මේ ලොකේ තියෙන භයානකම දේ මොකද්ද කියලා කවුරුහරි ඇහුවොත් මම නම් කියන්නේ ඒ තමා සල්ලි කියල. මොකද මීට වඩා මොනතරම් භයානක දෙයක් ලෝකේ හැදුවත් ඒකටත් මිලක් නියම කරන්න සල්ලි වලට පුළුවන් නිසා සල්ලි තමයි ලෝකේ තියෙන භයානකම දේ.
සල්ලි නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි ඒත් සල්ලි තිබීම ජීවිතේ නැති වීමට හේතුවක් වෙන වෙලාවල් නැත්තෙමත් නැහැ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේම වෙන මිනීමැරුම් ගත්තෝත් මේවායේ කෙලවරේ ගොඩක් වෙලාවට තියෙන්නේ සල්ලි.
අපි අපිට කැමති විදිහට ජීවත් වෙන්න සල්ලි ඕනේ තමා ඒත් සල්ලි තියෙන කොට අපිට අපි කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්ද මන්දා. සල්ලි කියන්නේ මහ පුදුම ජාතියක්, සල්ලි වලට කරන්න බැරි ජාති තියෙන්න පුළුවන් ඒත් සල්ලි වලට නොකරන්න බැරි ජාති හරි අඩුයි.
ප්‍රේමය, සහෝදරකම්, නැදෑකම්, යාළුමිත්‍රකම්, මාපිය දූදරු සම්බඳතා සල්ලි වලට ඇති කරගන්න බැහැ ඒත් මේවා සුණුවිසුණු කරලා දාන්න සල්ලි වලට යන්නේ අපිට හිතා ගන්නවත් බැරි තරම් සුළු කාලයක් විතරයි.
මෙච්චර භයානක සල්ලි හොයන්න මේ ලොකේ ඉන්න හැම කෙනෙක්ම දිවා රෑ නොබලා මහන්සි වෙන එකත් මහ පුදුම වැඩක් බලාගෙන ගියාම. බල්ලොත් නොකන සල්ලි කියල කතාවට කිව්වට සල්ලි වලට මිනිස්සුන්ව නම් බල්ලන් ටත් වඩා පහත් තත්වෙකට පත් කරවන්න පුළුවන්.
අපි හැමොටම ජීවිතේ එක පාරක් හරි සල්ලි , ප්‍රශ්නයක් ඇති කරවලා තියෙන්වා ඒත් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන නිසා ඒ ප්‍රශන ඇති කරන සල්ලිම හොයන්නම වෙලා තියෙන ඒකත් මහ පුදුම වැඩක් ......
බියර් ගැන කාලෙකට කලිනුත් ලිව්වා ඒත් ආයි ලියන්න හිතුනා පොඩි සිදුවීමක් නිසා.
පහුගිය දවසක අධික වෙහෙසකර කටයුත්තක නියැලෙන්න උනා. ඉතින් වැඩ කරලා වැඩකරලා හොඳටම මහන්සිවෙලා හිටියේ කොච්චරද කියනවනම් ඇවිදගන්නත් පන නැහැ වගේ.
මන් මේ පරිගනකයක් ඉස්සරහා ඉඳන් කරන රස්සවක් නිසා ශරීරය හොඳටම හොර වෙලා ඉතින් පොඩ්ඩක් ඇඟපත හොල්ලල වැඩක් කලොත් එහෙම පාන් කියාගන්න බැරුව යනවා. ඇයි ඉතින් මෙලෝ ව්‍යායාමයක් නැහැනේ.
මන් මේ කිව්වේ බියර් ගොඩක් ගැන නෙමෙයි උපරිම බෝතලයක් විතර ප්‍රමානයක් ගැන. ඉතින් ඒ බියර් බාගෙත් බීල හොඳට කාල නින්දට ගිය නිසා පහුවදා උදේ ෆුල් ෆිට් එකේ නැගිට්ටා.
මම ඉස්කොලේ යන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඉස්කොලේ ගියේ ස්කූල් බස් එකේ. ඊට පස්සේ පංතිවලටත් ගියා වෙන නොයෙක් ගමන් බිමන් බොහොමයක් බස් එකේ ගියේ. 88-89 කියන්නේ මේ රටේ භීෂණයක් තිබ්බ කාලයක් ඒ කාලෙදිත් මන් බස් එකෙ ඉස්කොලේ ගියා. කවදාවත් මට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. බස් නැතුව පරක්කු උන දවස් තිබ්බත් ඒ වෙලාවට ගෙදරට පණිවිඩයක් දුන්නේ නැහැ කියල ගැටළුවක් ඇති උනේත් නැහැ.රැකියාවක් කරන කාලෙ වෙනකම්ම මට ජංගම දුරකථනයක් අතට ලැබුනේ නැහැ එහෙම උනා කියලා මට කිසිම පාඩුවක් වෙලාත් නැහැ.
ඒත් දැන් කාලෙ වෙනස් තාලෙ අළුත් මොන්ටිසෝරි යන ළමයින්ටත් මොබයිල් ෆෝන්. ඉස්කෝල වලින් මොන තහනම්ක් දැම්මත් ඉස්කොලෙ යන ලමයි ගාවත් මොබයිල් ෆෝන් වැහි වැහැලා. සමහර අය ගාව දෙක තුනක්. හැබෑටම ජංගම දුරකථනය කියන්නේ අපිට නැතුවම් බැරි දෙයක්ද? මේක ඒ තරමටම වැදගත්ද? මේ වෙනකොට මාත් ඒකට ඇබ්බැහි වෙලා.
මට කිසිම වැදගත් පණිවිඩයක් ජංගම දුරකථයට ලැබුනේ නැතත් ඒක නැතුව ගෙදරින් එලියට බැස්සොත් හරියට අයිඩෙන්ටි කාඩ් එක නැතුව කොළඹ යනවා වගේ දැනෙනේ. මේ වෙනකම් ජංගම දුරකථයක් තිබ්බ කියලා හදිස්සි අවස්ථාවකදි මට සිද්ධ උන වාසියක් නම් නැහැ.මන් මේ වෙනකොට ජංගම දුරකථන සමාගම් දෙකකට ගෙවලා තියෙන බිල් වල එකතුව දැක්කම මටම හිතෙන්වා මේ සල්ලි වලින් වෙන මොනා හරි කලානම් කොච්චර ප්‍රයොජනවත්ද කියලා.
සමහර පිරිමි සහ කලාතුරකින් ගැහැණු අයත් ජංගම දුරකථන්යෙන් ගන්නේ මොන වගේ වැඩද කියලා ලංකාවේ තියෙන සමහර සයිට් වලට ගියාම බලාගන්න පුළුවන්. සිංදු අහන එක ඇරුනම ටීවී බලන්න, ගේම් ගහන්න, ෆොටො ගන්න, වීඩ්යෝ කරන වගේ දෙවල් තමයි ගොඩ දෙනෙක් ජංගම දුරකථනයෙන් වැඩිපුරම කරන්නේ. කලාතුරකින් කෝල් ගන්නවා නැත්නම් ඉතින් SMS හරි Miss Call හරි තමා.
මන් නම් හිතන්නේ මේක එක්තරා විදිහක තේරුමක් නැති වසංගතයක් කියලා. අවාසනාවට මාත් ඒකට ගොදුරු වෙලා
මේ දවස්වල නිතරම වැස්ස ඒක නිසා සතිඅන්තයේ කොහේවත් යන්න හිතුනේ නැහැ. ගෙදරට වෙලා නිදා ගන්න එක තමා වැඩිපුරම කලේ. ඊයේ (ඉරිදා)ටිකක් පායලා තිබ්බ නිසා දවල් ගියා නෑදෑ ගෙදරක ගිහින් ටික වෙලාවකින් එයාල එක්ක එහෙ දවල්ට කන්න හදලා තිබ්බ කෑම භාජනත් එක්කම අරන් ගියා මීගමුවේ වෙරළ උද්‍යානයට නාන්න.
ඇතුලට යන්න වාහනේටම රුපියල් පනහක ටිකට් එකක් නම් කඩනවා. හැබැයි ඇතුලේ නඩත්තුව නම් අන්තිමයි. හැම තනම කුණු. කුණු දාන්න එකම එක තැනක් විතරයි මන් දැක්කේ ඉතින් මිනිස්සු හැමතැනම් දාලා. එක ටැප් එකක් තියෙනවා ඉතින් එතන දිග පෝලිමක් මිනිස්සු බෝතල් වලට වතුර එකතු කරන් තමා මුහුදේ නාලා ඇවිත් නාන්නේ (අපේ මාමා කෙනෙක් නම් කිව්වා මුහුදේ නෑවම ලුණු වතුර පිටින් ඉන්න ඕනෙලු නැත්නම් මුහුදේ නාපු එකෙන් වැඩක් නැහැ කිව්වා ඒකත් ඇත්ත එක අතකට).
ඒ අස්සේ මගේ අතේ තිබ්බ ඉස්සො වඩේ එකක් කවුද එක පාරටම උදුර ගත්තා. බැලුවහම කපුටෙක් අවිත් උරහිස්සේ වහල අතේ තිබ්බ වඩේ කෑල්ල අරන් ගියා. වඩේ කෑල්ල ගැන නම් අවුලක් නැහැ ඒත් කපුටන්ගේ නියපොතු පාර වැදුනම තරු පේනවා. මීට කලින් දවසකත් කපුටෙක් මගේ ඔළුවේ වහගෙන ගියා (මගේ ඔළුව කපුටු කූඩුවක් වගේ නම් නැහැ යන්තම් කොන්ඩේ තියෙන්නේ). එදත් නියපොතු පාර මතක හිටින්නම ඔළුවට වැදුනා.
කනගාටුදායකම තත්වේ තමා මිනිස්සු බීලා බොතල් දාලා සමහර එවා බිඳලා ඉතින් වීදුරු කටු හැම තැනම මුහුදු වෙරළට යනකොට ලොකු පොඩි හැමෝම සෙරෙප්පු සපත්තු ගලෝලා යන්නේ ඉතින් කකුල කැපෙන්න තියෙන ඉඩ නම් හරිම වැඩියි.ඒක නම් හරිම ජරා වැඩක්.මිනිස්සු බිව්වට කමක් නැහැ ඒත් ආයිත් දවසක ඇවිත් ආපහු බොන්න බීපු තැන ඉතුරු කරන්න ඕනේ කියන එක නම් හිතේ තියා ගන්නම ඕනේ
මේ දවස්වල මට ටිකක් හෙම්බිරිස්සාව ඉතින් හැම වෙලේම නහයෙන් බේරි බේරි තමා ඉන්නේ.
ඔය අතරේ මට සිද්ද් උනා පොඩි උවමනාවකට පොදු වැසිකිලියකට යන්න.
ලංකාවේ පොදු වැසිකිලි හරිම පිරිසිදුයිනේ ඉතින් ඒවා ඇතුලේ මාර සුවඳයි
සාමාන්‍යයෙන් නම් ගිහින් එනකම් හුස්ම ගන්නේ නැතුව තමා ඉන්නේ
ඉතින් ඔන්න මන් මගේ කටයුත්ත සිදු කරමින් ඉන්න අතරේ මගේ නහයෙන් බේරෙන්න පටන් ගත්තා
ඉතින් ඔයවගේ වෙලාවකට කරන්න තියෙන්නේ දෙවල් දෙකයි එකක් ලේන්සුවෙන් පිහදාගන එක
ඒත් මට ඒක කරන්න අත් දෙක නිදහස් කරගන්න විදිහක් නැහැ
අත් නිදහස් කලොත් මට සිද්ද වෙන්නේ කලිසම තෙමා ගන්න
අනික් එක තමයි හොඳට උඩට හුස්මක් ඇදලා එලියට එනටික ඇතුලට ඇදලා ගන්න එක
අනේ මට එක කරන්න විදිහකුත් නැහැ
පොදු වැසිකිලියේ සුවඳවත් වාතයෙන් මගේ පෙනහළු පුරෝ ගන්න බැරි නිසා.
මොනවා කරන්නද ලාවට දැනිච්ච ලුණු රසකුත් එක්ක මගේ කටයුත්ත මන් ඉවර කලේ තවත් කෙනෙකුට මූණ පෙන්නන්න බැරි තත්වෙකට පත් වෙමින්.
වැඩිය සෙනගක් නොහිටපු නිසා ඉකමනින්නම මූණ පිහදාගත්තා වැඩේ ඉවර වෙලා.
හැමදේම තිබ්බත් සමහර වෙලාවට අපිට පොඩි දෙයක්වත් කරගන්න බැරි තරම් අසරන වෙන වෙලාවල නැත්තෙමත් නැහැ මේ ජීවිතේ....!!!!
අපේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත්. මම නම් තුන් වේලටම කන්න කැමති බත් ඒත් ඉඳලා හිටලා උදේ රෑ වේල් දෙකනම් වෙන වෙන කෑම ජාති කන්නත් අකමැත්තෙන් උනත් සිද්ධ වෙනවා. ඒත් දවලටනම් කොහොම හරි බත් ටිකක් කන්න තමා හැම වෙලේම ට්‍රයි කරන්නේ.
අපේ සමහර අය ඉන්නවා බත් කන්න වැඩිය කැමති නැති අය ඉතින් ඒ අය බත් කන්න පුළුවන් කමක් තිබ්බත් වෙන වෙන දේවල් කනවා. උදේ රෑ වේල් දෙක අත ඇරියත් දවල්ටත් බත් නැතුව වෙන වෙන කෑම කන අය ඕනේ තරම් ඉන්නවා.
තවත් කොටසක් ඉන්නවා බත් ටිකක් කන්න කොච්චර ආස උනත් එක වේලක් වත් බත් කන්න තරම් පුළුවන් කමක් නැති අය. මේක ලියන්න හිතුනේ ඒ අය නිසා. මම දවල්ට කන්න ගියාම එතනට එන සමහර අය දවල් කෑම ඒකට බොන්නේ ප්ලේන්ටියක් විතරයි. අපිට නම් ඉතින් දවල් කියන්නේ බත් කන වෙලාව මිසක් ප්ලේන්ටි බොන වෙලාවක් නෙමෙයිනේ. තවත් සමහරු වඩේ එකක් කාල ප්ලේන්ටියක් බොනවා. මේ අය අතරනම් බත් කන්න අකමැති නිසා ප්ලේන්ටි බොන අය නැහැ. බත් එකක් කන්න තරම් පුළුවන් කමක් නැති නිසා තමා මේ පිරිස වෙන මොනවායින් හරි දවල් වේල පිරිමහ ගන්නේ.
අපි වට පිටේ මිනිස්සු බඩගින්නට ප්ලේන්ටි බොද්දි අපේ බත් මුලෙන් කොච්චර අපි විසිකරලා ඇද්ද? ඒක කාටවත් දෙන්න නම් බැහැ තමයි ඒත් අපි අතින් කොච්චරනම් බත් අහක ගිහින් ඇද්ද. දන්සැල්, මළ ගෙවල්, මගුල් ගෙවල්, දානේ ගෙවල් කියලා කොච්චර නම් කෑම අපේ අය අහක දානවා ඇද්ද?
මේ දවස්වල කඩේ කෑම වේලට කොස්, දෙල් වරදින්නේ නැහැ. දවසින් දවස බඩු ගනන් යන නිසා කෑම වේල ලාබේට හදා ගැනීමේ උපක්‍රමයක් හැටියට තමයි කෑමට ලාබෙට හොයාගන්න පුළුවන් දේවල එකතු කරන්නේ. කොස්, දෙල් තියන්වා ෂා මරුනේ කියල කෙනෙක්ට හිතෙද්දි මීට වඩා වෙනස් මොනාහරි තිබ්බනම් කියලා සමහර වෙලාවට මට හිතෙනවා. ගමේ ගොඩේ කෑම කන්න අකමැති නිසා නෙමෙයි ඒත් හැමදාම එකම කනවට වඩා වෙනස් දේකටත් ඉතින් ආසයිනේ
නගරේ ඉන්න සල්ලි බාගෙ තියෙන උදවිය ගමේ විදිහට හදපු කෑම වේලක් කන්න ආස කරනවා. ඒ උදවිය ඒ වෙනුවෙන් ඉහල මිලකුත් ගෙවද්දි ගමේ ඉන්න නැති බැරි අය තමන්ගේ වියදම් අඩුකරගැනීමේ ක්‍රමයක් විදිහට සරලම දෙවල් වලින් තමන්ගේ ආහාරය සකසා ගන්නවා. වෙන කරන්න දෙයක් නැති කමට මිසක් වෙන දෙයක් කන්න ආස නැති කමකටම නෙමෙයි.
කටු මැටි ගේක හැමදාම ඉන්න කෙනෙක්ගේ එකම හීනය තමයි සිමෙන්ති වලින් කාමරයක් හරි හදා ගන්න එක ඒත් සිමෙන්තිවලින් හදපු මාලිගාවක් වගේ ගෙදරක ඉන්න අය නිවාඩුවක් එනකම් ඉන්නවා ඉතාම ඉහල මිලක් ගෙවලා කටු මැටි පැලක රැයක් දෙකක් ගතකරන්න යන්න.
මිනිස්සු හරි පුදුම ජාතියක්....
