මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේ කතාව මන් දැක්කේ 2012-02-05 වෙනි ඉරිදා රාවය පත්තරේ තියෙන නාලක ගුණවර්ධන ලියන සිව්මංසල කොළුගැටයා ලිපියේ. සති පතා පලවෙන කොලමට වසරක් සපිරීම නිසා කතුවරයා විසින් තමාවම විවේචනය කිරීමක් තමා එහි තිබුනේ.

බ්ලොග් ලියන්න පටන් ගන්න සමහර බ්ලොග් කරුවන්ටත් මේක වෙනවද කියලා වෙලාවකට මට හිතෙනවා මුල් කාලයේ ඉතා රසවත් ලිපි ලියන බ්ලොග්කරුවන්ගේ ලිපි කාලයක් යනකොට මුල්කාලය තරන්ම හොඳ නොවීමට මේක හේතුවක් වෙන්න ඇති. කමෙන්ට් හරහා ඇත්තම තත්වයට වඩා ඉහලින් ඔසවා තබන බ්ලොග් කරුවන් පසුව ඔවුන්ගේ ලිපියට වඩා තමාව රැක ගැනීම කෙරෙහි අවදානය යොමු කරන්න පටන් ගන්නවා, එවිට වෙන්නේ ලිපිය අසාර්ථක නිර්මාණයක් බවට පත්වීම. කමෙන්ට් අඩුවීම හරහා මෙය නිර්ණය කරගන්න අමාරුයි මොකද දවසින් දවස බ්ලොග් ලියන්න අලුතින් පිරිසක් එකතුවෙන නිසා.

හිතන තරන්ම මේක ලේසි කටයුත්තක් නොවෙන්න පුළුවන්. බ්ලොග් ලිපියක් පලකලාට පසු ඒක කියවන අය තමන් ගැන මොනවා හිතයිද. මේක කොහොම තේරුම් ගනීද කියවන අය තරහා වෙයිද වගේ නොයෙක් දේවල් හිතන්න පටන් ගත්තාම ඇත්තටම අපේ අවධානය යොමු වෙන්නේ ලියමින් සිටින ලිපිය ගැන නෙමෙයි අපි ගැන. ලිපිය හරහා අපි අපේ තත්වය රැක ගන්න උත්සාහ කරනවා මිසක් ලිපියේ ගුණාත්මක භාවය වැඩි කිරීම කියන එක ගැන නෙමෙයි ඊට පස්සේ හිතන්නේ.

කමෙන්ට් කරන සෑම විටම අපි සැබෑ ආදහස් ප්‍රකාශ කරනවද? පහුගිය දවස් වල ෆේස් බුක් එකේ කවි ගැන විචාර කිරීම කියලා ගිය සංවාදයක බොහෝ දෙනෙක් ප්‍රකාශ කරලා තිබුනේ ඔවුන් බොහෝ විට කවි වලට අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ මොකද ඒවා දැම්මහම ඒ ලියපු අය ඔවුන්ව මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කරනවා බැනලා පණිවිඩ එවනවා වැනි දේ නිසා. ඒක නිසා ඔවුන් ලයික් එකක් පමනක් දමා යනවා කියලා. කවි වලට නම් කිසියම් රාමුවක් තිබ්බට බ්ලොග් වලට එහෙම්මම කියන්න බැහැ නමුත් කවි හෝ බ්ලොග් හෝ වේවා ඒවායේ සැබෑතත්වයට වඩා වැඩි තත්වයක් තිබෙන බව පැවසීමෙන් ඇත්තටම වෙන්නේ ලියන කෙනාගේ හැකියාවන් තවත් දුර්වල වීම.

මම හිතන්නේ බ්ලොග් කියවන අයත් බ්ලොග් ලිපි ගැන සැබෑ අදහස් දක්වන්න පටන් ගත්තොත් අනාගතේ දැනට තියෙනවටත් වඩා හොඳ නිර්මානාත්මක දේවල් බ්ලොග් හරහා අපිට කියවන්න ලැබේවි.

ජීවන වියදම දවසින් දවස ඉහල යනවා. බලමුකෝ ඒකෙත් හැටි

සංස්ථා ඔල්ඩ් අරක්කු බෝතලයයි :810/=
ගෝල්ඩ් ලීෆ් සිගරට් පැකට් එකයි:264/=
අලියා සෝඩා පොඩි බෝතලයයි:65/=
පොඩි කොකා කොලා එකයි:85/=
රටකජු ග්රෑම් 100:40/=
කඩල ග්රෑම් 100:40/=
බුලත් විටයි:10/=
ඔක්කොම:1314/=

2008 ඔක්තොම්බර් ඔය ටිකට ගිහින් තියෙන්නේ 1022
2009 මැයි මේ ටිකටම 1091 ගිහින්
මේ දවස් වල 1314ක් යනවා.

ඉතින් මේක කරන්න බැහැනේ අපි වියදම් අඩු කිරීමක් කලා

සංස්ථා ඕල්ඩ් නැතුව ගල් බොන්න පුරුදු උනා :730/=
සිගරට් 12ක් නැතුව 6ක් විතර ගත්තා :132/=
සෝඩා ලොකු බෝතලයයි :125/=
වඩේ 25 :50/=
මුළු වියදම :1037/=

සෙල්ලං නැහැ දැන් කාලා බීලා ඉන්න එකත්


පහුගිය දවසක ගොඩගේ පොත් හලට ගියවෙලාවේ , ගොඩගේ එකේ පරණ පොත් තියෙන තැනක තිබිලා පොතක් ගත්තා "සභ්‍යලතාගේ හිරිඔතප් බිඳි වගයි - හර්ෂ ශ්‍රී විජයසිංහ". එකේ තිබ්බ නමයි මුල පිටුවේ තිබ්බ කාටූන් ටිකයි නිසා නිල් පාට පොතක් කියලා හිතන් ගත්තට මොකද ඒක චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් වගේ පොතක් ඒත් ඒ අහලකින්වත් තියන්න නම් බැහැ.

මේ පොතේ එක කතාවක් තියෙනවා ඒකේ ප්‍රධාන චරිතෙට ඉන්න විවාහක පිරිමියාගේ රැකියාව නැති වෙනවා, ඊට පස්සෙ අතේ මිටේ සල්ලි හිඟ වෙනකොට අනික් එයාගෙන් ණයට සල්ලි ගත්ත අයත් මග අරිනවා. ඒ මනුස්සයට සල්ලි ලැබෙන්න තියෙන වෙනත් ආදායම් මාර්ගත් අඩු වෙනවා. මේ මනුස්සයා කරන්නේ බිරිඳගේ රත්තරන් බඩු ටික උගස් කරලා අළුත් ඇඳුම් පැළඳුම්, ළමයට අලුත් බයිසිකලයක්  එහෙම අරගෙන ගෙදරත් තින්ත ගාලා අළුත් වැඩියා කරලා බොරු ප්‍රචාරයක් යවනවා දැන් මිනිහට කලින්ටත් වැඩිය සරුයි කියලා. ඒතකොට අර කලින් මගඇරපු යාළු මිත්‍රයෝ හිටන් ආයි ඇවිත් පරණ ණය මුදල් ලැබිලා අනික් ආදායම් මාර්ගත් හරි ගිහින් මිනිහගේ සියළු අග හිඟ කම් නැති වෙනවා.

මේක තමා ගොඩක් වෙලාවට වෙන්නේ බාහිර පෙනුමට රැවටිලා ණය ගනු දෙනු කලාට ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු සල්ලි තියෙන උදවිය වගේ පෙනී ඉන්න අය තමා අනික් අයගෙන් ගන්න සල්ලි වංචා කරන්නේ. වැඩිය සල්ලි නැතත් සාමාන්‍ය උදවිය එහෙම කරනවා සාපේක්ෂව අඩුයි

අපේ අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා ලඟදි රස්සාව නැති වෙලා, වෙන කිසිම ආදායම් මාර්ගයකුත් ඒ මනුස්සයට නැහැ. දවසක හදිස්සියේ එයා ඇවිත් රුපියල් 1000ක් ණයට ඉල්ලනවා. ලඟ තියෙන හංදියේ ඉන්න කඩේ මුදලාලි,  බස් එහෙමත් තියෙනවා චෙක් එකක සල්ලි හවස ලැබෙනවා ඒ ලැබුනම බේරන්නම් කියලා ණයට ලක්ෂයක් ඉල්ලනවා. මේ අවස්තා දෙකෙන් පළවෙනි කෙනාට අපි සල්ලි දෙන්නේ නැහැ මොකක් හරි කියලා මග අරිනවා නමුත් මුදලාලිට අතේ තියෙන රත්තරන් බඩුවක් හරි උගස් කරලා සල්ලි ගිහින් දෙනවා. මුදලාලිට සල්ලි දෙන්නේ හදිස්සියකදි උදව් කරයි කියලා හිතාගෙනත්. ඒත් අන්තිමේ අපිට මුදලාලිගෙන් උදව්ත් නැහැ දීපු සල්ලිත් නැහැ. ලොකු ලොකු සල්ලි කාරයෝ වගේ පෙනී හිටින අය තමා ගොඩක් වෙලාවට අනික් මිනිස්සුන්ට පොලු තියන්නේ. අතේ මිටේ එහෙමට සල්ලි නැති උදවිය ඇත්තටම බැරිකමකට මිසක් කපටි කමට කාටවත් පොළු තියන්නේ නැහැ.

මම නම් සාමාන්‍යයෙන් ණය ගණු දෙනු කරනවා බොහෝම අඩුයි. කාගෙන් හරි ඉල්ල්ලාම නැති තරම්. මගෙන් කවුරු හරි ඉල්ලුවොත් අතේ සතේ නැහැ කියලා බේරෙනවා ඒ ඇරෙන්න මට උවමනා උනොත් අතට කීයක් හරි ලැබෙනකම් ඉවසගෙන ඉන්නවා මිසක් කාටවත් ණය වෙන්න නම් යන්නේ නැහැ.

ඉස්සර කිව්වේ ණයට දීමෙන් මිතුරත් මුදලත් නැති වේ කියලා ඒත් දැන් කියන්නේ ණයට දීමෙන් මුදලත් මිතුරාත් බිරිඳත් නැති වේ කියලා

සමහර වෙලාවට අපිට එදිනෙදා ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ගැන අපේ යාළු හිතමිත්‍රාදීන් එක්ක කියනවා එහෙම වෙලාවට ඒ අයත් ඒ අයට හිතෙන විදිහේ නොයෙක් උපදෙස් දෙනවා. "මෙහෙම කරපන්" "අරහේම කරපන්" වගේ දේවල් වලින්.

උදාහරනෙකට රස්සාවකට ගැටළුවකදි වෙන කෙනෙක් කියාවි "උඹට තිබ්බේ බොසාට මෙහෙම කියන්න" හැබැයි එහෙම කියලා රස්සාව නැති උනොත් අර කියපු කෙනාම කියාවි එහෙනම් උඹම වෙන ජොබ් එකක් හොයා ගනින් කියලා වගේ. ගෙදර ප්‍රශ්නෙකදි ගෙදර කෙනාට "ඉන්න බැරිනම් යන්න කියපන්" වගේ උපදෙසක් දෙන කෙනෙක් ආපහු සමගි කරන්න ඒවිද නම් කියන්න බැහැ. අසල්වැසියන්ගේ ගැටළුවකදී ඔවුන්ට පාඩමක් උගන්නන්න කියන උදවිය හදිස්සියකදී අපිට උදව්වකට එන්නේ නැහැ ඒක නිසා ගොඩක් වෙලාවට අපිට සිද්ද වෙනවා අපිට අවාසි වෙන වගේ තීරණ වලට පවා යාමට. ඒ වෙලාවට එහෙම අවාසියි වගේ හිතුනත් සමහර විට ඒ දේවල් දිගුකාලීනව අපිට වාසිදායක වෙන්නත් බැරිකමක් නැහැ.

මෙහෙම කියන්න හිතුනේ පහුගිය දවස්වල මගේ හිත්වතුන්ට සිද්ධ වෙච්ච සමහර සිතුවීම් සහ ඒවාට ඔවුන් ක්‍රියාත්මක උන ආකාරයත් වටේ ඉන්න අය ඒ ගැන කියන දේවලුත් නිසා. කෙලින්ම සිදුවීම් වලට සම්බන්ද අය පුළුවන් තරම් ඔවුන්ගේ අනාගත ආරක්ෂාවට කටයුතු කරත් එලියේ ඉන්න අය කියන්නේ ඊට වඩා සැර ප්‍රතිචාර දක්වන්න ඕනේ කියලා. හැබැයි එහෙම කරලා පස්සේ ප්‍රශ්නයක් උනොත් වෙන්නේ මුල් පාර්ශවේට එහෙම නැතුව අර වටේ ඉන්න අයට නෙමෙයි ඒ වෙලාවට වටේ ඉඳන් උපදෙස් දීපු අය හොයන්නත් නැහැ. සමහර වෙලාවකට හිතෙනවා දක්වපු ප්‍රතිචාර වැඩක් නැහැ කියලත් ඒත් මේ රටේ සිද්ධ වෙන දේවල් බැලුවම වෙන කරන්න දෙයක් නැහැ.

මන් නම් හිතන්නේ අනික් අය "එහෙම කරපන්" "මෙහෙම කරපන්" කිව්වට නෙමෙයි අපි අපිට පුළුවන් විදිහට ප්‍රතිචාර දක්වනවා මිසක් "මෙහම කරපන්" "එහෙම කරපන්" කියන අය කියන විදිහට කරන්න ගිහින "එහෙම උනාම" "මෙහෙම උනාම" ඔය කියපු අය නැහැ ඒකට මුහුණ දෙන්න වෙනෙන අපිට තනියම තමා.

දවල් කෑමට මන් ගොඩක් දවස් වලට යන්නේ එකම කඩේකට. කඩේ කෑම වල විශේෂත්වයක් නිසා නම් නෙමෙයි වෙන යන්න තැනක් නැති නිසා. බොහෝ වෙලාවට මන් යැවෙන්නේ එකම වෙලාවක ඉතින් මේ මන් යන වෙලාවට මේ කඩේ ගොඩක් දවස් වලට ඉන්නේ එකම කට්ටියක්. මේ අතර ඉන්නවා මිනිසුන් තුන් දෙනෙක්. ඉතාම හොඳින් මාත් එක්ක කතාබහ කලත් මේ තුන් දෙනාව මට පෙන්නන්න බැහැ ඒ ඔවුන්ගේ ඇති වැරැද්දක් නිසා නම් නෙමෙයි. ඔවුන් කිසිවෙක් මට කිසිම වැරැද්දක් කරලා තියෙන නිසාත් නෙමෙයි. එකම හේතුව ඔවුන් විසින් කරන් රස්සාව. මේ තුන් දෙනාම බ්‍රොකර්ලා.

බ්‍රෝකර්ලා කිව්වම අපි ගොඩක් දන්නේ වාහන බ්‍රොකර්ලා සහ ඉඩම් බ්‍රොකර්ලා. බ්‍රොකර්ලා බහුතරයක් ඉතින් කරන්නේ සාධාරණ විදිහට මුදල් ඉපයීම නෙමෙයිනේ ඒත් එහෙම නිසාවත් නෙමෙයි මට මේ අයව පේන්න බැරි . මේ උදවිය ගස් බ්‍රෝකර්ලා. මට පළවෙනි වතාවට තමා ඔය ගස් බ්‍රොකර්ලා පිරිසක් හම්බ උනේ මේ අයට කලින් මන් ඔහොම ගස් බ්‍රොකර්ලා දැකලා තිබුනේම නැහැ. මෙයාලගේ රස්සාව තමා අපි ඉන්න ප්‍රදේශයේ තියෙන හොඳට හැදුන ගස් කපන්න අය හොයලා දීම. මන් නම් දකින්නේ මේක මහා අපරාධයක් හැටියට. මොකද මෙයාලා කප්පවන්නේ පොඩි පොඩි ගස් නෙමෙයි සමහර විට ඔවුන්ගේ වයසටත් වඩා වැඩි කාලයක් මේ පොළව මත තිබුන ගස් තමා මේ අය හරහා ලී මඩු වලට යැවෙන්නේ.

ඇත්තටම ගස් වලට මොවුන් ලබාදන ලංසුව ඉතාම පහල මිලක් සමහර විට ඒ මුදලට එම දැව වර්ගයෙන් ලෑලි කිහිපයක් වත් මිලට ගන්න බැරිතරම් කුඩා අගයක්. එහෙම උනත් මේ අය ගස් විකිනීම් වලට සම්බන්ධ වෙනවා. මට හිතා ගන්න බැහැ මිනිස්සු ඇයි මෙච්චර අඩු ගානකට ගස් විකුනලා දාන්නේ ඇයි කියලා. ගෙදරකට කඩා වැටෙන්න පාරකට අවහිර වෙන්න වගේ හේතුවක් නිසා නොවෙන්න එහෙම ගස් කපන්න විකුන්න ඕනෙද කියලා වෙලාවකට හිතෙනවා.

ගස් විකුනලා ගන්න සල්ලි වලින් ගස් අයිතිකාරයෝ දවසක් දෙකක් ජීවත් වෙයි, ගහ විකුනන්න බ්‍රොකර් වැඩේ කරලා අතට එන කොමිස් මුදල මේ අයත් දවසක් දෙකක් වියදම් කරයි. ඒත් ඒ ගහ නැති වෙච්ච එක නිසා වෙන පාඩුව නම් ඒ විදිහට සල්ලි වලින් මනින්න පුළුවන්ද මන්දා.

මෙහෙම කිව්වට මාත් ලී ඕනේ කමට මටත් වඩා වයස ගස් කීපයක්ම බිම දාන්න දායක වෙච්ච කෙනෙක්.


පහුගිය දවසක සිරීපාදේ ගියා, හැමදාම මන් හිතාගෙන යන්නේ ආයි නම් සිරීපාදේ යන්නේ නැහැ කියලා මොකද සිරීපාදේ එක පාරක්වත් නොගිය එකාත් මෝඩයා එක පාරට වඩා ගිය එකාත් මෝඩයා කියන එක ඇත්ත කියලා මන් හිතන නිසා. මන් නම් දැනටමත් මෝඩයෙක් මොකද මන් දැන් 6,7 වතාවක් විතර සිරීපාදේ ගිහින් තියෙන නිසා.

රත්නපුර පාරෙන් නම් මට තාම සිරීපාදේ යන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ පාරෙන් නම් ගිහින් බලන්නත් ආසයි. කුරුවිට පාරෙන් සහ හැටන් පාරෙන් තමා මන් සිරීපාදේ ගිහින් තියෙන්නේ. හැටන් පාර කුරුවිට පාරටත් වඩා ලේසියි සහ ලඟයී ඒත් කුරුවිට පාර හැටන් පාරට වඩා ලස්සනයි.

සිරීපාදේ ගමන කියන්නේ මිනිස්සුන්ව මිත්‍යා මතවලින් බය කරලා යන ගමනක්. ඒකෙන් ලොකුම වාසිය ගන්නේ මග දිගට ආශිර්වාද විකුනන චීවරධාරියෝ. උන් හැමොටම කියන්නේ එන්න පණ්ඩුරක් දාලා අශිර්වාද අරන් යන්න කියලා. සමන් දෙයියන්ගේ ආශිර්වාදයත් නිකන් නැහැ කීයක් හරි දෙන්න ඕනේ ඒක ගන්නත්.

කට වරද්ද ගන්න හොඳ නැහැ. සැලසුම් කරගෙන ගියාට ඒ වෙලාවට එන්න බැහැ වගේ කතා කියනවා. අපි වෙලාවක් හිතාගෙන ඒ වෙලාවට යන එන එක නම් කොහොමත් කරන්න බැහැ ඒකට හේතුව ඉන්න සෙනග ප්‍රමනය සහ හැමෝටම එකම වේගයකින් නගින්න බහින්න බැරි කම මිසක් වෙන අමුතු දෙයක් කියලා නම් මන් හිතන්නේ නැහැ. දවස් තුනේ නිවාඩු තියෙන සති අන්ත පෝය දවස් වගේ ඒවායේ සිරීපාදේ ගියොත් කොහොමත් සෙනග වැඩි නිසා හිතනවට වඩා කාලයක් යනවා.

සිරීපාදේ අවට නිතරම තියෙන වැහිබර කාලගුණයත් එක්ක පොලිතින් නම් නැතුව බැහැ ඒත් පොලිතින්වලින් වෙලා තියෙන පරිසර දූෂණය ගැන නම් කියලා නිම කරන්න බැහැ. පහල ඉඳන් මළුවටම යනකම් පාර දෙපැත්තේ පොලිතින් හැමතැනම. කට පරිස්සන් කරන් යනවට වඩා පරිසර විනාශය ගැන පොඩ්ඩක් කල්පනාවෙන් යනවනම් හොඳයි කියලා මට නම් හිතෙන්නේ

ඡායාරූපය සහ වැඩි විස්තර මෙතනින්

අපේ ඔය දන්න කියන කෙනෙක් සිරීපාදේ යන්න ගිහින් වෙච්ච අකරතැබ්බයක් ගැන මේකේ තියෙනවා

තවත් ලිපි කිහිපයක්

ගෝල්ඩ් fish සිරීපාදේ පීනපු හැටි… (හතුරෙක්ටවත් මේ වගේ දෙයක් වෙන්න එපා)

සිරිපා මතක

මේ පාරත් සිරීපාදේ යනවද? ~ උතුම් ශ්‍රීපාද වන්දනා සමය අදින් ඇරඹෙයි......


හිමේ නැග්ම සහ පැරණි කථා...

අපේ සිරීපාද ගමන


මළ ගෙයක් කිව්ව ගමන් මටනම් කල්පනා වෙන්නේ බොන එක ගැන. ටික කාලෙකට කලින් අපේ නෑදෑවෙන මහප්පා කෙනෙක් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්සරහට පෝය දවසක් තිබ්බ නිසා මන් කලින්ම බෝතල් දෙකක් ලෑස්ති කරන් හිටියා පොර මළාම බොන්න සෙට් වෙන්න කියලා.

සමහර මළගෙවල් වල ඇතුලටවත් ගිහින් නැහැ ගිය ගමන් යනවා සෙට් වෙන්න ඊට පස්සේ ආපහු ගෙදර එනවා. මළගෙවල් විතරක් නෙමෙයි බණ දානේ උනත් දැන් කන්න විතරයි ඒ ගෙදරට යන්නේ අනික් වෙලාවට බෝතලයක් එක්ක තමා.

මම නම් මගුල් ගෙවල් වලට වඩා ජොලියක් ගන්නවා මළගෙවල් වලදි. මගුල් ගේ වරුවක් විතරයි ඒකත් ඇඳන් ඉන්න ඇඳුම නිසා ඉන්නේ හරිම අපහසුවෙන් මළගෙවල් ඊට වඩා හොඳයි. අනික ගොඩක් වෙලාවට මගුල් ගෙවල්වල ආවේ නැතත් මළගෙවල් වලට හැමෝම එනවා ඉතින් කාලෙකින් හම්බ වෙන නෑදෑ හිතමිතුරෝ එක්ක සතුටු වෙන්න හොඳම අවස්ථාව තමා මළගෙවල් කියන්නේ. අනික මගුල් ගෙයක් වගේ නෙමෙයි මළගේ අඩුම ගානේ එක රැයක් එළිවෙනකන් වත් තියෙනවා. ඉතින් නිදහසේ බොන්න පුළුවන්. කවුරුත් හොයන්නේත් නැහැ, හෙව්වත් කියන්න පුළුවන් කනත්තට ගියා, කොඩි දාන්න ගියා වගේ දාහක් බොරු.

මල ගෙදර ඉවර උනාම වටේ තියෙන හිස් බෝතල් ගානෙන් කට්ටිය කොච්චර බීලාද කියලා බලාගන්න පුළුවන් කියලා මන් කලින් හිතුවේ ඒත් නොම්බරේ තමා කිව්වේ මූඩි ගානෙන් කියලා මොකද ගල් බෝතල් එම්ටි ආපහු දීලා බෝතල් ගේන නිසා.

අපේ නොම්බරේත් ලියලා තිබ්බා මළගෙවල් වල බොන එක ගැන

ඡායාරූපය මෙතනින්

අපේ ජීවිත වලම කොටසක් වෙන යාළුවෝ අපිට පොඩි කාලෙම ඉඳලා හම්බ වෙනවා, සමහර අය ජීවිත කාලෙටම අපිත් එක්ක යාළුකම් තියා ගත්තත් ගොඩක් දෙනෙක් ටික කාලෙකින් නැති වෙලා යන යාළුවො. මට නම් පුංචි කාලේ ඉඳලා ඉන්න යාළුවො කියන්න පුළුවන් අය නම් දැනට ඉන්නේ එක්කෙනයි එයත් එක්කත් වැඩි යාළුකමක් නැහැ කලාතුරකින් තමා මුණගැහෙන්නේ. යාළුවන්ටත් වඩා මන් ගොඩක් ආස්‍රේ කරන්නේ පවුලේ නෑදෑ සහෝදර සහෝදරියන් ඒක නිසා මට ගොඩක් ඉන්නේ එහෙම අය මිසක් යාළුවො නෙමෙයි.

මම මොන්ටිසෝරි ගිහින් නැති නිසා මට මොන්ටිසෝරියේ ඉඳන් එකට ඉන්න යාළුවෝ කියලා ජාතියක් ඇත්තේම නැහැ. එකේ පන්තියේ ඉඳන් ඉන්න යාළුවෝ එක්කෙනෙක් ඉන්නවා. ඒතමයි ඉන්න එකම පරණම යාළුවා. හයේ ඉඳන් එකොලහ වෙනකන් හිටියේ වෙනම යාළුවො පිරිසක් ඒ අය අතරින් නම් එක්කෙනෙක් දෙන්නෙක් ඉඳ හිට හම්බ වෙනවා ඒත් වැඩි සම්බඳකම් නැහැ. උසස්පෙළ කරනකොට හිටපු අය වෙනම පිරිසක් ඒ අයගෙනුත් දැන් ඉඳ හිට හරි කතා බහ කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි.

ඊට පස්සේ ඔය එක එක කෝස් කරන කාලේ තවත් යාළුවෝ ටිකක් හිටියා එයාල එක්ක නම් දැන් කිසිම කතාබහක් නැති තරම් . වැඩ කරනකොට එක එක තැන්වල යාළුවො ටික දෙනෙක් හිටියත් දැන් එයාලා එක්කත් වැඩි කතාබහක් නැහැ.

මන් දිගටම එකම තැන පදිංචි වෙලා හිටියෙත් නැති නිසා එහෙම ගමේ යාළුවෝ කියලා ජාතියකුත් නැහැ. දැන් වැඩ කරන තැන කියලත් එහෙමට කියන්න තරම් යාළුකමක් නැහැ. ඔහොම ඔහොම ගියාම මට හොඳම යාළුවෙක් කියන්න කෙනෙක් නැහැ වගේ.යාළුවෝ කියන ජාතිය නැතුවත් බැහැ , ජීවත් වෙනකොට දුක සැප බෙදා ගන්න. උදව් පදව් කරගන්න එහෙම. අපිට එහෙම හුදකලාව ජීවත් වෙන්න බැරි නිසා. පවුලේ නැදෑ මිතුරන් ඇරෙන්න මට වෙන මිතුරන් නැතිම තරම්.

මේ දවස් වල නම් මට ඉන්නේ අන්තර්ජාලෙන් හම්බ වෙච්ච යාළුවෝ විතරයි . ඒ ඇරුනම ඉන්නේ යාළුවෝ වගේ ඉන්න නෑදෑ සහෝදර සහෝදරියෝ විතරයි. එයාලනම් සදහටම ඉඳී ඒත් අනික් අයත් සමහර විට කාලයක් යනකොට නැති වෙලා යයි.


ආපිකෝ එකට ගියවෙලාවේ නිකමට වගේ ඇහැගැහුනා ඉස්සර කාලේ කාපු ටොපියක හැඩේ තියෙන පැකට් එකකට. ඉක්මනට අතට අරන් බැලුවාම බුල්ටෝ පැකට් එකක්. කාලෙක ඉඳන් ආයිත් බුල්ටෝ එකක් කාලා බලන්න ආසාවෙන් හිටපු නිසා ඉක්මනින්ම අරගත්තා. ඉස්සර නම් සත විසිපහට තිබ්බේ ඒත් දැන් එයින් බාගයක් වත් සයිස් එක නැති බුල්ටෝ එකක් රුපියල් 2යි ඒකත් තියෙන්නේ 20 පැකට් වලින්. ඒ කාලේ තරම් රස නම් නැහැ ඒත් බුල්ටෝ කන ගතිය තියෙනවා.

දැන් නම් මන් ඉන්නේ කඩචෝරු කන වයසක නෙමෙයි. කඩචෝරු කන්න අතේ සල්ලි තිබ්බත් කන්න එච්චර ආසාවක් නැහැ ඒත් අතේ සල්ලි නැතිව තිබ්බ දසක දෙකකට විතර කලින් කාලේ නම් කඩචෝරුවලට තිබ්බේ පුදුම පෙරේත කමක්.

බුල්ටෝ ඇරුනම ගොඩක් කාපු දෙයක් තමා ඇඟිලි විස්කෝත්තු. ටිකක් රස දැන් තියෙන ජින්ජ බිස්කට් වගේ උනාට ඊට වඩා ටිකක් හයියයි. හැඩයත් ඇඟිල්ලක් වගේ. සූදූරු ඇටයක් වටේට පැනිරස පිටි මිශ්‍රණයක් ගාපු හූණු බිජු කියලා අපි කියන පැකට් නම් ගත්තේ ඒවා කනවට වඩා ඒක එක්ක දෙන පුංචි නලා, සෙලම් බඩු වගේ ඒවා ගන්න ඕනේ නිසා. මොනවායින් හදලා තියෙනවාද කියලා නොදන්න සවු බොරත් ගොඩක් කන්න පුළුවන් රස කැමක්. සවු බොර නම් දනුත් ගන්න තියෙනවා ගොඩක් තැන්වල. අවිස්සාවේල්ල බස් නවතුම්පොලේ විතරක් බස් වලට නැගලා වෙළෙන්දෝ විකුනන ඉඟුරු දෝසි මන් වෙන කොහේවත් තාම නම් දැකලා නැහැ. ඉස්සර අවිස්සාවෙල්ලට ආවොත් ඉඟුරු දෝසි පැකට් එකක් නම් අනිවාර්යයෙන් ගන්නවම තමා. දැන් වගේ විවිධ නම් වලින් තියෙන ටොෆී , චොකලට් ජාති ගොඩක් නොතිබ්බ ඒ කාලේ ඔය වගේ ජාති දෙක තුනක් තමා අපේ ප්‍රියතම කැම උනේ.

කැෂියර් එකේ හිටපු මල්ලි කිව්ව මේ බුල්ටෝ පැකට් ගොඩක් විකිනෙනවා කියලා, අනිවාර්යයෙන් ඒ කාලේ කාපු අය තමා නැතුව දැන් කාලේ තියෙන ටොෆී වල වගේ පෙනුමකුත් නැතුව දැන් ලමයි නම් බුල්ටෝ කන එකක් නැහැ.

සීට්ටු දානවා කිව්වම සමහර අයට හිතෙයි ඒක කරන්නේ සමහර විට සමාජයේ ටිකක් පහල මට්ටමක ඉන්න බැංකු ගණු දෙනු ගැන වැඩි දැනුවමක් නැති අය කියලා ඒත් මේ ලඟදි පත්තරේක තිබ්බා ලංකාවේ කොහේ හරි පැත්තක කෝටි ගානක් සීට්ටු සල්ලි වංචාවක් ගැන. ඒ ඇරෙන්න මන් දන්න ඉතා උසස් තත්වයේ ඉන්න බැංකු ගණු දෙනු ගැන හොඳට දන්න අය පවා මිලියන ගනන් වල සීට්ටු වලට දායක වෙනවා.

සීට්ටු කියන්නේ බැලූ බැල්මට වාසි දායක නැති මුදල් ඉතිරිකිරීමේ ක්‍රමයක් ඒත් මේකට යෙදෙන පුදගලයන් නම් කියන්නේ මේක බැංකුවට වඩා වාසියි කියලා. සීට්ටුවකින් වෙන්නේ මේ වගේ දෙයක් 10 දෙනෙක් ඉන්නවානම් එයාලා හැමෝම සමාන මුදලක් උදා 1000ක් වගේ හැම මාසෙම එකතු කරලා එක්කෙනෙක්ට දෙනවා මේ වගේ මාස 10කදි හැමෝටම 10000 ගානේ ලැබෙනවා. මුදල් සීට්ටු විතරක් නෙමෙයි ලීබඩු සහ වෙනත් බඩු භාණ්ඩ වලටත් සීට්ටු දානවා.

ඔය සල්ලි දෙන පිළිවෙල තෝරන්නේ තුණ්ඩු ඇදලා. පළවෙනි එක හැමදාම සීට්ටුව කරන කෙනාට. මේකේදී වාසි වෙන්නේ සල්ලි හදිස්සි කෙනෙක් මුල් සීට්ටු වටිනාකමට වඩා අඩු මුදලකට ලබා ගන්නවා ඒ කියන්නේ 10000 වෙනුවට එයා 9000ක් ඇති කියන්වා එතකොට අනික් අයට යන්නේ ඒ මාසේ 900 ඒත් 9000 ගත්ත කෙනා සීට්ටුව කල් පිරෙනකන් 1000 ගානේ ගෙවන්න ඕනේ. ඒ වගේ උනාම 9900ක් ගෙවපු කෙනෙක්ට උනත් 10000ක් අන්තිමට ලැබෙනවා.

සීට්ටුවක් සාර්ථක වෙන්නේ ඒක කරන කෙනා අනුව. කරන කෙනාට පුළුවන් නම් ඉන්න 10 දෙනාගෙන්ම හැම මාසෙම බලෙන් හරි 1000 එකතු කරන්න සීට්ටුව හරියට යනවා. නැත්නම් ඉතින් කවුරු හරි මග ඇරියොත් එතන ලොකු පාඩුවක් සිද්ද වෙනවා. 1000 වගේ සුළු මුදලකදි නෙමෙයි ලක්ෂ කෝටි ගනන් වලින් ඔය ගණු දෙනුව සිද්ද වෙද්දි තමා ඒකේ පාඩුව සිද්ද වෙන්නේ.

මන් හිතන්නේ මේ සීට්ටු කියන ක්‍රමයම හරි විදිහකට කලා නම් ලංකාව තුලත් හොඳ ක්ෂුද්‍ර ණය ව්‍යාපෘතියක් ආරම්භ කරන්න තිබ්බ මොකද මෙච්චර සාර්ථක විදිහට සීට්ටු ක්‍රමය යනවනම් ඒක බැරි වෙන්න විදිහක් නැති නිසා.

ඉස්කෝලේ ගිහින් ඉස්සලම ර යනු ට යනු ම යනු ල යනු ඉගෙන ගෙන රට මල වගේ වචන ලියලා යන්තම් වගේ වාඛ්‍ය ලියන්න පුරුදු උනාම ඉස්සෙල්ලම ලියන්නේ මම ගැන රචනාවක්. හරියටම මට මතක නැහැ මන් හිතන්නේ 4 ,5 පංති වලදි තමා මන් මුලින්ම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. හෝඩිය ඉගෙන ගෙන වචන ඉගෙන ගෙන ඉංග්‍රීසියෙනුත් මුල්ම රචනාව ලියන්නේ My Self ගැන. ඊටත් පස්සේ 7 වසරේදි විතර දෙමල ඉගෙන ගන්න පටන් ගත්තා. ඒකත් සිංහල , ඉංග්‍රීසි වගේම තමා මුලින්ම ලියන්නේ நான் කියලා තමන් ගැන.

මම ගැන රචනාව ලියද්දි උපතින් අපිට අයිති නැති උනත් බලෙන් අපේ නම කියලා දාලා තියෙන හැඳින්වීම, මම කියන කෙනා ඒ කාලේදි කන්න කැමති බීම, කැම, ඇඳුම්, සත්තු, යාළුවා, අම්මා, තාත්තා, ඉන්න තැන ගැන ලියනවා. එදා ලියපු මම ගැන රචනාවේ තිබ්බ නම, අම්මා, තාත්තා සහ පවුලේ අය ඇරුනම අනික් හැමදෙයක්ම අද වෙනකොට එදාට වඩා වෙනස්. ඒ දේවල් ඒ කාලේ හිටපු දැකපු දේවල් විතරයි.

ඇත්තටම අපි මම ගැන ලියන්නේ මම කියන්නේ කවුද කියන එක හරියටම දැනගෙනද? එච්චර ලේසියෙන් තමන්ට තමන් කවුද කියලා දැනගන්න පුළුවන්ද? මම මම ගැන කතා කලාට ලිව්වාට, ඇත්තටම මම කවුද කියලා මමවත් දන්නේ නැහැ , ඒ ලියන කියවන වෙලාවට ඉන්න මම ගැන තමා මන් කතාකරන්නේ අනික් වෙලාවට ඉන්නේ මම ම උනත් ඒ මම හැම වෙලේම නැහැ.

පොඩි කාලේ ඉඳන් අපි හැමෝම ලියන කියවන මම කියන කෙනා  කවුරුවත් හරියටම දන්නවද කියලා මන් දන්නේ නැහැ.


ස්කූල් බස් එකේ ඉස්කොලේ ගිය කෙනෙක්ට නම් ජීවිතේට අමතක වෙන්නේ නැති අත්දැකීමක් තමයි ස්කූල් බස් එකේ ගිය කාලේ.

මම ඉස්කොලේ ගිය දවසේ ඉඳන් සාමාන්‍ය පෙළ කරනකම්ම ඉස්කොලේ ගියේ ස්කූල් බස් එකේ. උසස් පෙළ කරනකොට නම් වැඩිය ලේසි නිසාත් බස් එකේ එක ගමනක් යන ගානෙන් කෝච්චියේ මාසෙටම සීසන් ගන්න පුළුවන් නිසා සහ බස් එකේ ටිකට් ගත්තා නොගත්තා, ලොකු අයියලාට දවස ගානේ ගානක් දෙන්න වෙන නිසාත් ඉස්කෝලේ ගියේ කෝච්චියේ.

එක වසරේ ඉඳලා පහ වසර නම් මන් ගියේ කාන්තා පාසැල් බස් රථයක. ඒ බස් එකේම හිටියේ කොල්ලෝ 5යි. අනික් ඉතින් ඒ කාලේ බැට්රි පෙට්ටිය උඩ ඉඳගන්න එක ගැන සිහිය මිසක් බස් එකේ ඉන්න ගෑනු ලමයි ගැන මෙලෝ කල්පනාවක් තිබ්බේ නැහැ.

ඊට පස්සේ හයේ ඉඳන් එකොළහ වෙනකම්ම ගියේ කාන්තා, මිශ්‍ර සහ පිරිමි පාසල් තුනකටම තිබ්බ පොදු පාසල් සේවයක. ඒ කාලේ තමා නියම. ඉස්කෝල තුනේ ආචාර්ය මණ්ඩලේ කීප දෙනෙක් හිටියත් ඔය බස් එක ඇතුලේ පෙම් යුවල් කිහිප දෙනෙක්ම හිටියා. උදේ හවස ලියුං , සුභ පැතුම් පත් එහෙම පොත් අස්සේ දාලා හුවමාරුත් උනා. මිශ්‍ර පාසලේ ගෑනු ලමයි එක්ක ඇයි හොඳයි කං තියන්න පිරිමි ඉස්කෝලේ ලමයින්ට අවසර නැති උනත් කාන්තා පාසැලේ ගෑනු ලමයි ගැන එහෙම ගැටළුවක් තිබ්බේ නැහැ. ඉඳලා හිටලා ඔය ගෑනු ලමයි බෙදා හදාගන්න බැරුව පොඩි පහේ රණ්ඩු නොතිබුනේමත් නැහැ ඒත් ඒවා වැඩිය දුර දිග නම් ගියේ නැහැ.

අපේ මුළු ගමනම පැය බාගයක් වගේ පොඩි වෙලාවක් උනත් ඒ ගතකරපු වෙලාව තමා ඉස්කොලේ ජීවිතේ ගොඩක්ම සතුටින් හිටියේ. ඒ කාලේ සමහර ඉස්කොලෙන් අස් වෙච්ච අයියලා උදේ හවස ස්කූල් බස් එකේ යන්න එන්න විතරක ආපු වෙලාවලුත් තිබ්බේ බස් එක දාලා යන්න බැරි නිසාමද කොහේද

ආයි ඉතින් ජීවිතේට යන්න ලැබෙන එකක් යෑ

ඡායාරූපය මෙතනින්

පහුගිය සතියේ අපේ කාර්යාලයට කෙනෙක් සම්මුඛ පරීක්ෂනයකට ආවා, ඩෙනිම් එකක් සහ ටීෂර්ට් එකක් ඇඳන්, සහතික පොලිතීන් බැග් එකක දාගෙන. දැකපු ගමන් මට හිතුනේ මෙයා හරියන්නේ නැහැ කියලා. සමහර විට අවස්ථාවක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒ ඇඳුම් සහ පැමිණි පිළිවෙන ඉතා ඉහල තත්වයේ කලින් කරපු වැඩ ඇති කෙනෙක්ට සුදුසු උනාට වැඩි අත්දැකීම් නැති කෙනෙක්ට හරියනෙන නැහැ. එහෙම අඩු අත්දැකීම් තියෙන අය ඒවා ඇඳුම් සහ පැමිණෙන පිළිවෙලින් වසාගන්න එක තමා සුදුසු කියලා මට නම් හිතෙන්නේ.

ටික දිනකට කලින් මගේ අතට ලැබුනු රැකියා අයදුම් පත්‍රයක තිබුන එකම සුදුසුකම අපොස සාපේ විතරයි ඒත් බලාපොරොත්තුව නම් ඉහල රැකියාවක්. කලින් 15000ක් පඩි හම්බ උන එකක් කලාලු ඒත් පඩි මදි නිසා නැවතිලා. මට නම් ඒ සුදුසු කම් වලට ගැලපෙන රැකියා දෙකයි මතක් උනේ එකක් ගාමන්ට් එකක අත් උදවු කාරියක් අඩුම ගානේ මැෂින් එකක වැඩ කරලා පුරුද්දවත් නැති නිසා. අනික සුපිරි වෙළඳ සැලක රැකියාවක්. ඒ ඇරෙන්න වෙන මොකුත් ඒ සුදුසුකම් වලට දෙන්න වටින්නේ නැහැ. ඒත් ඕක කිව්ව නම් හිත් නරක් වෙන නිසා සද්ද නැතුව කිව්ව බලන්න හොඳ රස්සාවක් හම්බ වෙයි කියලා.

මන් දන්න කියන රස්සාවල් නැති හැමෝම කියන්නේ තාම රස්සාවක් නැහැ කියලා. නිකන් හරි ඇහුවොත් ජොබ් වලට ඇප්ලයි කලාද කියලා ඒත් නැහැ. ඉතින් දෙයියෝ ගෙනත් දෙනකන් ඉන්නවා රස්සාවල්. අනික ගොඩක් අය ඉල්ලුම්පත දෙන්නෙ අඳුනන කෙනෙක්ට එහෙම දෙන ඒවා වැඩිපුර යන්නේ කුණු කූඩ වලට කියන එක මන් හොඳටම දන්නවා. ඒවා බාර ගන්නේ දෙන කෙනාගේ හිත සනසන්න හිතාගෙන විතරයි නැතුව ජොබ් හොයලා දෙන්න නෙමෙයි. ඉරිදා පත්තර ගත්තොත් රැකියා ඇබැර්තු ඕනේ තරම් තියෙනවා ඒවා එකකටවත් දාන්න, අඩුම ගානේ පත්තරේ අරන් බලන්නවත් ඔය රස්සා නැති ගොඩක් අය උනන්දු වෙන්නේ නැහැ.

තමන්ගේ සුදුසුකම් වලට හරියන රස්සාවක් ලැබෙනකම් ඊට වඩා අඩු තත්වයේ රස්සාවක යෙදෙන්න හිතන්නේවත් නැහැ. හැමදාම නැහැ නැහැ අනේ තාම රස්සාවක් නැහැ කිය කියා ඉන්නවා. රස්සා නම් මන් හිතන්නේ ඕනවටත් වඩා තියෙනවා ඇත්තටම අපේ නැත්තේ ඒවාට සුදුසු මිනිස්සු. ආණ්ඩුවේ රස්සා බලාගෙනම ගෙදරට නාකි වෙන උපාධිදාරීන් කීදාහක් ඉන්නවද දන්නේ නැහැ. මිනිස් ශ්‍රමය කියන්නේ මිල කරන්න බැරි තරම් වටින දෙයක් අපි අපතේ අරින්නෙත් ඒකම තමා


මළ ගෙදරක අවසාන කටයුතු ඉවර උනාට පස්සේ ඇවිල්ල ඉන්න අයට කන්න දෙන කෑම වේලට කියන්නේ මළ බත කියලා. සම්මතයක වශයෙන් අපේ පැත්තේ නම් මේකට දෙන්නේ වට්ටක්කා, කරවල හොදි සහ තක්කාලි සම්බෝල. ඒත් ඒ ඇරුනම බෝංචි, අළු කෙසෙල් වගේ ඒවත් සමහර තැන් වලින් දෙනවා.

මේ සිරිත පළාතෙන් පළාතට වෙනස්. සමහර පළාත් වල නම් මළ බත කියලා එකක් දෙන්නේ නැහැ. අනුරාධපුරේ ගිය වෙලාවක ගෙදර බිම වාඩි වෙලා මළ බත කන්න සිද්ද වෙලා තියෙනවා එක පාරක්. වට්ටකයි, කරෝලයි, තක්කාලි සම්බෝලයි එකතු උනාම මළ බතේ තියෙන්නේ පුදුම රසක් ඒක නිසා මම නම් මළ ගෙදරක අන්තිම දවසේ ගියොත් මළ බත නම් නොකා ලේසියෙන් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් මැරුනාම ඒ ගෙදර කෑම උයන එක නවත්තනවා ආයි කෑම උයන්න පටන් ගන්නේ මේ මළ බත උයලා තමයි. ඒ නිසා වෙන්න ඇති මේකට මළ බත කියන්නේ. තවත් දෙයක් මළ බත එතන ඉඳන් කන්න දෙනවා මිසක් කාටවත් පාර්සල් හදාගෙන ගෙදර අරන් යන්න දෙන්නේ නැහැ.

අපේ පැත්තේ තව දෙයක් කරනවා, වල කපන්න උදව් උන සේරටම අන්තිමට පෙට්ටිය තියලා පාංසකූලේ දීපු තැන තියලා සේරම ඉන්න තැන ප්‍රසිද්ධියේ අරක්කු බොන්න දෙන එක මේක කරන්නේ අනික් අයට මළ බත කන්න දෙන්නත් කලින්. දැන් වැඩිපුර මිනී වලලන්නේ නැතුව ආදාහනාගාරෙට ගෙනියන නිසා මේක නම් මන් වැඩිය දැකලා නැහැ. ඒ ඇරෙන්න පිට පළාත් වල දැකලාම නැති තරම්. ඔය උඩ ෆොටෝ එකේ තියෙන කුරුම්බා ගෙඩි දෙකත් වල කපන්න උදව් උන අය සේරම එකතු වෙලා උගුර උගුර බීපු එකක්. ඒක නම් මන් දැක්ක පළවෙනි වතාව.

පළාතෙන් පළාතට, අදහන ආගමේ හැටියට මිනිස්සු මැරුනම එක එක විදිහේ දේවල් කරනවා. ඒවායේ තේරුම තියේද නැද්ද මන් දන්නේ නැහැ සමහර විට මැරුන කෙනාගේ නෑදෑ හිතවතුන්ගේ දුක අඩු වෙන්න කරන දේවල් වෙන්න ඇති ඒත් සමහර ඒවායින් නම් ඒ අයට දුක දෙගුණ තෙගුන වෙනවත් ඇති. මුස්ලිම් ආගමේ විදිහට ඉක්මනින්ම අවසාන කටයුතු සිද්ධ කරන එකට නම් මම කැමතියි මිනියත් තියාගෙන් දවස් ගනන් විකාර කරනවට නම් වඩා.

බොන අයට මේක තරම් බොන්න කැමති එකක් සහ හොඳට බොන්න පුළුවන් අයත් වැටෙන එකක් තමා මේ අන්තිම ෂොට් එක කියන්නේ. මාත් වැඩි පුරම කට් වෙලා තියෙන්නේ තනිකරම වගේ පෙරේතකමට වගේ බොන මෙන්න මේ අන්තිම ෂොට් එක නිසා.

අන්තිම ෂොට් එක කිව්වේ දෙන්නෙක් නම් බාගයක් බීලා ඉවර වෙච්ච වෙලාවක ආයි ගෙන්න ගන්න සීය හරි බෝතලයක් තුන් දෙනෙක් බීලා ඉන්න වෙලාවක ආයි ගෙන්න ගන්න එකසිය පනහ විතරක් නෙමෙයි. බීල ඉවර වෙලා කැම කන ගමන් දාගන්න ෂොට් එක එහෙමත් නැත්නම් හොඳටම වෙරි වෙලා ඉන්න වෙලාවක බෝතලේ ඉතුරු වෙලා තියෙන ටික ඉවර කරන්න දාගන්න එක. ඔය වගේ හොඳට බීලා ඉන්න වෙලාවක අන්තිමට බොන බීම වීදුරුව.

ඔය ගොඩක් වෙලාවට මේස උඩ ඉතුරු කරලා යන්නේ ඔය අන්තිම ෂොට් එක බීගන්න බැරි උනාම තමා. ඒකත් බීල කෙලින් ඉන්න අය නැතුවම නෙමෙයි. මේ ලඟදි බෝතලයක් බීපු දෙන්නෙක්ව වට්ටන්න හිතාගෙන තව 100ක් ගෙන්නත් දුන්න මෙන්න මුන් දෙන්න තව 100ක් ඉල්ලුවා ඉතින් තවත් දුන්නත් එච්චර නිසා අපි වැඩේ අතැරලා දැම්මා. ඔය අන්තිම ෂොට් එක නොබී ඉන්න පුලුවන් නම් ගොඩක් අයට ඒ වෙනකන් බීපු සේරම ආපහු නොදා තියා ගන්න පුළුවන් කමක් ලැබෙනවා ඒත් ගොඩක් අයට ඒක කරන්න බැහැ අන්තිම ෂොට් එකත් දාගන්නවම තමා.

කොච්චර කොහොම උනත් මේ අන්තිම ෂොට් එක නොබී ඉන්න පුළුවන් බොන අයනම් මට හම්බ වෙලා තියෙන්නේ අඩුවෙන්. බීම ඉවර වෙලා නවත්තන එක වෙනම කතාවක් ඒත් තියේනම් අන්තිම ෂොට් එකත් බොනවම තමා.

මට අනික් අය ගැන කෙසේ වෙතත් මන් ගැන සලකද්දි ඇයි මේක බොන්නේ කියලා නම් හිතා ගන්න බැහැ. කලාතුරකින් නම් වෙරි මදි වගේ නිසා බොනවා ඒත් අනික් වෙලාවට. බීම කියන්නේ එහෙම හදිස්සියේ නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ ඒක පැහැදිලි කරන්න බැහැ.

පහුගිය දවසක අනුල ද සිල්වා පරිවර්තනය කල James A. Michener ගේ Sayonara කියන පොතේ සිංහල පරිවර්තනය "ආදරය සමුගනී" කියෙව්වා. කාලෙකට පස්සේ පොතක් බලලා මට ගොඩක් කණගාටුවක් ඇති උනා ඒ කතාවට.

දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ ජපානයට යන ඇමරිකානු සොල්දාදුවන් සහ ඒගොල්ලෝ එක්ක පෙමින් බැඳෙන ජපන් තරුනියන් ගැන තමා කතාව යන්නේ. අවසානයේ ඇමරිකාවේ අභිමානය වෙනුවෙන් එවන් පෙම්වතුන්, විවාහක යුවල් බලහත්කාරයෙන් වෙන කරනවා. ඒවා දරා ගන්න බැරි සමහර පෙම්වතුන් සහ විවාහකයින් සියදිවි නසා ගන්නවා. රටක හෝ කෙනෙක් ගේ අභිමානය වෙනුවෙන් තව කෙනෙක්ට ජීවිතය නැති කරගන්න තැනට වැඩ සිද්ධ කිරීම ඒ රටේ සහ ඒ කරපු කෙනේගේ අභිමානයට කෙසේ වෙතත් ලැජ්ජාවට පත් වෙන්න ඕනේ දෙයක් කියලා මට හිතෙනෙන.

එහෙම තමන්ගේ ආදරය වෙනුවෙන් සියදිවි නසාගත්ත පෙම්වතුන් ගේ ක්‍රියාව සාධාරනයි කියලත් මන් හිතනවා.

දෙවෙනි එක

මම දන්න කියන කෙනෙක් වහ කාලා. දැනටමත් එක තැනක ඉන්න ඔහු අනාගතේ අංශබාගේ හැදෙයි කියලා බයට තමා වස කාලා තියෙන්නේ, එක අතකින් ඔහුගේ උවමනව සාධාරණයි. ඒත් දැන් නොමැරුණු නිසා එයා හිටියටත් වඩා දුක් විඳිනවා. ඊයේ මන් ඔහුව බලන්න රොහලට ගියා දැන් ඉන්න තත්වයට වඩා නම් ඔහු කලින් සිටිය තත්වය යහපත්. වස විස පානය කරනවනම් මැරෙන්නම ප්‍රමානවත් තරම් පානය කරනවා මිසක් නොමැරී ජීවත් උනොත් නම් ජීවිතේ විඳවන්න වෙන්නේ තනියම නෙමෙයි අනික් අයටත් ලොකු කරදරයක් වෙලා.

ලෝකේ සමහර රටවල් නීත්‍යානුකූලව සිය දිවි නසාගන්න ඉඩ දීලා තියෙනවා කියලා මන් අහලා තියෙනවා. ඒත් ඒක ලේසි නැහැ සනීප කරන්න බැරි ලෙඩක් තියෙන බව ඔප්පු කරන්න ඕනේ. ඒ වගේම ඉතා විශාල මුදලක් ගෙවන්නත් ඕනේ. සනීප කරන්න බැරි ලෙඩකුත් එක්ක අනික් අයටත් කරදරයක් වෙවී ජීවත් වෙන එකට වඩා එහෙම කෙනෙක්ට මරණය සහනයක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් මැරෙන්න ඉල්ලනවනම් ඒක සාධාරණ ඉල්ලීමක් කියලා මට හිතෙනෙන.

මටත් සමහර වෙලාවට මැරෙන්න ඕනේ කියලා හිතෙනවා ඒත් ඒකට නම් සාධාරණ හේතුවක් නැහැ ඒක නිසා එහෙම මැරෙන එක නම් එක්තරා විදිහක මෝඩ කමක්.

One | Zero | Zero කියන්නේ "වචන සීයක හිරවුන දිග කතා" අපේ නොදරුවාගේ ළඳරු අදහසක් අනුව අපේ කට්ටිය එකතු වෙලා කරන අළුත් වැඩක් තමා මේක.

දිගම දිග කතාවක් ලියන්න ඕනේ හැබැයි කතාවේ නම ඇරුනම තියෙන්න පුළුවන් වචන සීයක් විතරයි. ලේසියි වගේ පෙනුනට ලේසිමත් නැහැ දිගට දිගට ලියාගෙන යන්න අවසර නැහැනේ හිතේ තියෙන සේරම ටික වචන සීයකට හිර කරන්න එපායෑ.

මුද්‍රිත පොත් ගත්තම නම් කෙටි කතා වලට වඩා නව කතා ජනප්‍රියයි තමා , ඒත් පරිගනකයෙන් බලනකොට නම් දිගට දිගට තියෙන කතා වලට වඩා කෙටි කතා හොඳයි කියලා මන් හිතන්නේ. ගොඩ දෙනෙක් බ්ලොග් බලන්නේ කාර්යාලයේ ඉඳන් නේ එතකොට දිග කතාවක් කියවන්න යන වෙලාවෙන කාලක් වැය කරලා කෙටි කතාවක් කියවන්න පුළුවන් .

ඔයගොල්ලන්ටත් පුළුවන් වචන සීයක කතාවක් ලියන්න, හැබැයි ඒක තමන්ගේම නිර්මාණයක් වෙන්න ඕනේ, අහපු සිදුවීමක් ගැන උනත් කමක් නැහැ ඒත් හමෝම අහපු ඒවා නම් එපා. ප්‍රධානම දේ කතාව වචන සීයක් වෙන එක තමා.

ඔයගොල්ලන්ටත් වචන සීයක කතාවක් එහෙම ලියන්න හිතෙනවනම්, හිත හිතා ඉන්න එපා ලියලා මේකට onezerozerowords[at]gmail[dot]com ඊමේල් කරන්න

http://onezerozerowords.blogspot.com/

ගොඩක් දවසට මන් කන්න යන්නේ එකම කඩේට, ඔය කඩේ ගාව ඉන්නවා මට පෙන්නන බැරි මිනිස්සු තුන් දෙනෙක්. මේ තුන්දෙනා මාත් එක්ක හරිම හොඳට කතා බහ කරනවා ඒ වගේම මට කිසිම වැරැද්දක් කරලා නැහැ ඒත් මේ තුන්දෙනාව මට පෙන්නන්න බැහැ. මේ ගොල්ලෝ කිසිම නීති විරොධී කටයුත්තක යෙදෙන අයවත් කාටවත් කරදර කරන අයවත් නෙමෙයි ඒත් මේයාලගේ රස්සාව තමා බ්‍රොකර් වැඩේ. මන් කලින් දැනගෙන හිටියේ වාහන , ඉඩම් බ්‍රොකර්ලා විතරයි එත් මේ තුන්දෙනාම වගේ ගස් බ්‍රොකර්ලා.

කොහේ හරි හොඳට හැදිලා තියෙන මොනා හරි ගස් ටිකක් තියෙනවනම් ඒක කපලා ලොරිවලට පටවනකම් මේ අයට නින්ද යන්නේ නැද්ද කොහෙද. ඉතින් ඔන්න ඔය මහ අපරාදේ කරන නිසා මයි මට මේ අයව පෙන්නන බැරි. කියන්න හැදුවේ මෙයාලා ගැන නෙමෙයි මේ අය කියන ගල් බේගල් ගැන.

ඕන් දවසක් කියනවා. සිංහල වෙදකමේ තියෙන බලගතු බව ගැන. ඕන් දවසක් හොඳටම අමාරු ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනිච්චලු ගිහින් ඉස්පිරිතාලේ ඉන්න දොස්තර මහත්තුරු ලෙඩා බලා කිව්වලු ලෙඩ මැරිලා කියලා, ඉතින් ඔය වෙලේ ලඟ හිටපු කෙනෙක් කිව්වලු අහවල් දිහෑ ඉන්නවා දක්ෂ වෙද මහත්තයෙක් එයා ගාවට අරන් යමු කියලා ඉතින් ඕන් අර මැරිච්ච මිනිහත් අරන් අර වෙද මහත්තයා ගාවට අරන් ගියාම වෙද මහත්තයා ගුලියක් දුන්නලු අර මල මිනියට පොවන්න ඔන්න ඔය ගුලිය පොවපු ගමන් ලෙඩ නැගිට්ටලු. මන් මේ පාරම්පරික සිංහල වෙදකමට අපහාසයක් කරනවා එහෙම නෙමෙයි ඒත්  මට හිතා ගන්න බැරි මැරිච්ච මිනිහෙක් මරණ සහතිකේ ගන්නේ නැතුව ඉස්පිරිතාලෙන් පිටට අරන් ගියේ කොහොමද කියන එක. අනික මන් අහලා තියෙන විදිහට මල මිනී නිකන් වාහන වල ගෙනියන්න තහනම් ඒවා ගෙනියන්න ඕනේ ඒ සඳහා තියෙන වාහනයක. ඉස්පිරිතාලෙන් මැරුනයි කියපු මිනියක් මෙහෙම අරන් යන එකම වැරැද්දක් ඒත් කොහොම හරි ඒක කරලා මිනිහාට පණත් දුන්නා. ඊටත් වඩා පුදුමේ තමා මැරිච්ච මිනිහෙක්ට බේත් ගුලියක් පොවපු එක. ඒක කොහොම කලාද කියන එක නම් එතන හිටපු කෙනෙක් ගෙන්ම තමා දැන ගන්න වෙන්නේ.

තව දවසක් දැන් සර්පයෙක් කාලා මැරුන කෙනෙක් වලලන්න පාංසකූලේ එහෙම දීලා පෙට්ටිය උස්සන්න කිට්ටුවෙලා එතනට ආව කෙනෙක් කිව්වලු මිනිය බලන්න ඕනේ කියලා එහෙම කියලා. කිව්වලු මෙයා මැරිලා නැහැ එයාට සනීප කරන්න පුළුවන් කියලා ඔන්න බෙහෙත් ගුලියක් පොවලා මැරිච්ච මිනිහා නැගිට්ටුවලු. මේ මිනිස්සු මිනී වලලන්නේ එම්බාම් කරන්නේ නැතුවද එතකොට. මේකට නම් විහිළු කතාවක් තියෙනවා, දවසක් ඔහොම පෙට්ටියේ හිටපු කෙනෙක් සනීප කරන්න පුළුවන් වෙද මහත්තයෙක් ගාවට කිට්ටු උන තරුණයෙක් ඇහුවලු දැන් මේ ලෙඩාට ඔය බෙහෙත් පොවන්න නම් මේ ලෙඩගේ බඩවැල් එහෙම තියෙන්නේ ඕනේ නේද කියලා. වෙද මහත්තයා ඔව් කිව්වම කොල්ල කිව්වලු එහෙනම් මන් ටක් ගාලා මල් ශාලාවට ගිහින් ඒවා අරන් එන්නම් මොකෝ සේරම ඇඟේ ඇතුලේ කෑලි ටික එතන කියලා.

මේ වගේ ටිකක් වයසක පහේ උදවිය ඇස් දෙකෙන් දැක්කා වගේ විශ්වාස කරන්න බැරි කතන්තර හරියට කියනවා, ගොඩක් වෙලාවට මේවායෙන් කාටවත් හානියක් නැහැ ඒ වගේම අහන් ඉන්නත් ආස හිතෙනවා. ඉතින් කොහොම උනත් ඔය කතන්දර කියන්නේ අහන් ඉන්න අයගේ හැටියටනේ ඒ වගේ මේ කන වෙලාවට මට ඇහෙන්න ඕවා කියන්නේ එක්කෝ මේ අය හිතන් ඇති මන් අමු මෝඩයෙක් කියලා වෙන්න ඇති. සමහර විට දැක්කම එහෙම පේනවත් ඇති මගේ හිතේ

ඉස්සර මන් ගාව ජංගම දුරකතනයක් තිබ්බේ නැහැ. ඒ කාලේ කාගෙ හරි දුරකතන අංකයක් දුන්නම ඒක කොහේ හරි ලියා ගන්නවා. ඒ නොම්බරේට දෙතුන් පාරක් කතා කලාම නිකම්ම ඒ නොම්බරේ මතක හිටිනවා ඒ වගේ දැනට අවුරුදු 4 , 5 කට කලින් කට පාඩම් කරපු දුරකතන අංක බොහොමයක් මට තාමත් කට පාඩම් ඒත් මන් ජංගම දුරකතනය පාවිච්චි කරන්න පටන්ගත්තට පස්සේ හම්බ උන එකම එක නොම්බරයක් වත් මට මතක නැහැ. ගොඩක් ඒවා තියෙන්නේ ෆෝන් එකේ විතරයි කොහෙවත් ලියාගෙනත් නැහැ. කොච්චර හරි මන් වැඩියෙන්ම අමතන අංකේ වත් මට මතක නැහැ. කොහේ හරි ගිහින් ෆෝන් එක බැට්රි බැහැපු වෙලාවක කාට හරි ඇමතුමක් ගන්න ඕනේ උනොත් එහෙම ඉවරටම ඉවරයි.

මන් වැඩ කරන්න පටන් ගත්ත තැන නීතියක් වගේ උනා හැමදාම මොනා හරි ඉගෙන ගන්න එක පොතක ලියන එක. ඒකෙන් මට ඒ කාලෙ ඉගෙන ගත්ත දේවල් ගොඩක් තාම මතකින් ලියන්න පුළුවන් ඒත් දැන් සමහර දේවල් තියෙනවා ගූගල් නැත්නම් මට කරගන්න බැහැ කිසිම දෙයක් ගැන හොඳ මතකයක් නැහැ.

තාමත් මට යන්තම් එකයි එකයි දෙකයිවගේ එවා හිතෙන් එකතු කරන්න පුළුවන් ඒත් ඒ වගේ ඒවත් කැල්කියුලේටරයෙන් හදන අය කැල්කියුලේටරය නැති නම් එහෙම එකක් වත් හදා ගන්න බැරි තරමට අසරන වෙන වෙලාවල් තියෙනවා.

ගාමන්ට්වල වැඩකරන ගෑනු ලමයින්ගේ ගාන ලක්ෂ ගානක් වෙන්න ඇති ඒත් මේ අයගෙන් බහුතරයකට සම්පූර්ණ ඇඳුමක් මහන්න පුළුවන් ඇති කියලා මන් නම් හිතන්නේ නැහැ. එයාලා දන්නේ එක කොටසක් මහන්න විතරයි . බොත්තමක්, සක්කුවක්, කොලර් එකක් වගේ.

අපි ගොඩක් වෙලාවට පාස්වර්ඩ් එහෙම මතක තියාගන්න එක මෘදුකාංග වලට පවරනවා අන්තිමේදි අපිට පාස්වර්ඩ්නුත් අමතක වෙලා යනවා. වර්ඩ් වැඩ කරන්නේ නැති වෙලාවක අතින් ඉංග්‍රීසියෙන් ලියුමක් ලියලා දෙන්න කිව්වොත් වචන 10ක අකුරු හරියට ලියා ගන්න පුළුවන් වෙයිද?

මේ වගේ නොයෙක් විදි මගින් අපි අපේ කටයුතු යන්තර වලට පවරල වැඩ පහසු කරගන්නවා එකන් වැඩේ නම් ඉක්මන් වෙනවා ඒ ගමන් ම අපි කම්මැලියො වෙනවා. ඒ යන්තර සූත්‍ර නැතුව මොකුත්ම කරගන්න බැරි තත්වෙට අපිව පත් වෙලා තමා නවතින්නේ.

පාවිච්චි නොකරන අවයව ටික ටික අඩුවෙලා යනවා වගේ තව කාලයක් යනකොට අපි මොලෙත් නැති අය වෙලා නවතීද මන්දා

පහුගිය දවසක කොන්ඩේ කපන්න ගිය වෙලාවක පොඩි ලමයෙකුත් කොන්ඩේ කපන්න ඇවිත් හිටියා, ඒත් ඒකා අපි පොඩි කාලේ වගේ කොන්ඩේ කපන්කොට එක යුද්ධයක් කලේ නම් නැහැ සමහර විට අපේ කාලේ පාවිච්චි කරපු මේ ජාතියේ කොන්ඩේ උගුල්ලන මැෂින් දැන් පාවිච්චි කරන්නේ නැති නිසා වෙන්න ඇති.


ඉස්සර අපි ගිය සැලූන් එකේ මේ වගේ උස පුටුවක් ලමයින්ට තිබ්බත් දැන් නම් එහෙම එකක් නැහැ ලොකු අය ඉන්න පුටුවකම තමා ලමයින්වත් ඉඳවන්නේ.

පොඩි කාලේ කොන්ඩේ කපන එක කොච්චර එපා කරපු කටයුත්තක් වෙලා තිබ්බද කියන්වනම් එදාට ඒ කාලේ තිබ්බ ඉස්තරම්ම කෑමක් වෙච්ච පළතුරු (ජෙලි)යෝගට් එකක් හම්බ වෙනවා කොන්ඩේ කපලා ඉවර උනාම. කොන්ඩේ කපන එක එපාම වෙන්න ලොකු හේතුවක්  උනේ එයාලා කොන්ඩේ කපන්න භාවිතා කරන උපකරන. කොන්ඩේ උගුල්ලන මැෂින් එකයි, අනිවාර්යෙන් බෙල්ල පොඩ්ඩක් කපන හරියට කැපෙන්නේ නැති දැලි පිහියයි වෙන්න ඇති. ගොඩක් වෙලාවට් පාවිච්චි කරන්නෙත් මොට්ට කතුරු. ඒවත් වෙලාවකට කොන්ඩේ කපනවා නෙමෙයි උගුල්ලන්නවා.  ගාස්තුව නම් මට මතක නැහැ මන් හිතන්නේ රුපියල් 10ක් විතර ගන්න ඇති දැන් නම් 60- 150 අතර ගානක් තමා ගන්නේ. ඊට වඩා ලොකු ගනන් 500 - 1000 දීල නම් මන් තාම කොන්ඩේ කපලා නැහැ.

ලංකාවේ අය ගොඩක් පිටරට ගියාම , තමන්ම කොන්ඩේ කපන්න පුරුදු වෙනවා කියලා මන් අහලා තියෙන්නේ. මෙහෙ රුපියල් 100ක් විතර දීල කොන්ඩේ කපල පුරුදු වෙලා එහෙ ගිහින් එක පාර ඩොලර් 10ක් 20 ක් දීලා කොන්ඩේ කපන්න හිත හදා ගන්න බැරුව ඇති.

එදා ඉඳලා අද වෙනකම් සැලූන් වල වෙනස් වෙනස් වෙලා නැති එකම අංගය තම කෙස්කොට පිරිච්ච මාස ගානකින් හෝදලා නැති බෙල්ල වටේ ඔතන සුදු රෙද්ද. මේක නම් පිරිසිදුව තියෙන කිසිම සැලූන් එකක් මට තාම හම්බ වෙලා නැහැ

ඡායරූප 1 මෙතනින්
ඡායාරූප 2 මෙතනින්

Bloggers.com - Meet Millions of Bloggers