැහැ ඒත් ජීවත් වෙන්න දඟලන දැඟලිල්ලෙදි දන්නේම නැතුව හිනාව අපෙන් අතුරුදහන් වෙලාද කොහෙද

මේක තමයි මන් කන්න කැමතිම කෑම. ඇත්තටම සම්බෝලයි සුදු බතුයි තමා වැඩියෙන්ම කන්න කැමති. මතක ඇති කාලෙක ඉඳලා පුළුවන් හැමදාකම මගේ උදේ ආහාරය වශයෙන් වැඩිපුරම මන් කාල තියෙන්නේ සම්බෝලයි බතුයි තමා. මේකට තව බැදුමකුත් එකතු උනා නම් කියලා වැඩක් නැහැ.

පොල් සම්බෝල වෙනුවට කොච්චි සම්බෝලයක් තියෙනවන ඒකත් ඉස්තරම්ම කෑම වේලක් තමා. සුදු බත් නැතුව රතු බත් නම් තියෙන්නේ ඇඹුල් තියල් කරපු මාළු කෑල්ලකින් බත් පිඟාන ඉවර කරන වෙලාව අඩු කරන්නත් පුළුවන් කමක් තියෙනවා.

උදේ කෑමට වෙන මොනවා කෑවත් පොල්සම්බෝලත් එක්ක බත් කටක් හරි කෑවම වගේ ගතියක් හිතට නම් දැනෙන්නේ නැහැ.

ඔය ටීවී එකේ පත්තරවල කියන විදිහේ පොෂණයෙන් පිරිච්ච දේවල් මොකුත්ම නැති උනත් මන් නම් හිතන්නේ සම්බෝලයි බතුයි ඔය සේරටම වඩා රස ගුණ පිරි කෑමක් කියලා.

මොකුත් කියන්න හදන්වා නෙමෙයි ඔහේ දැකපු කීප දෙනෙක් ගැන ලියන්නේ

ඊයේ කන්න ගිය වෙලාවේ වචනයේ පරිසමාප්ත අර්ථයෙනම් කන සාක්කුවේ දාගත්ත කෙනෙක් කඩේ බත් කකා හිටියා. කොච්චර බීලා හිටියත් වෙන බේබද්දන්ට සලකනවට වඩා පොඩ්ඩක් වැඩි සැලකිල්ලක් මේ මනුස්සයට කඩේ හිටපු හැමෝම දැක්කුවා. බත් කෑවේ කන සාක්කුව ගාවට එනකම් ඔළුව පාත්කරගෙන කසිප්පු ගඳ පළාතේ ඉන්න බැහැ. අන්තිමට කාල ගියාම මට කිව්වා කවුද ඒ කියලා, පුදුමයි ඒ මේ හරියට ඉන්න ග්‍රාම සේවක රාළහාමිලු. ඔන්න මිනිස්සු රාජකාරි කරන විදිහ. ඔය වගේ වගකීමක් තියෙන රස්සවක් මේ විදිහේ මිනිහෙක් කරනකොට කවුරුත් එයාව ගනන් ගනීද?

අද උදේ පාරේ කවුද කොට්ට කොට්ට කිය කියා කෑගගහා ගියා මන් කෙනාව දැක්කම මට පුදුම දුකක් ඇති උනේ ලොකු බයිසිකලක්වත් පැදගන්න තරම් උස නැති පොඩි එකෙක් අලි කොට්ට ගොඩකුත් බයිසිකලේ ගැට ගහගෙන කොට්ට විකුන විකුන ගියා. පොඩි එකා උනත් ජීවත් වෙන්න විඳින දුකක්.

පහුගිය කාලෙ මාළු විකුනපු වයසක සීය කෙනෙක් ලඟදි දැක්ක බයිසිකලේ යනවා ඒත් වෙනදා තිබ්බ මාළු පෙට්ටිය දකින්න ලැබුනේ නැහැ. රටේ ඉන්න ලොකු ලොක්කෝ මොනවා කිව්වත් මිනිස්සු කන්නේ බොන්නේ අමාරුවෙන්. අද මේ මනුස්සයා තමන්ගේ රස්සවත් නැතුව කොහොම ජීවත් වෙනවද මන්දා, අපි මේ රස්සාවක් කරලත් අමාරුවෙන් ඉන්නකොට.

මේ මනුස්සයගේ රස්සාව ලොරියෙන් සිමෙන්ති බාන එක. රස්සාව කරන්න තියෙන්නේ වරුවයිලු ලොරියම බානවට රුපියල් 700ක් ලැබෙනව නම් කිව්වා ඒත් හැමදාම වැඩ නම් නැහැ. සිමෙන්ති බාන කොට ඒවායේ රස්නෙට පිට පිච්චෙනවා කිව්වා. දැන් පිට ගන්න දෙයක් නැහැලු නානකොට එහෙම පුදුම දැවිල්ලක් කිව්වා. තනිකඩ කාලෙනම් මෙහෙම අමාරුවක් නොතිබ්බත් දැන් බැඳලා නිසා ජීවත් වෙන්නේ හරිම අමරුවෙන් කියලා තමා මෙයා කිව්වේ. ගෙවල් කුලිය රුපියල් 2000කුත් දෙන්න ඕනේලු. මේ මනුස්සයා ගොඩක්ම කනගාටු උනේ ඒ මොකටවත් වඩා තමන්ගේ බිරිඳ තමන් මොනවා කලත් සතුටු නොවෙන බව කියා. අන්තිමට ම්නිහා කිව්වා බැන්ද මෝඩකම් කියලා වෙලාවකට හිතෙනබව. (බැඳපු ගොඩක් අය ඔය කතාව කියන්වා මන් අහලා තියෙනවා, පුදුමේ කියන්නේ ඒ බව දැන දැන මිනිස්සු කසාද බඳින එකනේ ). මිනිස්සු ජීවත් වෙන්න විඳින දුකක්.

අනේ මන්දා ජීවිතය හරි පුදුමයි අප්පා.

ජීවත් වෙන්න නොකර ඉන්නත් බැරි
කරනකොට ජීවිතෙත් එපා වෙන

නොකලොත් අතට කීයක් වත් නොලැබෙන
කලොත් අතේ ඇති ටිකත් මගට වියදම් වෙන

නැති විටත් හිතට කරදර
ඇති විට ඊටත් වඩා කරදර

අනේ මන්දා මේ අපි කරන රස්සාව......

ගොඩක් වෙලාවට අපි කරන රස්සව ගැන අපි සතුටු වෙන්නේ නැහැ ඒත් ජීවිත් වෙන්න නම් රස්සාවක් කරන්නම එපායෑ ඉතින් අකමැත්තෙන් උනත් ඉතින් රස්සාවක් කරන්නම් වෙනවා. ගොඩක් අය රස්සාවල් මාරු කරන්නේ කරන රස්සාව ගැන තෘප්තිමත් නැති නිසා. කලාතුරකින් කෙනෙක් නම් දිගටම එකම තැන වැඩ කරන්වා. සමහර විට වෙන තැනකට යාමේදී ඇතිවෙන අවධානම නිසා වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් පුරුදු තැනනේ ඉතින් ඔහේ ඉන්නවා නිසා වෙන්නත් පුළුවන් .කලාතුරකින් කරන රස්සව ගැන තෘප්තිමත් නිසා වෙන්න පුළුවන්.

මට නම් තාම බැරි උනා ආසාවෙන් වැඩ කරන්න හිතෙන තැනක වැඩ කරන්න. ගොඩක් තැන් එපා වෙන්නේ ඒවයේ පාලක අය විසින් ඉතා පහත් විදිහට සේවකයන්ට සලකන නිසා.

සම්මුඛ පරීක්ශණවලදි නම් කියනවා අපේ කොම්පැනිය ඉතියෝපියාවේ (උදාහරණයක්)ලියාපදිංචි කරලා තියෙන්නේ කියලා, අපිත් ඉතින් ලොකුවට හිතනවා හැබැයි බැංකුවකින් ණය පතක්වත් දෙන්නේ නැහැ එහෙම තැන්වල වැඩ කරන අයට. මෙහෙ ලියාපදිංචිය හරිම වැදගත් සේවකයන්ට. පාලකයන්ට ලියාපදිංචි නොවෙන එක හොඳයි එතකොට බදු එහෙම ගෙවන්න ඕනේ නැහැනේ.

වෙන රටවල ගැන කියලා මේ අය හොරෙන්ම EPF, ETF ගෙවන එකත් මග අරිනවා, ලොකු පඩියක් ගෙවනවනම් කමක් නැහැ එහෙම නැති උනොත් නම් ඉතින් කාලයක් වැඩ කරලා හිස් අතින් තමා ගෙදර යන්න වෙන්නේ.මම මේ කතා කරන්නේ ඉල්ලීම් ගැනම නෙමෙයි කිසියම් සාධාරණයක් තියෙන්න ඕනේ නිසා. මොකො අන්තිමේ අපිටත් වැඩක් නැහැ, රටටත් වැඩක් නැහැ අයිති කාරයෝ කොම්පැණිය වහලා දාල යන්න යන්වා.