මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

සීට්ටු දානවා කිව්වම සමහර අයට හිතෙයි ඒක කරන්නේ සමහර විට සමාජයේ ටිකක් පහල මට්ටමක ඉන්න බැංකු ගණු දෙනු ගැන වැඩි දැනුවමක් නැති අය කියලා ඒත් මේ ලඟදි පත්තරේක තිබ්බා ලංකාවේ කොහේ හරි පැත්තක කෝටි ගානක් සීට්ටු සල්ලි වංචාවක් ගැන. ඒ ඇරෙන්න මන් දන්න ඉතා උසස් තත්වයේ ඉන්න බැංකු ගණු දෙනු ගැන හොඳට දන්න අය පවා මිලියන ගනන් වල සීට්ටු වලට දායක වෙනවා.

සීට්ටු කියන්නේ බැලූ බැල්මට වාසි දායක නැති මුදල් ඉතිරිකිරීමේ ක්‍රමයක් ඒත් මේකට යෙදෙන පුදගලයන් නම් කියන්නේ මේක බැංකුවට වඩා වාසියි කියලා. සීට්ටුවකින් වෙන්නේ මේ වගේ දෙයක් 10 දෙනෙක් ඉන්නවානම් එයාලා හැමෝම සමාන මුදලක් උදා 1000ක් වගේ හැම මාසෙම එකතු කරලා එක්කෙනෙක්ට දෙනවා මේ වගේ මාස 10කදි හැමෝටම 10000 ගානේ ලැබෙනවා. මුදල් සීට්ටු විතරක් නෙමෙයි ලීබඩු සහ වෙනත් බඩු භාණ්ඩ වලටත් සීට්ටු දානවා.

ඔය සල්ලි දෙන පිළිවෙල තෝරන්නේ තුණ්ඩු ඇදලා. පළවෙනි එක හැමදාම සීට්ටුව කරන කෙනාට. මේකේදී වාසි වෙන්නේ සල්ලි හදිස්සි කෙනෙක් මුල් සීට්ටු වටිනාකමට වඩා අඩු මුදලකට ලබා ගන්නවා ඒ කියන්නේ 10000 වෙනුවට එයා 9000ක් ඇති කියන්වා එතකොට අනික් අයට යන්නේ ඒ මාසේ 900 ඒත් 9000 ගත්ත කෙනා සීට්ටුව කල් පිරෙනකන් 1000 ගානේ ගෙවන්න ඕනේ. ඒ වගේ උනාම 9900ක් ගෙවපු කෙනෙක්ට උනත් 10000ක් අන්තිමට ලැබෙනවා.

සීට්ටුවක් සාර්ථක වෙන්නේ ඒක කරන කෙනා අනුව. කරන කෙනාට පුළුවන් නම් ඉන්න 10 දෙනාගෙන්ම හැම මාසෙම බලෙන් හරි 1000 එකතු කරන්න සීට්ටුව හරියට යනවා. නැත්නම් ඉතින් කවුරු හරි මග ඇරියොත් එතන ලොකු පාඩුවක් සිද්ද වෙනවා. 1000 වගේ සුළු මුදලකදි නෙමෙයි ලක්ෂ කෝටි ගනන් වලින් ඔය ගණු දෙනුව සිද්ද වෙද්දි තමා ඒකේ පාඩුව සිද්ද වෙන්නේ.

මන් හිතන්නේ මේ සීට්ටු කියන ක්‍රමයම හරි විදිහකට කලා නම් ලංකාව තුලත් හොඳ ක්ෂුද්‍ර ණය ව්‍යාපෘතියක් ආරම්භ කරන්න තිබ්බ මොකද මෙච්චර සාර්ථක විදිහට සීට්ටු ක්‍රමය යනවනම් ඒක බැරි වෙන්න විදිහක් නැති නිසා.

ඉස්කෝලේ ගිහින් ඉස්සලම ර යනු ට යනු ම යනු ල යනු ඉගෙන ගෙන රට මල වගේ වචන ලියලා යන්තම් වගේ වාඛ්‍ය ලියන්න පුරුදු උනාම ඉස්සෙල්ලම ලියන්නේ මම ගැන රචනාවක්. හරියටම මට මතක නැහැ මන් හිතන්නේ 4 ,5 පංති වලදි තමා මන් මුලින්ම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. හෝඩිය ඉගෙන ගෙන වචන ඉගෙන ගෙන ඉංග්‍රීසියෙනුත් මුල්ම රචනාව ලියන්නේ My Self ගැන. ඊටත් පස්සේ 7 වසරේදි විතර දෙමල ඉගෙන ගන්න පටන් ගත්තා. ඒකත් සිංහල , ඉංග්‍රීසි වගේම තමා මුලින්ම ලියන්නේ நான் කියලා තමන් ගැන.

මම ගැන රචනාව ලියද්දි උපතින් අපිට අයිති නැති උනත් බලෙන් අපේ නම කියලා දාලා තියෙන හැඳින්වීම, මම කියන කෙනා ඒ කාලේදි කන්න කැමති බීම, කැම, ඇඳුම්, සත්තු, යාළුවා, අම්මා, තාත්තා, ඉන්න තැන ගැන ලියනවා. එදා ලියපු මම ගැන රචනාවේ තිබ්බ නම, අම්මා, තාත්තා සහ පවුලේ අය ඇරුනම අනික් හැමදෙයක්ම අද වෙනකොට එදාට වඩා වෙනස්. ඒ දේවල් ඒ කාලේ හිටපු දැකපු දේවල් විතරයි.

ඇත්තටම අපි මම ගැන ලියන්නේ මම කියන්නේ කවුද කියන එක හරියටම දැනගෙනද? එච්චර ලේසියෙන් තමන්ට තමන් කවුද කියලා දැනගන්න පුළුවන්ද? මම මම ගැන කතා කලාට ලිව්වාට, ඇත්තටම මම කවුද කියලා මමවත් දන්නේ නැහැ , ඒ ලියන කියවන වෙලාවට ඉන්න මම ගැන තමා මන් කතාකරන්නේ අනික් වෙලාවට ඉන්නේ මම ම උනත් ඒ මම හැම වෙලේම නැහැ.

පොඩි කාලේ ඉඳන් අපි හැමෝම ලියන කියවන මම කියන කෙනා  කවුරුවත් හරියටම දන්නවද කියලා මන් දන්නේ නැහැ.


ස්කූල් බස් එකේ ඉස්කොලේ ගිය කෙනෙක්ට නම් ජීවිතේට අමතක වෙන්නේ නැති අත්දැකීමක් තමයි ස්කූල් බස් එකේ ගිය කාලේ.

මම ඉස්කොලේ ගිය දවසේ ඉඳන් සාමාන්‍ය පෙළ කරනකම්ම ඉස්කොලේ ගියේ ස්කූල් බස් එකේ. උසස් පෙළ කරනකොට නම් වැඩිය ලේසි නිසාත් බස් එකේ එක ගමනක් යන ගානෙන් කෝච්චියේ මාසෙටම සීසන් ගන්න පුළුවන් නිසා සහ බස් එකේ ටිකට් ගත්තා නොගත්තා, ලොකු අයියලාට දවස ගානේ ගානක් දෙන්න වෙන නිසාත් ඉස්කෝලේ ගියේ කෝච්චියේ.

එක වසරේ ඉඳලා පහ වසර නම් මන් ගියේ කාන්තා පාසැල් බස් රථයක. ඒ බස් එකේම හිටියේ කොල්ලෝ 5යි. අනික් ඉතින් ඒ කාලේ බැට්රි පෙට්ටිය උඩ ඉඳගන්න එක ගැන සිහිය මිසක් බස් එකේ ඉන්න ගෑනු ලමයි ගැන මෙලෝ කල්පනාවක් තිබ්බේ නැහැ.

ඊට පස්සේ හයේ ඉඳන් එකොළහ වෙනකම්ම ගියේ කාන්තා, මිශ්‍ර සහ පිරිමි පාසල් තුනකටම තිබ්බ පොදු පාසල් සේවයක. ඒ කාලේ තමා නියම. ඉස්කෝල තුනේ ආචාර්ය මණ්ඩලේ කීප දෙනෙක් හිටියත් ඔය බස් එක ඇතුලේ පෙම් යුවල් කිහිප දෙනෙක්ම හිටියා. උදේ හවස ලියුං , සුභ පැතුම් පත් එහෙම පොත් අස්සේ දාලා හුවමාරුත් උනා. මිශ්‍ර පාසලේ ගෑනු ලමයි එක්ක ඇයි හොඳයි කං තියන්න පිරිමි ඉස්කෝලේ ලමයින්ට අවසර නැති උනත් කාන්තා පාසැලේ ගෑනු ලමයි ගැන එහෙම ගැටළුවක් තිබ්බේ නැහැ. ඉඳලා හිටලා ඔය ගෑනු ලමයි බෙදා හදාගන්න බැරුව පොඩි පහේ රණ්ඩු නොතිබුනේමත් නැහැ ඒත් ඒවා වැඩිය දුර දිග නම් ගියේ නැහැ.

අපේ මුළු ගමනම පැය බාගයක් වගේ පොඩි වෙලාවක් උනත් ඒ ගතකරපු වෙලාව තමා ඉස්කොලේ ජීවිතේ ගොඩක්ම සතුටින් හිටියේ. ඒ කාලේ සමහර ඉස්කොලෙන් අස් වෙච්ච අයියලා උදේ හවස ස්කූල් බස් එකේ යන්න එන්න විතරක ආපු වෙලාවලුත් තිබ්බේ බස් එක දාලා යන්න බැරි නිසාමද කොහේද

ආයි ඉතින් ජීවිතේට යන්න ලැබෙන එකක් යෑ

ඡායාරූපය මෙතනින්

පහුගිය සතියේ අපේ කාර්යාලයට කෙනෙක් සම්මුඛ පරීක්ෂනයකට ආවා, ඩෙනිම් එකක් සහ ටීෂර්ට් එකක් ඇඳන්, සහතික පොලිතීන් බැග් එකක දාගෙන. දැකපු ගමන් මට හිතුනේ මෙයා හරියන්නේ නැහැ කියලා. සමහර විට අවස්ථාවක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒ ඇඳුම් සහ පැමිණි පිළිවෙන ඉතා ඉහල තත්වයේ කලින් කරපු වැඩ ඇති කෙනෙක්ට සුදුසු උනාට වැඩි අත්දැකීම් නැති කෙනෙක්ට හරියනෙන නැහැ. එහෙම අඩු අත්දැකීම් තියෙන අය ඒවා ඇඳුම් සහ පැමිණෙන පිළිවෙලින් වසාගන්න එක තමා සුදුසු කියලා මට නම් හිතෙන්නේ.

ටික දිනකට කලින් මගේ අතට ලැබුනු රැකියා අයදුම් පත්‍රයක තිබුන එකම සුදුසුකම අපොස සාපේ විතරයි ඒත් බලාපොරොත්තුව නම් ඉහල රැකියාවක්. කලින් 15000ක් පඩි හම්බ උන එකක් කලාලු ඒත් පඩි මදි නිසා නැවතිලා. මට නම් ඒ සුදුසු කම් වලට ගැලපෙන රැකියා දෙකයි මතක් උනේ එකක් ගාමන්ට් එකක අත් උදවු කාරියක් අඩුම ගානේ මැෂින් එකක වැඩ කරලා පුරුද්දවත් නැති නිසා. අනික සුපිරි වෙළඳ සැලක රැකියාවක්. ඒ ඇරෙන්න වෙන මොකුත් ඒ සුදුසුකම් වලට දෙන්න වටින්නේ නැහැ. ඒත් ඕක කිව්ව නම් හිත් නරක් වෙන නිසා සද්ද නැතුව කිව්ව බලන්න හොඳ රස්සාවක් හම්බ වෙයි කියලා.

මන් දන්න කියන රස්සාවල් නැති හැමෝම කියන්නේ තාම රස්සාවක් නැහැ කියලා. නිකන් හරි ඇහුවොත් ජොබ් වලට ඇප්ලයි කලාද කියලා ඒත් නැහැ. ඉතින් දෙයියෝ ගෙනත් දෙනකන් ඉන්නවා රස්සාවල්. අනික ගොඩක් අය ඉල්ලුම්පත දෙන්නෙ අඳුනන කෙනෙක්ට එහෙම දෙන ඒවා වැඩිපුර යන්නේ කුණු කූඩ වලට කියන එක මන් හොඳටම දන්නවා. ඒවා බාර ගන්නේ දෙන කෙනාගේ හිත සනසන්න හිතාගෙන විතරයි නැතුව ජොබ් හොයලා දෙන්න නෙමෙයි. ඉරිදා පත්තර ගත්තොත් රැකියා ඇබැර්තු ඕනේ තරම් තියෙනවා ඒවා එකකටවත් දාන්න, අඩුම ගානේ පත්තරේ අරන් බලන්නවත් ඔය රස්සා නැති ගොඩක් අය උනන්දු වෙන්නේ නැහැ.

තමන්ගේ සුදුසුකම් වලට හරියන රස්සාවක් ලැබෙනකම් ඊට වඩා අඩු තත්වයේ රස්සාවක යෙදෙන්න හිතන්නේවත් නැහැ. හැමදාම නැහැ නැහැ අනේ තාම රස්සාවක් නැහැ කිය කියා ඉන්නවා. රස්සා නම් මන් හිතන්නේ ඕනවටත් වඩා තියෙනවා ඇත්තටම අපේ නැත්තේ ඒවාට සුදුසු මිනිස්සු. ආණ්ඩුවේ රස්සා බලාගෙනම ගෙදරට නාකි වෙන උපාධිදාරීන් කීදාහක් ඉන්නවද දන්නේ නැහැ. මිනිස් ශ්‍රමය කියන්නේ මිල කරන්න බැරි තරම් වටින දෙයක් අපි අපතේ අරින්නෙත් ඒකම තමා


මළ ගෙදරක අවසාන කටයුතු ඉවර උනාට පස්සේ ඇවිල්ල ඉන්න අයට කන්න දෙන කෑම වේලට කියන්නේ මළ බත කියලා. සම්මතයක වශයෙන් අපේ පැත්තේ නම් මේකට දෙන්නේ වට්ටක්කා, කරවල හොදි සහ තක්කාලි සම්බෝල. ඒත් ඒ ඇරුනම බෝංචි, අළු කෙසෙල් වගේ ඒවත් සමහර තැන් වලින් දෙනවා.

මේ සිරිත පළාතෙන් පළාතට වෙනස්. සමහර පළාත් වල නම් මළ බත කියලා එකක් දෙන්නේ නැහැ. අනුරාධපුරේ ගිය වෙලාවක ගෙදර බිම වාඩි වෙලා මළ බත කන්න සිද්ද වෙලා තියෙනවා එක පාරක්. වට්ටකයි, කරෝලයි, තක්කාලි සම්බෝලයි එකතු උනාම මළ බතේ තියෙන්නේ පුදුම රසක් ඒක නිසා මම නම් මළ ගෙදරක අන්තිම දවසේ ගියොත් මළ බත නම් නොකා ලේසියෙන් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් මැරුනාම ඒ ගෙදර කෑම උයන එක නවත්තනවා ආයි කෑම උයන්න පටන් ගන්නේ මේ මළ බත උයලා තමයි. ඒ නිසා වෙන්න ඇති මේකට මළ බත කියන්නේ. තවත් දෙයක් මළ බත එතන ඉඳන් කන්න දෙනවා මිසක් කාටවත් පාර්සල් හදාගෙන ගෙදර අරන් යන්න දෙන්නේ නැහැ.

අපේ පැත්තේ තව දෙයක් කරනවා, වල කපන්න උදව් උන සේරටම අන්තිමට පෙට්ටිය තියලා පාංසකූලේ දීපු තැන තියලා සේරම ඉන්න තැන ප්‍රසිද්ධියේ අරක්කු බොන්න දෙන එක මේක කරන්නේ අනික් අයට මළ බත කන්න දෙන්නත් කලින්. දැන් වැඩිපුර මිනී වලලන්නේ නැතුව ආදාහනාගාරෙට ගෙනියන නිසා මේක නම් මන් වැඩිය දැකලා නැහැ. ඒ ඇරෙන්න පිට පළාත් වල දැකලාම නැති තරම්. ඔය උඩ ෆොටෝ එකේ තියෙන කුරුම්බා ගෙඩි දෙකත් වල කපන්න උදව් උන අය සේරම එකතු වෙලා උගුර උගුර බීපු එකක්. ඒක නම් මන් දැක්ක පළවෙනි වතාව.

පළාතෙන් පළාතට, අදහන ආගමේ හැටියට මිනිස්සු මැරුනම එක එක විදිහේ දේවල් කරනවා. ඒවායේ තේරුම තියේද නැද්ද මන් දන්නේ නැහැ සමහර විට මැරුන කෙනාගේ නෑදෑ හිතවතුන්ගේ දුක අඩු වෙන්න කරන දේවල් වෙන්න ඇති ඒත් සමහර ඒවායින් නම් ඒ අයට දුක දෙගුණ තෙගුන වෙනවත් ඇති. මුස්ලිම් ආගමේ විදිහට ඉක්මනින්ම අවසාන කටයුතු සිද්ධ කරන එකට නම් මම කැමතියි මිනියත් තියාගෙන් දවස් ගනන් විකාර කරනවට නම් වඩා.

බොන අයට මේක තරම් බොන්න කැමති එකක් සහ හොඳට බොන්න පුළුවන් අයත් වැටෙන එකක් තමා මේ අන්තිම ෂොට් එක කියන්නේ. මාත් වැඩි පුරම කට් වෙලා තියෙන්නේ තනිකරම වගේ පෙරේතකමට වගේ බොන මෙන්න මේ අන්තිම ෂොට් එක නිසා.

අන්තිම ෂොට් එක කිව්වේ දෙන්නෙක් නම් බාගයක් බීලා ඉවර වෙච්ච වෙලාවක ආයි ගෙන්න ගන්න සීය හරි බෝතලයක් තුන් දෙනෙක් බීලා ඉන්න වෙලාවක ආයි ගෙන්න ගන්න එකසිය පනහ විතරක් නෙමෙයි. බීල ඉවර වෙලා කැම කන ගමන් දාගන්න ෂොට් එක එහෙමත් නැත්නම් හොඳටම වෙරි වෙලා ඉන්න වෙලාවක බෝතලේ ඉතුරු වෙලා තියෙන ටික ඉවර කරන්න දාගන්න එක. ඔය වගේ හොඳට බීලා ඉන්න වෙලාවක අන්තිමට බොන බීම වීදුරුව.

ඔය ගොඩක් වෙලාවට මේස උඩ ඉතුරු කරලා යන්නේ ඔය අන්තිම ෂොට් එක බීගන්න බැරි උනාම තමා. ඒකත් බීල කෙලින් ඉන්න අය නැතුවම නෙමෙයි. මේ ලඟදි බෝතලයක් බීපු දෙන්නෙක්ව වට්ටන්න හිතාගෙන තව 100ක් ගෙන්නත් දුන්න මෙන්න මුන් දෙන්න තව 100ක් ඉල්ලුවා ඉතින් තවත් දුන්නත් එච්චර නිසා අපි වැඩේ අතැරලා දැම්මා. ඔය අන්තිම ෂොට් එක නොබී ඉන්න පුලුවන් නම් ගොඩක් අයට ඒ වෙනකන් බීපු සේරම ආපහු නොදා තියා ගන්න පුළුවන් කමක් ලැබෙනවා ඒත් ගොඩක් අයට ඒක කරන්න බැහැ අන්තිම ෂොට් එකත් දාගන්නවම තමා.

කොච්චර කොහොම උනත් මේ අන්තිම ෂොට් එක නොබී ඉන්න පුළුවන් බොන අයනම් මට හම්බ වෙලා තියෙන්නේ අඩුවෙන්. බීම ඉවර වෙලා නවත්තන එක වෙනම කතාවක් ඒත් තියේනම් අන්තිම ෂොට් එකත් බොනවම තමා.

මට අනික් අය ගැන කෙසේ වෙතත් මන් ගැන සලකද්දි ඇයි මේක බොන්නේ කියලා නම් හිතා ගන්න බැහැ. කලාතුරකින් නම් වෙරි මදි වගේ නිසා බොනවා ඒත් අනික් වෙලාවට. බීම කියන්නේ එහෙම හදිස්සියේ නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ ඒක පැහැදිලි කරන්න බැහැ.

පහුගිය දවසක අනුල ද සිල්වා පරිවර්තනය කල James A. Michener ගේ Sayonara කියන පොතේ සිංහල පරිවර්තනය "ආදරය සමුගනී" කියෙව්වා. කාලෙකට පස්සේ පොතක් බලලා මට ගොඩක් කණගාටුවක් ඇති උනා ඒ කතාවට.

දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ ජපානයට යන ඇමරිකානු සොල්දාදුවන් සහ ඒගොල්ලෝ එක්ක පෙමින් බැඳෙන ජපන් තරුනියන් ගැන තමා කතාව යන්නේ. අවසානයේ ඇමරිකාවේ අභිමානය වෙනුවෙන් එවන් පෙම්වතුන්, විවාහක යුවල් බලහත්කාරයෙන් වෙන කරනවා. ඒවා දරා ගන්න බැරි සමහර පෙම්වතුන් සහ විවාහකයින් සියදිවි නසා ගන්නවා. රටක හෝ කෙනෙක් ගේ අභිමානය වෙනුවෙන් තව කෙනෙක්ට ජීවිතය නැති කරගන්න තැනට වැඩ සිද්ධ කිරීම ඒ රටේ සහ ඒ කරපු කෙනේගේ අභිමානයට කෙසේ වෙතත් ලැජ්ජාවට පත් වෙන්න ඕනේ දෙයක් කියලා මට හිතෙනෙන.

එහෙම තමන්ගේ ආදරය වෙනුවෙන් සියදිවි නසාගත්ත පෙම්වතුන් ගේ ක්‍රියාව සාධාරනයි කියලත් මන් හිතනවා.

දෙවෙනි එක

මම දන්න කියන කෙනෙක් වහ කාලා. දැනටමත් එක තැනක ඉන්න ඔහු අනාගතේ අංශබාගේ හැදෙයි කියලා බයට තමා වස කාලා තියෙන්නේ, එක අතකින් ඔහුගේ උවමනව සාධාරණයි. ඒත් දැන් නොමැරුණු නිසා එයා හිටියටත් වඩා දුක් විඳිනවා. ඊයේ මන් ඔහුව බලන්න රොහලට ගියා දැන් ඉන්න තත්වයට වඩා නම් ඔහු කලින් සිටිය තත්වය යහපත්. වස විස පානය කරනවනම් මැරෙන්නම ප්‍රමානවත් තරම් පානය කරනවා මිසක් නොමැරී ජීවත් උනොත් නම් ජීවිතේ විඳවන්න වෙන්නේ තනියම නෙමෙයි අනික් අයටත් ලොකු කරදරයක් වෙලා.

ලෝකේ සමහර රටවල් නීත්‍යානුකූලව සිය දිවි නසාගන්න ඉඩ දීලා තියෙනවා කියලා මන් අහලා තියෙනවා. ඒත් ඒක ලේසි නැහැ සනීප කරන්න බැරි ලෙඩක් තියෙන බව ඔප්පු කරන්න ඕනේ. ඒ වගේම ඉතා විශාල මුදලක් ගෙවන්නත් ඕනේ. සනීප කරන්න බැරි ලෙඩකුත් එක්ක අනික් අයටත් කරදරයක් වෙවී ජීවත් වෙන එකට වඩා එහෙම කෙනෙක්ට මරණය සහනයක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් මැරෙන්න ඉල්ලනවනම් ඒක සාධාරණ ඉල්ලීමක් කියලා මට හිතෙනෙන.

මටත් සමහර වෙලාවට මැරෙන්න ඕනේ කියලා හිතෙනවා ඒත් ඒකට නම් සාධාරණ හේතුවක් නැහැ ඒක නිසා එහෙම මැරෙන එක නම් එක්තරා විදිහක මෝඩ කමක්.

Bloggers.com - Meet Millions of Bloggers