මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපේ ජීවිත වලම කොටසක් වෙන යාළුවෝ අපිට පොඩි කාලෙම ඉඳලා හම්බ වෙනවා, සමහර අය ජීවිත කාලෙටම අපිත් එක්ක යාළුකම් තියා ගත්තත් ගොඩක් දෙනෙක් ටික කාලෙකින් නැති වෙලා යන යාළුවො. මට නම් පුංචි කාලේ ඉඳලා ඉන්න යාළුවො කියන්න පුළුවන් අය නම් දැනට ඉන්නේ එක්කෙනයි එයත් එක්කත් වැඩි යාළුකමක් නැහැ කලාතුරකින් තමා මුණගැහෙන්නේ. යාළුවන්ටත් වඩා මන් ගොඩක් ආස්‍රේ කරන්නේ පවුලේ නෑදෑ සහෝදර සහෝදරියන් ඒක නිසා මට ගොඩක් ඉන්නේ එහෙම අය මිසක් යාළුවො නෙමෙයි.

මම මොන්ටිසෝරි ගිහින් නැති නිසා මට මොන්ටිසෝරියේ ඉඳන් එකට ඉන්න යාළුවෝ කියලා ජාතියක් ඇත්තේම නැහැ. එකේ පන්තියේ ඉඳන් ඉන්න යාළුවෝ එක්කෙනෙක් ඉන්නවා. ඒතමයි ඉන්න එකම පරණම යාළුවා. හයේ ඉඳන් එකොලහ වෙනකන් හිටියේ වෙනම යාළුවො පිරිසක් ඒ අය අතරින් නම් එක්කෙනෙක් දෙන්නෙක් ඉඳ හිට හම්බ වෙනවා ඒත් වැඩි සම්බඳකම් නැහැ. උසස්පෙළ කරනකොට හිටපු අය වෙනම පිරිසක් ඒ අයගෙනුත් දැන් ඉඳ හිට හරි කතා බහ කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි.

ඊට පස්සේ ඔය එක එක කෝස් කරන කාලේ තවත් යාළුවෝ ටිකක් හිටියා එයාල එක්ක නම් දැන් කිසිම කතාබහක් නැති තරම් . වැඩ කරනකොට එක එක තැන්වල යාළුවො ටික දෙනෙක් හිටියත් දැන් එයාලා එක්කත් වැඩි කතාබහක් නැහැ.

මන් දිගටම එකම තැන පදිංචි වෙලා හිටියෙත් නැති නිසා එහෙම ගමේ යාළුවෝ කියලා ජාතියකුත් නැහැ. දැන් වැඩ කරන තැන කියලත් එහෙමට කියන්න තරම් යාළුකමක් නැහැ. ඔහොම ඔහොම ගියාම මට හොඳම යාළුවෙක් කියන්න කෙනෙක් නැහැ වගේ.යාළුවෝ කියන ජාතිය නැතුවත් බැහැ , ජීවත් වෙනකොට දුක සැප බෙදා ගන්න. උදව් පදව් කරගන්න එහෙම. අපිට එහෙම හුදකලාව ජීවත් වෙන්න බැරි නිසා. පවුලේ නැදෑ මිතුරන් ඇරෙන්න මට වෙන මිතුරන් නැතිම තරම්.

මේ දවස් වල නම් මට ඉන්නේ අන්තර්ජාලෙන් හම්බ වෙච්ච යාළුවෝ විතරයි . ඒ ඇරුනම ඉන්නේ යාළුවෝ වගේ ඉන්න නෑදෑ සහෝදර සහෝදරියෝ විතරයි. එයාලනම් සදහටම ඉඳී ඒත් අනික් අයත් සමහර විට කාලයක් යනකොට නැති වෙලා යයි.


ආපිකෝ එකට ගියවෙලාවේ නිකමට වගේ ඇහැගැහුනා ඉස්සර කාලේ කාපු ටොපියක හැඩේ තියෙන පැකට් එකකට. ඉක්මනට අතට අරන් බැලුවාම බුල්ටෝ පැකට් එකක්. කාලෙක ඉඳන් ආයිත් බුල්ටෝ එකක් කාලා බලන්න ආසාවෙන් හිටපු නිසා ඉක්මනින්ම අරගත්තා. ඉස්සර නම් සත විසිපහට තිබ්බේ ඒත් දැන් එයින් බාගයක් වත් සයිස් එක නැති බුල්ටෝ එකක් රුපියල් 2යි ඒකත් තියෙන්නේ 20 පැකට් වලින්. ඒ කාලේ තරම් රස නම් නැහැ ඒත් බුල්ටෝ කන ගතිය තියෙනවා.

දැන් නම් මන් ඉන්නේ කඩචෝරු කන වයසක නෙමෙයි. කඩචෝරු කන්න අතේ සල්ලි තිබ්බත් කන්න එච්චර ආසාවක් නැහැ ඒත් අතේ සල්ලි නැතිව තිබ්බ දසක දෙකකට විතර කලින් කාලේ නම් කඩචෝරුවලට තිබ්බේ පුදුම පෙරේත කමක්.

බුල්ටෝ ඇරුනම ගොඩක් කාපු දෙයක් තමා ඇඟිලි විස්කෝත්තු. ටිකක් රස දැන් තියෙන ජින්ජ බිස්කට් වගේ උනාට ඊට වඩා ටිකක් හයියයි. හැඩයත් ඇඟිල්ලක් වගේ. සූදූරු ඇටයක් වටේට පැනිරස පිටි මිශ්‍රණයක් ගාපු හූණු බිජු කියලා අපි කියන පැකට් නම් ගත්තේ ඒවා කනවට වඩා ඒක එක්ක දෙන පුංචි නලා, සෙලම් බඩු වගේ ඒවා ගන්න ඕනේ නිසා. මොනවායින් හදලා තියෙනවාද කියලා නොදන්න සවු බොරත් ගොඩක් කන්න පුළුවන් රස කැමක්. සවු බොර නම් දනුත් ගන්න තියෙනවා ගොඩක් තැන්වල. අවිස්සාවේල්ල බස් නවතුම්පොලේ විතරක් බස් වලට නැගලා වෙළෙන්දෝ විකුනන ඉඟුරු දෝසි මන් වෙන කොහේවත් තාම නම් දැකලා නැහැ. ඉස්සර අවිස්සාවෙල්ලට ආවොත් ඉඟුරු දෝසි පැකට් එකක් නම් අනිවාර්යයෙන් ගන්නවම තමා. දැන් වගේ විවිධ නම් වලින් තියෙන ටොෆී , චොකලට් ජාති ගොඩක් නොතිබ්බ ඒ කාලේ ඔය වගේ ජාති දෙක තුනක් තමා අපේ ප්‍රියතම කැම උනේ.

කැෂියර් එකේ හිටපු මල්ලි කිව්ව මේ බුල්ටෝ පැකට් ගොඩක් විකිනෙනවා කියලා, අනිවාර්යයෙන් ඒ කාලේ කාපු අය තමා නැතුව දැන් කාලේ තියෙන ටොෆී වල වගේ පෙනුමකුත් නැතුව දැන් ලමයි නම් බුල්ටෝ කන එකක් නැහැ.

කවි කඳුර කියන්නේ සුනේත්‍රා රාජකරුණානායක ගේ අළුත්ම පොතක්. සරසවි ප්‍රකාශකයෝ තමයි කරලා තියෙන්නේ. මිල රුපියල් 450/=


සුනේත්‍රා මන් කැමතිම ලේඛකාවියක්, එයා ලියපු පොත් ගොඩක් මන් ගාවා තියෙනවා. මේ පොතට නම් මන් ගොඩක් ම කැමති එකේ තියෙන අමුතු බස් වහර නිසා. වෙලාවකට ඒක කියවන එක අමාරු උනත් ගොඩක් වෙලාවට ඒක හරිම රසවත්.

පොතේ ආරම්භය වර්තමාන කාලේ තියෙන්නේ ඒ හරියෙදි නම් හිතෙනවා දැනට ජීවත් වෙලා ඉන්න ප්‍රසිද්ධ දේශපාලන චරිතත් ඉන්නවදෝ කියලා ඒත් මුල් කතාව ඇතුලේ තවත් කතාවක් යන්නේ ඒක තනිකරම රජකාලේ කතාවක්. සුනේත්‍රාගේ කතා පොත් ගොඩක එක කතාවක් ඇතුලේ තව කතා ගොඩක් කියනවා. පොත නවකතාවක් උනාට වෙන වෙනම පරිච්ඡේද ලියන්නේ වෙන වෙනම චරිත. එහෙම පොත් ටිකක් අඩුයි

මේ ඇරුනම සුනේත්‍රා ඉරිදා දිවයින සියපත අතිරේකයට ලියපු ලිපි පෙලක් කර්ම අත්පොත කියලා පිට වෙලා තියෙනවා. ඒක නම් කතා පොතක් නෙමෙයි.

කවි කඳුර පොතේ හැන්දින්වීම්

කවි කඳුර මහනුවර යුගයේ සිට වර්තමානය දක්වා විහිදෙන්නකි. කවිකඳුර පොතේ හැන්දින්වීම්නුවර යුගයේ කතන බස මෙන්ම ලිඛිත බසත් යෙදෙනුයේ ඒ ඒ චරිතවලට ගැලපෙන පරිදිය.වර්තමාන ව්‍යවහාර කථන බස හා ලිඛිත බසද මුසු වනුයේ අදාළ චරිතවල පසුබිම අනුවය.

වර්තමානයෙන් නුවර යුගයටත් නුවර යුගයෙන් 1900 වසර ආරම්භය දක්වාත් දිවෙන කතාව යළිත් වර්තමානයට පතිත වනුයේ නැවුම් ආඛ්‍යායන ක්‍රමෝපායකිනි.

නුවර යුගයේ මෙන්ම වතමානයේ සංකීරණ දේශපාලන චිත්‍රය ද කවි කඳුරට සංකලනය වනුයේ බරසාර අලංකාරයකිනි.

සීට්ටු දානවා කිව්වම සමහර අයට හිතෙයි ඒක කරන්නේ සමහර විට සමාජයේ ටිකක් පහල මට්ටමක ඉන්න බැංකු ගණු දෙනු ගැන වැඩි දැනුවමක් නැති අය කියලා ඒත් මේ ලඟදි පත්තරේක තිබ්බා ලංකාවේ කොහේ හරි පැත්තක කෝටි ගානක් සීට්ටු සල්ලි වංචාවක් ගැන. ඒ ඇරෙන්න මන් දන්න ඉතා උසස් තත්වයේ ඉන්න බැංකු ගණු දෙනු ගැන හොඳට දන්න අය පවා මිලියන ගනන් වල සීට්ටු වලට දායක වෙනවා.

සීට්ටු කියන්නේ බැලූ බැල්මට වාසි දායක නැති මුදල් ඉතිරිකිරීමේ ක්‍රමයක් ඒත් මේකට යෙදෙන පුදගලයන් නම් කියන්නේ මේක බැංකුවට වඩා වාසියි කියලා. සීට්ටුවකින් වෙන්නේ මේ වගේ දෙයක් 10 දෙනෙක් ඉන්නවානම් එයාලා හැමෝම සමාන මුදලක් උදා 1000ක් වගේ හැම මාසෙම එකතු කරලා එක්කෙනෙක්ට දෙනවා මේ වගේ මාස 10කදි හැමෝටම 10000 ගානේ ලැබෙනවා. මුදල් සීට්ටු විතරක් නෙමෙයි ලීබඩු සහ වෙනත් බඩු භාණ්ඩ වලටත් සීට්ටු දානවා.

ඔය සල්ලි දෙන පිළිවෙල තෝරන්නේ තුණ්ඩු ඇදලා. පළවෙනි එක හැමදාම සීට්ටුව කරන කෙනාට. මේකේදී වාසි වෙන්නේ සල්ලි හදිස්සි කෙනෙක් මුල් සීට්ටු වටිනාකමට වඩා අඩු මුදලකට ලබා ගන්නවා ඒ කියන්නේ 10000 වෙනුවට එයා 9000ක් ඇති කියන්වා එතකොට අනික් අයට යන්නේ ඒ මාසේ 900 ඒත් 9000 ගත්ත කෙනා සීට්ටුව කල් පිරෙනකන් 1000 ගානේ ගෙවන්න ඕනේ. ඒ වගේ උනාම 9900ක් ගෙවපු කෙනෙක්ට උනත් 10000ක් අන්තිමට ලැබෙනවා.

සීට්ටුවක් සාර්ථක වෙන්නේ ඒක කරන කෙනා අනුව. කරන කෙනාට පුළුවන් නම් ඉන්න 10 දෙනාගෙන්ම හැම මාසෙම බලෙන් හරි 1000 එකතු කරන්න සීට්ටුව හරියට යනවා. නැත්නම් ඉතින් කවුරු හරි මග ඇරියොත් එතන ලොකු පාඩුවක් සිද්ද වෙනවා. 1000 වගේ සුළු මුදලකදි නෙමෙයි ලක්ෂ කෝටි ගනන් වලින් ඔය ගණු දෙනුව සිද්ද වෙද්දි තමා ඒකේ පාඩුව සිද්ද වෙන්නේ.

මන් හිතන්නේ මේ සීට්ටු කියන ක්‍රමයම හරි විදිහකට කලා නම් ලංකාව තුලත් හොඳ ක්ෂුද්‍ර ණය ව්‍යාපෘතියක් ආරම්භ කරන්න තිබ්බ මොකද මෙච්චර සාර්ථක විදිහට සීට්ටු ක්‍රමය යනවනම් ඒක බැරි වෙන්න විදිහක් නැති නිසා.

ඉස්කෝලේ ගිහින් ඉස්සලම ර යනු ට යනු ම යනු ල යනු ඉගෙන ගෙන රට මල වගේ වචන ලියලා යන්තම් වගේ වාඛ්‍ය ලියන්න පුරුදු උනාම ඉස්සෙල්ලම ලියන්නේ මම ගැන රචනාවක්. හරියටම මට මතක නැහැ මන් හිතන්නේ 4 ,5 පංති වලදි තමා මන් මුලින්ම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. හෝඩිය ඉගෙන ගෙන වචන ඉගෙන ගෙන ඉංග්‍රීසියෙනුත් මුල්ම රචනාව ලියන්නේ My Self ගැන. ඊටත් පස්සේ 7 වසරේදි විතර දෙමල ඉගෙන ගන්න පටන් ගත්තා. ඒකත් සිංහල , ඉංග්‍රීසි වගේම තමා මුලින්ම ලියන්නේ நான் කියලා තමන් ගැන.

මම ගැන රචනාව ලියද්දි උපතින් අපිට අයිති නැති උනත් බලෙන් අපේ නම කියලා දාලා තියෙන හැඳින්වීම, මම කියන කෙනා ඒ කාලේදි කන්න කැමති බීම, කැම, ඇඳුම්, සත්තු, යාළුවා, අම්මා, තාත්තා, ඉන්න තැන ගැන ලියනවා. එදා ලියපු මම ගැන රචනාවේ තිබ්බ නම, අම්මා, තාත්තා සහ පවුලේ අය ඇරුනම අනික් හැමදෙයක්ම අද වෙනකොට එදාට වඩා වෙනස්. ඒ දේවල් ඒ කාලේ හිටපු දැකපු දේවල් විතරයි.

ඇත්තටම අපි මම ගැන ලියන්නේ මම කියන්නේ කවුද කියන එක හරියටම දැනගෙනද? එච්චර ලේසියෙන් තමන්ට තමන් කවුද කියලා දැනගන්න පුළුවන්ද? මම මම ගැන කතා කලාට ලිව්වාට, ඇත්තටම මම කවුද කියලා මමවත් දන්නේ නැහැ , ඒ ලියන කියවන වෙලාවට ඉන්න මම ගැන තමා මන් කතාකරන්නේ අනික් වෙලාවට ඉන්නේ මම ම උනත් ඒ මම හැම වෙලේම නැහැ.

පොඩි කාලේ ඉඳන් අපි හැමෝම ලියන කියවන මම කියන කෙනා  කවුරුවත් හරියටම දන්නවද කියලා මන් දන්නේ නැහැ.


ස්කූල් බස් එකේ ඉස්කොලේ ගිය කෙනෙක්ට නම් ජීවිතේට අමතක වෙන්නේ නැති අත්දැකීමක් තමයි ස්කූල් බස් එකේ ගිය කාලේ.

මම ඉස්කොලේ ගිය දවසේ ඉඳන් සාමාන්‍ය පෙළ කරනකම්ම ඉස්කොලේ ගියේ ස්කූල් බස් එකේ. උසස් පෙළ කරනකොට නම් වැඩිය ලේසි නිසාත් බස් එකේ එක ගමනක් යන ගානෙන් කෝච්චියේ මාසෙටම සීසන් ගන්න පුළුවන් නිසා සහ බස් එකේ ටිකට් ගත්තා නොගත්තා, ලොකු අයියලාට දවස ගානේ ගානක් දෙන්න වෙන නිසාත් ඉස්කෝලේ ගියේ කෝච්චියේ.

එක වසරේ ඉඳලා පහ වසර නම් මන් ගියේ කාන්තා පාසැල් බස් රථයක. ඒ බස් එකේම හිටියේ කොල්ලෝ 5යි. අනික් ඉතින් ඒ කාලේ බැට්රි පෙට්ටිය උඩ ඉඳගන්න එක ගැන සිහිය මිසක් බස් එකේ ඉන්න ගෑනු ලමයි ගැන මෙලෝ කල්පනාවක් තිබ්බේ නැහැ.

ඊට පස්සේ හයේ ඉඳන් එකොළහ වෙනකම්ම ගියේ කාන්තා, මිශ්‍ර සහ පිරිමි පාසල් තුනකටම තිබ්බ පොදු පාසල් සේවයක. ඒ කාලේ තමා නියම. ඉස්කෝල තුනේ ආචාර්ය මණ්ඩලේ කීප දෙනෙක් හිටියත් ඔය බස් එක ඇතුලේ පෙම් යුවල් කිහිප දෙනෙක්ම හිටියා. උදේ හවස ලියුං , සුභ පැතුම් පත් එහෙම පොත් අස්සේ දාලා හුවමාරුත් උනා. මිශ්‍ර පාසලේ ගෑනු ලමයි එක්ක ඇයි හොඳයි කං තියන්න පිරිමි ඉස්කෝලේ ලමයින්ට අවසර නැති උනත් කාන්තා පාසැලේ ගෑනු ලමයි ගැන එහෙම ගැටළුවක් තිබ්බේ නැහැ. ඉඳලා හිටලා ඔය ගෑනු ලමයි බෙදා හදාගන්න බැරුව පොඩි පහේ රණ්ඩු නොතිබුනේමත් නැහැ ඒත් ඒවා වැඩිය දුර දිග නම් ගියේ නැහැ.

අපේ මුළු ගමනම පැය බාගයක් වගේ පොඩි වෙලාවක් උනත් ඒ ගතකරපු වෙලාව තමා ඉස්කොලේ ජීවිතේ ගොඩක්ම සතුටින් හිටියේ. ඒ කාලේ සමහර ඉස්කොලෙන් අස් වෙච්ච අයියලා උදේ හවස ස්කූල් බස් එකේ යන්න එන්න විතරක ආපු වෙලාවලුත් තිබ්බේ බස් එක දාලා යන්න බැරි නිසාමද කොහේද

ආයි ඉතින් ජීවිතේට යන්න ලැබෙන එකක් යෑ

ඡායාරූපය මෙතනින්