මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

නැති රටට ගිහින් නැති දේ ගේන්න කියල කිව්වොත් ඒ මොන මල විකාරයක්ද කියලා තමා එක පාරටම හිතෙන්නේ ඒත් ඒක ඒත් ඒක ලස්සන වසීලිස්සා පොතේ නීල කොබෙයියා කතාවේ අන්ද්රේ (අන්දරේ නෙමෙයි) ට දුෂ්ඨ රජා පවරපු රාජකාරියක්. 

ලස්සන වසීලිස්සා, රුසියානු සුරංගනා කතා පොතක්. මන් ඒක ගත්තේ මන් මට මතක හැටියට 1990 දි විතර ඒ කාලේ හොර ලෙඩ අරන් ඉස්කොලේ යන්නේ නැතුව ඉන්න හැමදාම වගේ ඔය පොත කියවන එක තමා කරන්නේ. කී සැරයක් කියවලා තියෙනවද දන්නේ නැහැ. ඊයේ පෙරේදා ආයි කියෙව්වා. ඒත හරිම ආසයි කියවන්න.

මේ පොතේ සේරම වගේ කතාවල එකම චරිත ටිකක් වගේ ඉන්නේ ඉවාන්, නපුරු රජවරු, දුප්පතා, පෝසතා, බාබායිගා යකින්න, කතා කරන සත්තු, මේ වගේ නොයෙක් විදිහේ මේ ලොකේ නැති ඒවා තමා තියෙන්නේ. වෙන සිදුවීම්නුත් ඒවගේ කවදාවත් වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි හැම කතාවකම තියෙන්නේ හොඳ අවසානයක්. දුෂ්ඨයා පරදිනවා වීරයා දිනනවා.

සුරංගනා කතා කියන්නේ නොවෙන සිදුවීම් උනත් ඒවා කියවන්න හරිම ආස හිතෙනවා. අපේ රටේ මිනිස්සු දේසපාලුවෝ කියන කතා වලටත් මෙච්චර කැමති ඒ නිසාද දන්නේ නැහැ. කවදාවත් කලේ නැතත් කියන ඒවාට ආසා නිසා කට ඇරගෙන ඒවා අහන් ඉන්නවද කොහෙද

මන් ගාව තියෙන්නේ රුසියානු රාදුගා ප්‍රකාශකයන්ගේ එකක් ඝන කවරය තියෙන. ලස්සන පිතූරත් තියෙනවා. මන් මේ ලඟදි මේ පොත් තියෙනවද බැලුවා පොත් කඩවල. ඒත් දැන් තියෙන එක එච්චර හොඳ මුද්‍රණයක් නෙමෙයි.

පොතේ එක කතාවක් මෙතන තියෙනවා.

මේ තරම් සුන්දර සතෙක් මන් හිතන්නේ මුළු ලෝකේම නැතුව ඇති.


වෙන රටවල් ගැන නම් මන් දන්නේ නැහැ හැබැයි ලංකාවේ නම් හැමැ පළාතකම වගේ සුලබව දකින්න පුළුවන් සතෙක් තමා මදුරුවා කියන්නේ. අනික් පළාත්වලට සාපේක්ෂව සීතල පළාත් වල ටිකක් අඩු උනත් මදුරුවො නම් නුවර එළියේ උනත් නැත්තේම නැහැ.

හරක්, ඌරෝ, කුකුල්ලු වගේ සත්තු හදල මසට හරි කිරි, බිත්තර විකුනලා හොයන සල්ලියට වඩා සල්ලියක් මිනිස්සු මදුරුවන්ගේන් හම්බ කර ගන්නවා ඇති. නිදහසේ නිදාගන්නවත් නොදී අන්තිමේ මිනිස්සුන්ව වල පල්ලට යවන්න තරම් මදුරුවා කියන සතා දරුණු වෙලා තියෙන්නේ ඇයි කියලා මන් නම් දන්නේ නැහැ.

කනට මිහිරි වාදනයකින් සුව නින්දකට අපිව පත්කරන ගමන් චීන කටු චික්සාවක් වගේ පුංචි රිදුමක් එකක් නින්ද යන්න ඉන්ජෙක්ෂන් එකක් දීලා අපේ සෞඛ්‍ය රැක දෙන්න තරම් මදුරුවා හරිම කාරුනිකයි.

ඉස්සර නම් අපේ ගෙදර එච්චර මදුරුවො හිටියේ නැහැ ඒත් ලස්සන මල් ගසුත් එක්ක වතුර පිරිච්ච් පෝච්චි වල මදුරුවෝ අපිම ඇති කලා නැත්තනම් පාළු හින්දා. අපේ සීයලෑ ගෙවල් වල එහම නම් මඩ පුවක් එක්ක තමා මදුරුවෝ හදන්නේ. එහෙ ඉන්න උන් නම් පොඩි සයිස් කුරුල්ලෝ වගේ.

කොච්චර සුන්දර සතෙක් උනත් මදුරුවො ඈත් කරන්න මිනිස්සු විවිධ දේවල් කරනවා. මාත් ඔය එක එක දේවල් කරලා තියෙනවා. මට නම් හිතෙන්නේ සාරථකම විදිහ තමා මදුරු දැල්. මදුරු කොයිල්, මැට් සහ වෙනත් බෙහෙත් ජාතිවලින් නම් කිසිම වැඩක් නැහැ. මාසෙකට සැරයක් විතර සමහර නගර සභාවලින් ඇවිත් රුපියල් දහයක විස්සක සපෝර්ට් එකක් අරන් ගහන් මදුරු තෙලත් , තෙලක් ද නැත්නම් වතුරක් ද මන්දා. මොකෝ එදාට වෙනදටත් වඩා මදුරුවෝ ඉන්න නිසා. පොල් තෙල් පිඟාන, මදුරුවෝ මරන විදුලි රැකට් එක කොච්චර සාර්ථක උනත් රෑ එළි වෙනකම් වන වනා ඉන්න කෙනෙක් හොයා ගන්න එක එච්චර ලේසි නැහැ.

සමහර ගෙවල් වල නම් කජු ලෙලි පත්තු කරනවා. ඒ දුම නම් මදුරු කොයිල් තරම් අප්‍රසන්න නැති ඇත්තටම මදුරුවෝ එලවන දුමක්. ඒත් ඒක හැමදාම කරන්න පුළුවන් කමක් නැහැ. මදුරු වදේ ගැන කියන්න ටීවී එකේ පත්තරේ නම් ලොකු ලොකු අය ලොකු ලොකු කතා කියන්වා ඒත් මුළු රටේම මිනිස්සු මදුරු වදෙන් දුක් විඳිනවා.

හැබෑටම මදුරුවන්ට කරන්න දෙයක් නැද්ද? අර දීපාල් සිල්වා කියන මල් පැණි බොන්න පුරුදු කරනවා වගේ ඉස්තරම් පිළියමක්.

ඡායාරූපය මෙතනින්

මේ කියන්න යන්නේ අපේ හරේ කියපු කානිවල් අයිස්ක්‍රීම් වගේ මිල අධික අයිස්ක්‍රිම් ජාතියක් ගැන එහෙම නෙමෙයි. මීට අවුරුදු 20කට 25කට කලින් කාපු සත පනහේ අයිස් පලම් ගැන.


ඒකාලේ ඔය දැන් වගේ අයිස්ක්‍රීම් හැම තැනම තිබ්බේ නැහැ. සංගීතයක් දාගෙන අයිස්ක්‍රීම් විකුනන ත්‍රීවිලර් තිබ්බෙත් නැහැ. කඩවල් වල නම් අයිස්ක්‍රීම් තිබ්බෙම නැති තරම්.අපිට අයිස් පලම් කන්න තිබ්බ එකම විදිහ ඉඳලා හිටලා පාරේ පෙට්ටියකුත් බැඳන් නලාවකුත් සද්ද කර කර යන අයිස්ක්‍රීම් කාරයාගෙන් විතරයි. ඒ ඇරෙන්න මොකක් හරි උත්සවයක් තියෙනවනම් අයිස්ක්‍රීම් වෑන් එකක් එනවා ඒකේ අයිස් චොක්ස් සහ කෝන් තියෙනවා. ඒත් දැන් වගේ විවිධ ජාති නම් නැහැ අයිස් පලම් සේරම දුඹුරු පාටයි කෝන් සේරම කහපාටයි චොක්ස් ඉතින් කහයි දුඹුරුයි. මේවට වැනිලා චොකලට් කියලම කියන්න බැහැ ඒ වගේ රසක් තමා ආවෙ නම්.

ඒ ඇරෙන්න අපේ ගෙවල් කිට්ටුව තිබ්බ අයිස්ක්‍රීම් ෆැක්ටරියෙනුත් ගන්න පුළුවන්. එතනට ගියාම එන ගඳට නම් අයිස්ක්‍රිම්නුත් එපා වෙනවා. අපිට ඇතුලට යන්න තහනමක් නොතිබ්බත් මට ඒ කාලේ අයිස්ක්‍රීම් හදපු හැටි නම් මතක නැහැ.  හැබැයි ඉතින් දැන් වගේ ගනන් නොවුනත් අයිස් පලම් එකක් ගන්න සතපනහක් හොයා ගත්තේ නම් පුදුම අමාරුවකින්. අයිස් කෝන් එකක් රුපියල් දෙකකුත් චොක්ස් එකක් රුපියල් පහක් වගේ ගානකටත් තිබ්බා වගේ මතක. වැඩිපුරම කන්නේ පලම් නිසා පලම් වල ගාන විතරයි හරියට මතක.

මෑත කාලේ දවසකත් ගම් පළාතේ ගිය වෙලාවක පුරුදු අයිස්ක්‍රීම් ෆැක්ටරියට ගිහින් අයිස් පලම් අරන් කෑවත් ඒ කාලේ වගේ රසක් දැනුනේ නම් නැහැ. ඒ ඇරෙන්න ඔය වන්දනා ගමනක් වගේ යනකොට ඉන්න අයිස් ක්‍රීම් කරයෙක්ගෙන් අයිස් කෝන් එකක් අරන් කෑවත් ඒ කාලේ දැනුන රසනම් දැනුනේ නැහැ. ඒකට හේතුවක් නම් මට හිතා ගන්න බැහැ.

මටනම් දැන් තියෙන මොන අයිස් පලම් එකක් කෑවත් ඒකාලේ ඒ විඳ රසනම් කිසිම එකකින් දැනිලා නැහැ.

ඡායාරූපය මෙතනින්

මන් මේ අරක්කු ගැන නොලියා ඉන්න කියලා හිටියේ ඒත් මාර වැඩක් වෙලා, මෙච්චර කාලයක් ගූගල් වල මට තිබ්බ පළවෙනි ස්ථානය අපේ කතන්දර කාරයා මගෙන් ඩැහැ ගෙන. මන් හිතන්නේ එයාගේ බ්ලොග් එකේ අරක්කු ගැන තියෙන එකම එක ලිපියයි. ඒකත් මට වඩා උඩට ගිහින් බලන්න අප්පා. මෙච්චර අරක්කු වලට සේවයක් කරන මන් දෙවෙනියට වැටිලා. ඔය Google Page Ranking  කියන එක ගැන මට එච්චර අවබෝධයක් නැහැ ඉතින් එයාලා කොහොම ඔය ලැයිස්තුව හදනවද මන්දන්නේ නැහැ.

ඒ මේ අස්සේ මන් මේ මූනූ පොතේ අරක්කු ගැන ලියපු එකකුත් ගූගල් වල ඒ ලැයිස්තුවෙම ඇවිල්ලා. මේවා දැක්කොත් නම් මට ඉතින් පාරේ බැහැලා යන්න වෙන එකක් නැහැ ගුටි නොකා. ඒ ලිපිය ගැන කියනකොට මතක් උනේ අපේ (අරක්කු) සංස්ථාවෙන් (DCSL) කාන්තාවන් ඉලක්ක කරලා අළුත් අරක්කු (අරක්කුම නෙමෙයි Liqueur එකක් කියලා කිව්වේ) වර්ගයක් හඳුන්වා දීලා නම නම් හරියටම මට පෙනුනේ නැහැ Narikela වගේ එකක් තියෙන්නේ (ඔය නිල් පාට බෝතලේ) මේක ටිකක් පැනි රසයි කිව්වා. ගාන නම් 875/= ක් වගේ මතක ඇල්කොහොල් නම් 23% තිබ්බා වගේ මතක. මට කෙනෙක් කිව්වා මේක Malibu (මන් දැනට බීලා තියෙන සවුත්තුම ජාති දෙකෙන් එකක්) වගේ කියල ඉතින් එතනින්ම මන් ඒක ට්‍රයි කිරීමේ ආසාව අත් ඇර ගත්තා.මොකද කොච්චර කිව්වත් අරක්කු නැත්නම් මද්‍යසාර කියන ඒවා ඕනවට වඩා පැණි රස උනාම බොන්න බැහැ වගේ.

මට ඉතින් නිකා ඉන්න බැරුවට DCSL ඒකේ කෙනෙක්ගෙන් අහලා බැලුවා ඇයි හොඳ වෙබ් අඩවියක් එයාලට නැත්තේ කියලා. කියපු විදිහට එහෙම අදහසක් වත් එයාලට නැහැ. අන්තර්ජාලෙන් බලලා මිනිස්සු අරක්කු බොයි කියලා එයාලා හිතන්නේ නැහැ. අනික ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන තරම් වෙළඳාමක් එයාලට නිකනුත් තියෙනවාලු. අනික එයාලගේ ඔය සියලු නිෂ්පාදන අතරින් වැඩියෙන්ම විකිනෙන්නේ ගල් කියලා තමා කිව්වේ. ඒක ඇහුවම මගේ හිතටත් ටිකක් හොඳයි මොකො බ්ලොග් වල ලියන එව්වා බලලා කවුරුත් අරක්කු පානයට යොමු වෙනවා කියන එක අරක්කු නිෂ්පාදනය කරන සමාගමක් වත් පිළිගන්නේ නැති කොට අනික් අය ගැන මොන කතාද නේ? 

ඔය DCSL  එකේම තියෙන Periceyl කියන සමාගමෙන් කරන කියන Black Opal අරක්කු ජාතියට මේ දවස්වල හොඳ ඉල්ලුමක් තියෙනවලු තරුණ පරපුර අතරේ. මේක අනික්වා තරම්ම සුවඳ(ගඳ කියල කියන්නේ) නැති නිසාත් පහුවදාට අමාරුව අඩු නිසාත් කියලා තමා කිව්වේ. මන් නම් තාම ට්‍රයි කලේ නැහැ බිව්වොත් ඒ ගැන කියන්නකෝ.

ඒත් ඉතින් මන් බලාපොරොත්තු වෙන බීම නම් අපේ අය කවදාවත් පුරුදු වෙන එකක් නැහැ. සාමාන්‍යයෙන් කට්ටිය නිකන් සෙට් වෙලා අද මොනාද බොන්නේ කියල අහල එවෙලේ ගිහින් බෝතලයක් ගෙනත් බොන එක කිව්වා මෙහෙ කරන්නේ. නැතුව හොඳ Recipe එකක් බලලා ඒකට හොඳ බයිට් එකක් එහෙම හදා ගෙන අරක්කු රසවිඳින එකක් ගැන කතාවක් වත් නැහැ.

මන් මේ නිකන් ජොලියට ලිව්වේ එහෙම නැතුව හැබෑටම කවුරුවත් එක්ක කිසිම තරඟයක් කිසිම දේකට මට නම් නැහැ. මන් කැමති කොහොමත් පහුවෙලා යන්න අපායට ගියත්.