මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පහුගිය සතියේ අපේ කාර්යාලයට කෙනෙක් සම්මුඛ පරීක්ෂනයකට ආවා, ඩෙනිම් එකක් සහ ටීෂර්ට් එකක් ඇඳන්, සහතික පොලිතීන් බැග් එකක දාගෙන. දැකපු ගමන් මට හිතුනේ මෙයා හරියන්නේ නැහැ කියලා. සමහර විට අවස්ථාවක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒ ඇඳුම් සහ පැමිණි පිළිවෙන ඉතා ඉහල තත්වයේ කලින් කරපු වැඩ ඇති කෙනෙක්ට සුදුසු උනාට වැඩි අත්දැකීම් නැති කෙනෙක්ට හරියනෙන නැහැ. එහෙම අඩු අත්දැකීම් තියෙන අය ඒවා ඇඳුම් සහ පැමිණෙන පිළිවෙලින් වසාගන්න එක තමා සුදුසු කියලා මට නම් හිතෙන්නේ.

ටික දිනකට කලින් මගේ අතට ලැබුනු රැකියා අයදුම් පත්‍රයක තිබුන එකම සුදුසුකම අපොස සාපේ විතරයි ඒත් බලාපොරොත්තුව නම් ඉහල රැකියාවක්. කලින් 15000ක් පඩි හම්බ උන එකක් කලාලු ඒත් පඩි මදි නිසා නැවතිලා. මට නම් ඒ සුදුසු කම් වලට ගැලපෙන රැකියා දෙකයි මතක් උනේ එකක් ගාමන්ට් එකක අත් උදවු කාරියක් අඩුම ගානේ මැෂින් එකක වැඩ කරලා පුරුද්දවත් නැති නිසා. අනික සුපිරි වෙළඳ සැලක රැකියාවක්. ඒ ඇරෙන්න වෙන මොකුත් ඒ සුදුසුකම් වලට දෙන්න වටින්නේ නැහැ. ඒත් ඕක කිව්ව නම් හිත් නරක් වෙන නිසා සද්ද නැතුව කිව්ව බලන්න හොඳ රස්සාවක් හම්බ වෙයි කියලා.

මන් දන්න කියන රස්සාවල් නැති හැමෝම කියන්නේ තාම රස්සාවක් නැහැ කියලා. නිකන් හරි ඇහුවොත් ජොබ් වලට ඇප්ලයි කලාද කියලා ඒත් නැහැ. ඉතින් දෙයියෝ ගෙනත් දෙනකන් ඉන්නවා රස්සාවල්. අනික ගොඩක් අය ඉල්ලුම්පත දෙන්නෙ අඳුනන කෙනෙක්ට එහෙම දෙන ඒවා වැඩිපුර යන්නේ කුණු කූඩ වලට කියන එක මන් හොඳටම දන්නවා. ඒවා බාර ගන්නේ දෙන කෙනාගේ හිත සනසන්න හිතාගෙන විතරයි නැතුව ජොබ් හොයලා දෙන්න නෙමෙයි. ඉරිදා පත්තර ගත්තොත් රැකියා ඇබැර්තු ඕනේ තරම් තියෙනවා ඒවා එකකටවත් දාන්න, අඩුම ගානේ පත්තරේ අරන් බලන්නවත් ඔය රස්සා නැති ගොඩක් අය උනන්දු වෙන්නේ නැහැ.

තමන්ගේ සුදුසුකම් වලට හරියන රස්සාවක් ලැබෙනකම් ඊට වඩා අඩු තත්වයේ රස්සාවක යෙදෙන්න හිතන්නේවත් නැහැ. හැමදාම නැහැ නැහැ අනේ තාම රස්සාවක් නැහැ කිය කියා ඉන්නවා. රස්සා නම් මන් හිතන්නේ ඕනවටත් වඩා තියෙනවා ඇත්තටම අපේ නැත්තේ ඒවාට සුදුසු මිනිස්සු. ආණ්ඩුවේ රස්සා බලාගෙනම ගෙදරට නාකි වෙන උපාධිදාරීන් කීදාහක් ඉන්නවද දන්නේ නැහැ. මිනිස් ශ්‍රමය කියන්නේ මිල කරන්න බැරි තරම් වටින දෙයක් අපි අපතේ අරින්නෙත් ඒකම තමා


මළ ගෙදරක අවසාන කටයුතු ඉවර උනාට පස්සේ ඇවිල්ල ඉන්න අයට කන්න දෙන කෑම වේලට කියන්නේ මළ බත කියලා. සම්මතයක වශයෙන් අපේ පැත්තේ නම් මේකට දෙන්නේ වට්ටක්කා, කරවල හොදි සහ තක්කාලි සම්බෝල. ඒත් ඒ ඇරුනම බෝංචි, අළු කෙසෙල් වගේ ඒවත් සමහර තැන් වලින් දෙනවා.

මේ සිරිත පළාතෙන් පළාතට වෙනස්. සමහර පළාත් වල නම් මළ බත කියලා එකක් දෙන්නේ නැහැ. අනුරාධපුරේ ගිය වෙලාවක ගෙදර බිම වාඩි වෙලා මළ බත කන්න සිද්ද වෙලා තියෙනවා එක පාරක්. වට්ටකයි, කරෝලයි, තක්කාලි සම්බෝලයි එකතු උනාම මළ බතේ තියෙන්නේ පුදුම රසක් ඒක නිසා මම නම් මළ ගෙදරක අන්තිම දවසේ ගියොත් මළ බත නම් නොකා ලේසියෙන් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් මැරුනාම ඒ ගෙදර කෑම උයන එක නවත්තනවා ආයි කෑම උයන්න පටන් ගන්නේ මේ මළ බත උයලා තමයි. ඒ නිසා වෙන්න ඇති මේකට මළ බත කියන්නේ. තවත් දෙයක් මළ බත එතන ඉඳන් කන්න දෙනවා මිසක් කාටවත් පාර්සල් හදාගෙන ගෙදර අරන් යන්න දෙන්නේ නැහැ.

අපේ පැත්තේ තව දෙයක් කරනවා, වල කපන්න උදව් උන සේරටම අන්තිමට පෙට්ටිය තියලා පාංසකූලේ දීපු තැන තියලා සේරම ඉන්න තැන ප්‍රසිද්ධියේ අරක්කු බොන්න දෙන එක මේක කරන්නේ අනික් අයට මළ බත කන්න දෙන්නත් කලින්. දැන් වැඩිපුර මිනී වලලන්නේ නැතුව ආදාහනාගාරෙට ගෙනියන නිසා මේක නම් මන් වැඩිය දැකලා නැහැ. ඒ ඇරෙන්න පිට පළාත් වල දැකලාම නැති තරම්. ඔය උඩ ෆොටෝ එකේ තියෙන කුරුම්බා ගෙඩි දෙකත් වල කපන්න උදව් උන අය සේරම එකතු වෙලා උගුර උගුර බීපු එකක්. ඒක නම් මන් දැක්ක පළවෙනි වතාව.

පළාතෙන් පළාතට, අදහන ආගමේ හැටියට මිනිස්සු මැරුනම එක එක විදිහේ දේවල් කරනවා. ඒවායේ තේරුම තියේද නැද්ද මන් දන්නේ නැහැ සමහර විට මැරුන කෙනාගේ නෑදෑ හිතවතුන්ගේ දුක අඩු වෙන්න කරන දේවල් වෙන්න ඇති ඒත් සමහර ඒවායින් නම් ඒ අයට දුක දෙගුණ තෙගුන වෙනවත් ඇති. මුස්ලිම් ආගමේ විදිහට ඉක්මනින්ම අවසාන කටයුතු සිද්ධ කරන එකට නම් මම කැමතියි මිනියත් තියාගෙන් දවස් ගනන් විකාර කරනවට නම් වඩා.

බොන අයට මේක තරම් බොන්න කැමති එකක් සහ හොඳට බොන්න පුළුවන් අයත් වැටෙන එකක් තමා මේ අන්තිම ෂොට් එක කියන්නේ. මාත් වැඩි පුරම කට් වෙලා තියෙන්නේ තනිකරම වගේ පෙරේතකමට වගේ බොන මෙන්න මේ අන්තිම ෂොට් එක නිසා.

අන්තිම ෂොට් එක කිව්වේ දෙන්නෙක් නම් බාගයක් බීලා ඉවර වෙච්ච වෙලාවක ආයි ගෙන්න ගන්න සීය හරි බෝතලයක් තුන් දෙනෙක් බීලා ඉන්න වෙලාවක ආයි ගෙන්න ගන්න එකසිය පනහ විතරක් නෙමෙයි. බීල ඉවර වෙලා කැම කන ගමන් දාගන්න ෂොට් එක එහෙමත් නැත්නම් හොඳටම වෙරි වෙලා ඉන්න වෙලාවක බෝතලේ ඉතුරු වෙලා තියෙන ටික ඉවර කරන්න දාගන්න එක. ඔය වගේ හොඳට බීලා ඉන්න වෙලාවක අන්තිමට බොන බීම වීදුරුව.

ඔය ගොඩක් වෙලාවට මේස උඩ ඉතුරු කරලා යන්නේ ඔය අන්තිම ෂොට් එක බීගන්න බැරි උනාම තමා. ඒකත් බීල කෙලින් ඉන්න අය නැතුවම නෙමෙයි. මේ ලඟදි බෝතලයක් බීපු දෙන්නෙක්ව වට්ටන්න හිතාගෙන තව 100ක් ගෙන්නත් දුන්න මෙන්න මුන් දෙන්න තව 100ක් ඉල්ලුවා ඉතින් තවත් දුන්නත් එච්චර නිසා අපි වැඩේ අතැරලා දැම්මා. ඔය අන්තිම ෂොට් එක නොබී ඉන්න පුලුවන් නම් ගොඩක් අයට ඒ වෙනකන් බීපු සේරම ආපහු නොදා තියා ගන්න පුළුවන් කමක් ලැබෙනවා ඒත් ගොඩක් අයට ඒක කරන්න බැහැ අන්තිම ෂොට් එකත් දාගන්නවම තමා.

කොච්චර කොහොම උනත් මේ අන්තිම ෂොට් එක නොබී ඉන්න පුළුවන් බොන අයනම් මට හම්බ වෙලා තියෙන්නේ අඩුවෙන්. බීම ඉවර වෙලා නවත්තන එක වෙනම කතාවක් ඒත් තියේනම් අන්තිම ෂොට් එකත් බොනවම තමා.

මට අනික් අය ගැන කෙසේ වෙතත් මන් ගැන සලකද්දි ඇයි මේක බොන්නේ කියලා නම් හිතා ගන්න බැහැ. කලාතුරකින් නම් වෙරි මදි වගේ නිසා බොනවා ඒත් අනික් වෙලාවට. බීම කියන්නේ එහෙම හදිස්සියේ නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ ඒක පැහැදිලි කරන්න බැහැ.

පහුගිය දවසක අනුල ද සිල්වා පරිවර්තනය කල James A. Michener ගේ Sayonara කියන පොතේ සිංහල පරිවර්තනය "ආදරය සමුගනී" කියෙව්වා. කාලෙකට පස්සේ පොතක් බලලා මට ගොඩක් කණගාටුවක් ඇති උනා ඒ කතාවට.

දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ ජපානයට යන ඇමරිකානු සොල්දාදුවන් සහ ඒගොල්ලෝ එක්ක පෙමින් බැඳෙන ජපන් තරුනියන් ගැන තමා කතාව යන්නේ. අවසානයේ ඇමරිකාවේ අභිමානය වෙනුවෙන් එවන් පෙම්වතුන්, විවාහක යුවල් බලහත්කාරයෙන් වෙන කරනවා. ඒවා දරා ගන්න බැරි සමහර පෙම්වතුන් සහ විවාහකයින් සියදිවි නසා ගන්නවා. රටක හෝ කෙනෙක් ගේ අභිමානය වෙනුවෙන් තව කෙනෙක්ට ජීවිතය නැති කරගන්න තැනට වැඩ සිද්ධ කිරීම ඒ රටේ සහ ඒ කරපු කෙනේගේ අභිමානයට කෙසේ වෙතත් ලැජ්ජාවට පත් වෙන්න ඕනේ දෙයක් කියලා මට හිතෙනෙන.

එහෙම තමන්ගේ ආදරය වෙනුවෙන් සියදිවි නසාගත්ත පෙම්වතුන් ගේ ක්‍රියාව සාධාරනයි කියලත් මන් හිතනවා.

දෙවෙනි එක

මම දන්න කියන කෙනෙක් වහ කාලා. දැනටමත් එක තැනක ඉන්න ඔහු අනාගතේ අංශබාගේ හැදෙයි කියලා බයට තමා වස කාලා තියෙන්නේ, එක අතකින් ඔහුගේ උවමනව සාධාරණයි. ඒත් දැන් නොමැරුණු නිසා එයා හිටියටත් වඩා දුක් විඳිනවා. ඊයේ මන් ඔහුව බලන්න රොහලට ගියා දැන් ඉන්න තත්වයට වඩා නම් ඔහු කලින් සිටිය තත්වය යහපත්. වස විස පානය කරනවනම් මැරෙන්නම ප්‍රමානවත් තරම් පානය කරනවා මිසක් නොමැරී ජීවත් උනොත් නම් ජීවිතේ විඳවන්න වෙන්නේ තනියම නෙමෙයි අනික් අයටත් ලොකු කරදරයක් වෙලා.

ලෝකේ සමහර රටවල් නීත්‍යානුකූලව සිය දිවි නසාගන්න ඉඩ දීලා තියෙනවා කියලා මන් අහලා තියෙනවා. ඒත් ඒක ලේසි නැහැ සනීප කරන්න බැරි ලෙඩක් තියෙන බව ඔප්පු කරන්න ඕනේ. ඒ වගේම ඉතා විශාල මුදලක් ගෙවන්නත් ඕනේ. සනීප කරන්න බැරි ලෙඩකුත් එක්ක අනික් අයටත් කරදරයක් වෙවී ජීවත් වෙන එකට වඩා එහෙම කෙනෙක්ට මරණය සහනයක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් මැරෙන්න ඉල්ලනවනම් ඒක සාධාරණ ඉල්ලීමක් කියලා මට හිතෙනෙන.

මටත් සමහර වෙලාවට මැරෙන්න ඕනේ කියලා හිතෙනවා ඒත් ඒකට නම් සාධාරණ හේතුවක් නැහැ ඒක නිසා එහෙම මැරෙන එක නම් එක්තරා විදිහක මෝඩ කමක්.

One | Zero | Zero කියන්නේ "වචන සීයක හිරවුන දිග කතා" අපේ නොදරුවාගේ ළඳරු අදහසක් අනුව අපේ කට්ටිය එකතු වෙලා කරන අළුත් වැඩක් තමා මේක.

දිගම දිග කතාවක් ලියන්න ඕනේ හැබැයි කතාවේ නම ඇරුනම තියෙන්න පුළුවන් වචන සීයක් විතරයි. ලේසියි වගේ පෙනුනට ලේසිමත් නැහැ දිගට දිගට ලියාගෙන යන්න අවසර නැහැනේ හිතේ තියෙන සේරම ටික වචන සීයකට හිර කරන්න එපායෑ.

මුද්‍රිත පොත් ගත්තම නම් කෙටි කතා වලට වඩා නව කතා ජනප්‍රියයි තමා , ඒත් පරිගනකයෙන් බලනකොට නම් දිගට දිගට තියෙන කතා වලට වඩා කෙටි කතා හොඳයි කියලා මන් හිතන්නේ. ගොඩ දෙනෙක් බ්ලොග් බලන්නේ කාර්යාලයේ ඉඳන් නේ එතකොට දිග කතාවක් කියවන්න යන වෙලාවෙන කාලක් වැය කරලා කෙටි කතාවක් කියවන්න පුළුවන් .

ඔයගොල්ලන්ටත් පුළුවන් වචන සීයක කතාවක් ලියන්න, හැබැයි ඒක තමන්ගේම නිර්මාණයක් වෙන්න ඕනේ, අහපු සිදුවීමක් ගැන උනත් කමක් නැහැ ඒත් හමෝම අහපු ඒවා නම් එපා. ප්‍රධානම දේ කතාව වචන සීයක් වෙන එක තමා.

ඔයගොල්ලන්ටත් වචන සීයක කතාවක් එහෙම ලියන්න හිතෙනවනම්, හිත හිතා ඉන්න එපා ලියලා මේකට onezerozerowords[at]gmail[dot]com ඊමේල් කරන්න

http://onezerozerowords.blogspot.com/

ගොඩක් දවසට මන් කන්න යන්නේ එකම කඩේට, ඔය කඩේ ගාව ඉන්නවා මට පෙන්නන බැරි මිනිස්සු තුන් දෙනෙක්. මේ තුන්දෙනා මාත් එක්ක හරිම හොඳට කතා බහ කරනවා ඒ වගේම මට කිසිම වැරැද්දක් කරලා නැහැ ඒත් මේ තුන්දෙනාව මට පෙන්නන්න බැහැ. මේ ගොල්ලෝ කිසිම නීති විරොධී කටයුත්තක යෙදෙන අයවත් කාටවත් කරදර කරන අයවත් නෙමෙයි ඒත් මේයාලගේ රස්සාව තමා බ්‍රොකර් වැඩේ. මන් කලින් දැනගෙන හිටියේ වාහන , ඉඩම් බ්‍රොකර්ලා විතරයි එත් මේ තුන්දෙනාම වගේ ගස් බ්‍රොකර්ලා.

කොහේ හරි හොඳට හැදිලා තියෙන මොනා හරි ගස් ටිකක් තියෙනවනම් ඒක කපලා ලොරිවලට පටවනකම් මේ අයට නින්ද යන්නේ නැද්ද කොහෙද. ඉතින් ඔන්න ඔය මහ අපරාදේ කරන නිසා මයි මට මේ අයව පෙන්නන බැරි. කියන්න හැදුවේ මෙයාලා ගැන නෙමෙයි මේ අය කියන ගල් බේගල් ගැන.

ඕන් දවසක් කියනවා. සිංහල වෙදකමේ තියෙන බලගතු බව ගැන. ඕන් දවසක් හොඳටම අමාරු ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනිච්චලු ගිහින් ඉස්පිරිතාලේ ඉන්න දොස්තර මහත්තුරු ලෙඩා බලා කිව්වලු ලෙඩ මැරිලා කියලා, ඉතින් ඔය වෙලේ ලඟ හිටපු කෙනෙක් කිව්වලු අහවල් දිහෑ ඉන්නවා දක්ෂ වෙද මහත්තයෙක් එයා ගාවට අරන් යමු කියලා ඉතින් ඕන් අර මැරිච්ච මිනිහත් අරන් අර වෙද මහත්තයා ගාවට අරන් ගියාම වෙද මහත්තයා ගුලියක් දුන්නලු අර මල මිනියට පොවන්න ඔන්න ඔය ගුලිය පොවපු ගමන් ලෙඩ නැගිට්ටලු. මන් මේ පාරම්පරික සිංහල වෙදකමට අපහාසයක් කරනවා එහෙම නෙමෙයි ඒත්  මට හිතා ගන්න බැරි මැරිච්ච මිනිහෙක් මරණ සහතිකේ ගන්නේ නැතුව ඉස්පිරිතාලෙන් පිටට අරන් ගියේ කොහොමද කියන එක. අනික මන් අහලා තියෙන විදිහට මල මිනී නිකන් වාහන වල ගෙනියන්න තහනම් ඒවා ගෙනියන්න ඕනේ ඒ සඳහා තියෙන වාහනයක. ඉස්පිරිතාලෙන් මැරුනයි කියපු මිනියක් මෙහෙම අරන් යන එකම වැරැද්දක් ඒත් කොහොම හරි ඒක කරලා මිනිහාට පණත් දුන්නා. ඊටත් වඩා පුදුමේ තමා මැරිච්ච මිනිහෙක්ට බේත් ගුලියක් පොවපු එක. ඒක කොහොම කලාද කියන එක නම් එතන හිටපු කෙනෙක් ගෙන්ම තමා දැන ගන්න වෙන්නේ.

තව දවසක් දැන් සර්පයෙක් කාලා මැරුන කෙනෙක් වලලන්න පාංසකූලේ එහෙම දීලා පෙට්ටිය උස්සන්න කිට්ටුවෙලා එතනට ආව කෙනෙක් කිව්වලු මිනිය බලන්න ඕනේ කියලා එහෙම කියලා. කිව්වලු මෙයා මැරිලා නැහැ එයාට සනීප කරන්න පුළුවන් කියලා ඔන්න බෙහෙත් ගුලියක් පොවලා මැරිච්ච මිනිහා නැගිට්ටුවලු. මේ මිනිස්සු මිනී වලලන්නේ එම්බාම් කරන්නේ නැතුවද එතකොට. මේකට නම් විහිළු කතාවක් තියෙනවා, දවසක් ඔහොම පෙට්ටියේ හිටපු කෙනෙක් සනීප කරන්න පුළුවන් වෙද මහත්තයෙක් ගාවට කිට්ටු උන තරුණයෙක් ඇහුවලු දැන් මේ ලෙඩාට ඔය බෙහෙත් පොවන්න නම් මේ ලෙඩගේ බඩවැල් එහෙම තියෙන්නේ ඕනේ නේද කියලා. වෙද මහත්තයා ඔව් කිව්වම කොල්ල කිව්වලු එහෙනම් මන් ටක් ගාලා මල් ශාලාවට ගිහින් ඒවා අරන් එන්නම් මොකෝ සේරම ඇඟේ ඇතුලේ කෑලි ටික එතන කියලා.

මේ වගේ ටිකක් වයසක පහේ උදවිය ඇස් දෙකෙන් දැක්කා වගේ විශ්වාස කරන්න බැරි කතන්තර හරියට කියනවා, ගොඩක් වෙලාවට මේවායෙන් කාටවත් හානියක් නැහැ ඒ වගේම අහන් ඉන්නත් ආස හිතෙනවා. ඉතින් කොහොම උනත් ඔය කතන්දර කියන්නේ අහන් ඉන්න අයගේ හැටියටනේ ඒ වගේ මේ කන වෙලාවට මට ඇහෙන්න ඕවා කියන්නේ එක්කෝ මේ අය හිතන් ඇති මන් අමු මෝඩයෙක් කියලා වෙන්න ඇති. සමහර විට දැක්කම එහෙම පේනවත් ඇති මගේ හිතේ

ඉස්සර මන් ගාව ජංගම දුරකතනයක් තිබ්බේ නැහැ. ඒ කාලේ කාගෙ හරි දුරකතන අංකයක් දුන්නම ඒක කොහේ හරි ලියා ගන්නවා. ඒ නොම්බරේට දෙතුන් පාරක් කතා කලාම නිකම්ම ඒ නොම්බරේ මතක හිටිනවා ඒ වගේ දැනට අවුරුදු 4 , 5 කට කලින් කට පාඩම් කරපු දුරකතන අංක බොහොමයක් මට තාමත් කට පාඩම් ඒත් මන් ජංගම දුරකතනය පාවිච්චි කරන්න පටන්ගත්තට පස්සේ හම්බ උන එකම එක නොම්බරයක් වත් මට මතක නැහැ. ගොඩක් ඒවා තියෙන්නේ ෆෝන් එකේ විතරයි කොහෙවත් ලියාගෙනත් නැහැ. කොච්චර හරි මන් වැඩියෙන්ම අමතන අංකේ වත් මට මතක නැහැ. කොහේ හරි ගිහින් ෆෝන් එක බැට්රි බැහැපු වෙලාවක කාට හරි ඇමතුමක් ගන්න ඕනේ උනොත් එහෙම ඉවරටම ඉවරයි.

මන් වැඩ කරන්න පටන් ගත්ත තැන නීතියක් වගේ උනා හැමදාම මොනා හරි ඉගෙන ගන්න එක පොතක ලියන එක. ඒකෙන් මට ඒ කාලෙ ඉගෙන ගත්ත දේවල් ගොඩක් තාම මතකින් ලියන්න පුළුවන් ඒත් දැන් සමහර දේවල් තියෙනවා ගූගල් නැත්නම් මට කරගන්න බැහැ කිසිම දෙයක් ගැන හොඳ මතකයක් නැහැ.

තාමත් මට යන්තම් එකයි එකයි දෙකයිවගේ එවා හිතෙන් එකතු කරන්න පුළුවන් ඒත් ඒ වගේ ඒවත් කැල්කියුලේටරයෙන් හදන අය කැල්කියුලේටරය නැති නම් එහෙම එකක් වත් හදා ගන්න බැරි තරමට අසරන වෙන වෙලාවල් තියෙනවා.

ගාමන්ට්වල වැඩකරන ගෑනු ලමයින්ගේ ගාන ලක්ෂ ගානක් වෙන්න ඇති ඒත් මේ අයගෙන් බහුතරයකට සම්පූර්ණ ඇඳුමක් මහන්න පුළුවන් ඇති කියලා මන් නම් හිතන්නේ නැහැ. එයාලා දන්නේ එක කොටසක් මහන්න විතරයි . බොත්තමක්, සක්කුවක්, කොලර් එකක් වගේ.

අපි ගොඩක් වෙලාවට පාස්වර්ඩ් එහෙම මතක තියාගන්න එක මෘදුකාංග වලට පවරනවා අන්තිමේදි අපිට පාස්වර්ඩ්නුත් අමතක වෙලා යනවා. වර්ඩ් වැඩ කරන්නේ නැති වෙලාවක අතින් ඉංග්‍රීසියෙන් ලියුමක් ලියලා දෙන්න කිව්වොත් වචන 10ක අකුරු හරියට ලියා ගන්න පුළුවන් වෙයිද?

මේ වගේ නොයෙක් විදි මගින් අපි අපේ කටයුතු යන්තර වලට පවරල වැඩ පහසු කරගන්නවා එකන් වැඩේ නම් ඉක්මන් වෙනවා ඒ ගමන් ම අපි කම්මැලියො වෙනවා. ඒ යන්තර සූත්‍ර නැතුව මොකුත්ම කරගන්න බැරි තත්වෙට අපිව පත් වෙලා තමා නවතින්නේ.

පාවිච්චි නොකරන අවයව ටික ටික අඩුවෙලා යනවා වගේ තව කාලයක් යනකොට අපි මොලෙත් නැති අය වෙලා නවතීද මන්දා

පහුගිය දවසක කොන්ඩේ කපන්න ගිය වෙලාවක පොඩි ලමයෙකුත් කොන්ඩේ කපන්න ඇවිත් හිටියා, ඒත් ඒකා අපි පොඩි කාලේ වගේ කොන්ඩේ කපන්කොට එක යුද්ධයක් කලේ නම් නැහැ සමහර විට අපේ කාලේ පාවිච්චි කරපු මේ ජාතියේ කොන්ඩේ උගුල්ලන මැෂින් දැන් පාවිච්චි කරන්නේ නැති නිසා වෙන්න ඇති.


ඉස්සර අපි ගිය සැලූන් එකේ මේ වගේ උස පුටුවක් ලමයින්ට තිබ්බත් දැන් නම් එහෙම එකක් නැහැ ලොකු අය ඉන්න පුටුවකම තමා ලමයින්වත් ඉඳවන්නේ.

පොඩි කාලේ කොන්ඩේ කපන එක කොච්චර එපා කරපු කටයුත්තක් වෙලා තිබ්බද කියන්වනම් එදාට ඒ කාලේ තිබ්බ ඉස්තරම්ම කෑමක් වෙච්ච පළතුරු (ජෙලි)යෝගට් එකක් හම්බ වෙනවා කොන්ඩේ කපලා ඉවර උනාම. කොන්ඩේ කපන එක එපාම වෙන්න ලොකු හේතුවක්  උනේ එයාලා කොන්ඩේ කපන්න භාවිතා කරන උපකරන. කොන්ඩේ උගුල්ලන මැෂින් එකයි, අනිවාර්යෙන් බෙල්ල පොඩ්ඩක් කපන හරියට කැපෙන්නේ නැති දැලි පිහියයි වෙන්න ඇති. ගොඩක් වෙලාවට් පාවිච්චි කරන්නෙත් මොට්ට කතුරු. ඒවත් වෙලාවකට කොන්ඩේ කපනවා නෙමෙයි උගුල්ලන්නවා.  ගාස්තුව නම් මට මතක නැහැ මන් හිතන්නේ රුපියල් 10ක් විතර ගන්න ඇති දැන් නම් 60- 150 අතර ගානක් තමා ගන්නේ. ඊට වඩා ලොකු ගනන් 500 - 1000 දීල නම් මන් තාම කොන්ඩේ කපලා නැහැ.

ලංකාවේ අය ගොඩක් පිටරට ගියාම , තමන්ම කොන්ඩේ කපන්න පුරුදු වෙනවා කියලා මන් අහලා තියෙන්නේ. මෙහෙ රුපියල් 100ක් විතර දීල කොන්ඩේ කපල පුරුදු වෙලා එහෙ ගිහින් එක පාර ඩොලර් 10ක් 20 ක් දීලා කොන්ඩේ කපන්න හිත හදා ගන්න බැරුව ඇති.

එදා ඉඳලා අද වෙනකම් සැලූන් වල වෙනස් වෙනස් වෙලා නැති එකම අංගය තම කෙස්කොට පිරිච්ච මාස ගානකින් හෝදලා නැති බෙල්ල වටේ ඔතන සුදු රෙද්ද. මේක නම් පිරිසිදුව තියෙන කිසිම සැලූන් එකක් මට තාම හම්බ වෙලා නැහැ

ඡායරූප 1 මෙතනින්
ඡායාරූප 2 මෙතනින්

මන් හිතන්නේ මන් වැඩියෙනම් ෆිල්ම් බලන්න ඇත්තේ A/L කරන කාලේ වෙන්න ඕනේ . ඒ දවස් වල කොළඹ හැම හෝල් එකකටම වගේ එන ෆිල්ම් බලන්න ගිහින් තියෙනවා. එක දවසක් උදේ 10.30, දවල් 1.30 හවස 3.30 තුනම බැලුවා හෝල් 3ක එදා නම් එපා උනා අන්තිමට.

ලංකාවේ නීතියක් තියෙනවලු ෆිල්ම් හෝල් එකක් කඩන්න තහනම් කියලා මන් නම් ඒකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඉතින් ඔය කඩන්න ඕනේ ෆිල්ම් හෝල් නිකම්ම ගරා වැටෙන්න ඇරලා පස්සේ කඩලා දානවා ගම්පහ ටවුන් එක මැද්දේ තිබ්බ ෆිල්ම් හෝල් එක (ඒකේ නම නම් මතක නැහැ) දැන් එතන නැහැ, තියෙන්නේ ලොකු කඩයක්. ඒ වගේ එකක් තිබ්බා කොළඹ, මට මතක හැටියට නම "එම්පයර්" ද කොහෙද, ඒකත් දැන් එතන නැහැ. ඒක තමා මන් කැමතිම ෆිල්ම් හෝල් එක මොකද තියෙන්නේ ඇතුලක ඒක නිසා කාටවත් අහු වෙනෙන නැහැ ඒකට ගියාට.

දිවුලපිටිය බල්ලපාන හන්දියේ තිබ්බ ෆිල්ම් හෝල් එකක් ඒක්ත් දැන් එතන නැහැ. මිනුවන්ගොඩ අඹගහවත්තේ ෆිල්ම් හෝල් එකක් තිබ්බා. ඒකේ ඉස්කොලෙන් හඳයා බලන්න එක්කන් ගියා එකපාරක්. වාඩි වෙන්න තිබ්බේ දිග බංකු. තිරේ ඇතුලෙන් වහලේ හිල් හිටන් පේන්වා. දැන් ඒක එතන දකින්න නැහැ මන් හිතන්නේ. ගල්කිස්සේ ඕඩිය, වැල්ල වත්තේ රොක්සි, නුගේගොඩ මෙට්‍රො මේ එකක්වත් ආයි යන්න හිතෙන ජාතියේ ෆිල්ම් හෝල් නම් නෙමෙයි. පිටකොටුවේ රීගල් අනික් ඒවාට සාපේක්ශව ටිකක් හොඳයි. රීගල් එකට නම් ටිකක් වැඩිපුර යැවෙනවා.

මන් ගිය ෆිල්ම් හෝල් අතරින් හොඳම එක තමා දෙහිවල "කොන්කෝඩ්" සුවපහසුව අතිනුත් ඉස්තරම්. මන් හිතන්නේ මන් ගිය ගනන් වැඩිම ටිකට් තියෙන්නේ ඒකේ. ඊලඟට "සිනෙසිටි". සිනෙසිටි එකේ තරම් සීට් අතර ඉඩක් වෙන ෆිල්ම් හෝල්වල මන් දැකලා නැහැ. ඊට පස්සේ ඉතින් සැවෝයි , එම් සී එක සහ ලිබර්ටි එක. අනික් ෆිල්ම් හෝල් ගැන කතා කරලා වැඩක් නැහැ. ගිය සවුත්තුම එක තමා ඉස්සර නුගේගොඩ ක්වීන්ලන්ඩ් බැල්කනිය තිබ්බේ ලෑලි සොල්දරයක් හිටගත්තම අපේ ඔළුවේ හෙවනැල්ල තිරේ වැටෙනවා. මාලිගාවත්තේ රූබි එක සහ මරදානේ සෙන්ට්‍රල් ඒ වගේ කසිකබල් ෆිල්ම් හෝල් . මේවට ඉතින් ඉස්කොලෙ යනකාලේ ගියා මිසක් ඊට පස්සේ නම් ගිහින් නැහැ. කොම්පඤ්ඤවීදියේ රියෝ එකත් කබල් ෆිල්ම් හෝල් එකක් තමා.

ගම්පහ ෆිල්ම් හෝල් ගැන කතා කරලා වැඩක් නැහැ තුනක් තියෙනවා තුනම එක වගේ. මුලදි නම් "නයෝමි" එක හොඳට තිබ්බ ඒත් දැන් ඒකත් ගන්න දෙයක් නැහැ. "පබ්ලික් හෝල්" එක ඊඒපී එකෙන් ගත්තට පස්සේ ටිකක් හොඳට තියෙනවලු ඒත් මන් කාලෙකින් ගිහින් නැහැ. අනික් එක තමා මේඛලා. ගම්පහ ඕනේ තරම් ටියුෂන් කඩ තියෙන නිසා කළුවරයි ඉඳගන්න තැනකුයි තියෙනවනම් ෆිල්ම් හෝල් එකකට වැඩිත් එක්ක. ඒක නිසා මේවා කවදාවත්හදන්නේ නම් නැහැ.

ගම්පහයි කොළඹයි ඇරුනම මන් ෆිල්ම් බලලා තියෙන්නේ රත්නපුරේ  විතරයි ඒ ගොඩ කාලෙකට කලින් ජෝති රත්නපුර කියන එකේ වෙන්න ඕනේ එක පාරක් රන්දෙනිගල සිංහයා බැලුවා, කාලෙකට කලින් නිසා ෆිල්ම් හෝල් එක ගැන මතක නැහැ. මහරගම අනූෂා එකේ විරාගය බැලුවා, දසක දෙකකට විතර කලින් පටන් ගත්ත වෙලේ සහ ඉවර එනකොට විතරක් ඇහැරලා හිටපු නිසා ෆිල්ම් හෝල් එක ගැන කිසිම මතකයක් නැහැ.
දැන් සැවෝයි එක හොඳ උනාට ඒකාලේ ඒකත් චාටර්. එකට ඒ කාලේ එන්නෙම ලමා චිත්‍රපටි විතරයි ඒක නිසා මාසෙකට සැරයක් නම් සැවෝයි එකට යනවම තමා.

සැවොයි එකේ ඉස්සරහ ලස්සනට තිබ්බට මොකද සිනෙසිටි එකේ ඉස්සරහ හරියට අධි ආරක්ෂිත කලාපෙකට යන තැනක් වගේ, කටු කම්බි ගහලා යකඩ වැටවල් ගහලා. ගොඩක් ජනප්‍රිය දෙමල ෆිල්ම් පෙන්නවන් ෆිල්ම් හෝල් ඒ වගේ තමා. ඒ ඇරුනම නවීකරනය කරන්න කලින් දෙහිවල කොන්කෝඩ් එකෙත් වීරයා ඉන්න දර්ශන යනකොට තිරය වටේට ලයිට් පත්තු වෙනවා. දැනුත් ඒක තියෙනවද මට මතක නැහැ. සිංහල ෆිල්ම් පෙන්නවන් ඒවායේ මේ වගේ ඒවා දකින්න නැහැ.

මේ වගේ කසිකබල් ෆිල්ම් හෝල් එක්ක ලංකාවේ සිනමාවක් ඉතුරු වෙලා තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ මොකද හොඳ ෆිල්ම් හෝල් සේරගේම වගේ පෙන්නන්නේ අපේ චිත්‍රපටි නොවන නිසා.

1992 දි සින්ග්ලංකා ලේබලෙයෙන් "කාලෝචිත ගී" කියල කාලෝ ෆොන්සේකාගේ ගීත එකතුවක් තිබ්බ ඒ කාලේ ඉඳලම දැන් අවුරුදු 18ක් විතර තාමත් මන් අසාවෙන් අහන සිංදු එකතුවක් තමා මේක. ඒ කැසට් එකේ සිංදු ටිකත් එක්ක තව අලුත් සිංදු කීපයක් එකතුවෙලා "රත්තරන් දුවේ" කියලා සීඩී එකක් ඊට පස්සේ නිකුත් උනා. කැසට් එකනම් දැන් අහන්න විදිහක් නැහැ ඒක නිසා දැන් නම් සීඩී එක තමා ඇහෙන්නේ.


කාලයක් එෆ් එම් නාලිකා වල පට්ට ගහපු දැන් මගුල් ගෙවල් හැම එකම වගේ ජෝඩුව පිටත් වෙලා යනකොට දාන රොහන වීරසිංහ එක්ක නන්දා මාලනී කියන "රත්තන් දුවේ.." සිංදුවත් සුනිල් එදිරිසිංහ ගේ "රුදුරු තුරු වදුලේ..." කියන සිංදුවත් මේකේ තියෙනවා. ඒ ඇරුනම අමරදේව කියන "සම්බුද්ධ රාජ..." එඩ්වඩ් ජයක්කොඩිගේ "පදාර්ථයට පන කවා....",  "ආසිරි වන්න ආයුබෝවන්න.." රෝහන වීරසිංහ, "ජීවිත ගමනේ..." ඉන්ද්‍රාණි පෙරේරා, "පෙම් සිනා...." වික්ටර් රත්නායක කියන සිංදු ටිකට මන් වැඩියෙන් කැමතියි මේ අතුරිනුත් "සම්බුද්ධ රාජ.." සහ "පෙම් සිනා.." කියන දෙකට තමා මන් වඩාත්ම ආස.

දැන් තියෙන සිංදු ගොඩක් දෙතුන් පාරක් ඇහුවට පස්සේ අහන එක එපා වෙනවනේ ඒත් මේ සිංදු නම් මට තාම නම් අහලා එපා වෙලා නැහ. ආයි ආයි අහන්න හිතෙනවා.

මේකේ සිංදුවල mp3 නම් මට හම්බ වෙලා නැහැ
මේකේ මිල රුපියල් 350

අපේ දුකාත් ලියලා තියෙනවා දැක්ක සිඩී එකක් ගැන මේ ලඟදි , ඒකත් කියවලා බලන්නකෝ.

එක එක වයසේදි මිනිස්සු එක එක ප්‍රමානෙන් බොනවා. සමහරු හැමදාම එකම ප්‍රමානේ බොනවා ඒත් ගොඩ දෙනෙක්ට එහෙම බොන්න වෙන්නේ නැහැ. අනික තනිකඩ කාලේ බොන ප්‍රමානෙ බැන්දහම බොන්න වෙන්නෙත් නැහැ. වයස්ට ගියාම තවත් අඩු වෙනවා. එක්කෝ වැඩි වෙනවා. පොඩි ලමයි ඉන්නවනම්, සමහර වෙලාවට එයාලා නිසත් බීම සීමා වෙනවා. අපේ අයිය කෙනෙක් ඉන්නවා එයාට සිගරට් බොන එක සෑහෙන්න අඩු කරන්න උනා එයාගේ පුතා නිසා.

අපේ අය බොන්න ගියාම ගොඩක් වෙලාවට ආපහු යන්නේ කොහොමද, තමන්ගේ ප්‍රමානේ මොකද්ද, ගෙදර බිරිඳයි ලමයිනුයි ආරක්ෂා කරන්නේ කවුද වගේ එවා හිතන්නේ නැහැ එක පාරක් මගුල් ගෙදරක ගිහින් ඉන්නකොට දැක්කා සැමියා බීලා හොඳටම පොඩි බබෙක් වඩා ගත්ත බිරිඳ ඉන්නවා වමනේ දාන සැමියා ගාවට වෙලා. ඉතින් අර සිහි නැති මිනිහට ඕකේ ගානක් නැහැ ලැජ්ජාව තමන්ගේ බිරිඳට. අනික රෑ වෙලා ගෙදර යන්නේ කොහොමද, වාහනයක ආවත් ඒක එළවන් යන්න ඕනේ. බිරිඳට එළවන්න පුළුවන් උනත් මගදී අනතුරක් උනොත් ඒක ගැන බලන්නේ කවුද.  ඉතින් බොන අය නිසා අපහසුතාවයට පත් වෙන්නේ වටේ ඉන්න අය. යාලුවො එක්ක බොන්න ගිහින් වැඩි උනොත් ගෙදර යන්නේ කොහොමද, කවුද ගිහින් දාන්නේ, වාහනයක් අරන් යන්න අතේ සල්ලි තියෙනවද? එහෙම උනාම යාළුවන්ටත් වදේ. එකෙන් වෙන්නේ ඊලඟ දවසේ බොන්න යන්න කතා කරන්නේ නැති එක තමා.

පවුලේ අය හරි , යාලුවො හරි රෑට නවතින්න බලාගෙන විනොද චාරිකාවක් වගේ ගියාම හිතේ හැටියට බොන්න පුළුවන් වෙනවා ඒත් එතකොටත් හිතන්න වෙනවා කාට හරි ලෙඩක් දුකක් හැදුනොත් ගෙනියන්නේ කොහොමද කියලා. මොකද පිරිමි ටික සේරම බීල නම් ගෑණුයි ලමයිනුයි ගැන බලන්න කෙනෙක් නැති නිසා.

මාත් ඉතින් ලොකුවට කිව්වට දෙතුන් පාරක් අනික් අයට වදයක් වෙලා තියෙනවා හැබැයි යාළුවන්ට නෙමෙයි නෑදෑ අයියලට. මොකෝ මන් වැඩියෙන්ම සෙට් වෙන්නේ පවුලේ අය එක්ක නිසා . ගොඩක් වෙලාවට එහෙම සෙට් වෙන්නෙත් කාගෙ හරි ගෙදරක නිසා එහෙම වැටිලා නිදා ගන්න පුළුවන් ඒ නිසා මට එච්චරම අවුලක් වෙලා නැහැ.

ඇත්තටම මන් හිතන හැටියට නම් බොන්න ඕනෙත් වගකීමකින් කියලයි.

මේකත් නිකමට කියවලා බලන්න ඇත්තටම මට කියන්න ඕනේ උනේ මේ ගැන

මන් හිතන්නේ වෙසක් පෝය කියන්නේ බෞද්ධ අපිට තියෙන වැදගත්ම දිනයක් ඒත් දැන් වෙසක් කියපු ගමන් මතක් වෙන්නේ දන්සැල් ඊට පස්සේ කූඩු, තොරන් සැරසිලි බල්බ් වැල් ඔය අස්සේ මතක් වෙනවා බාර් වහලා කියලත්. වෙසක් වලට හේතුව එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ඉපදීම , බුදුවීම සහ පිරිණිවන් පෑම කියන එක  මගේ නම් මතකයට එනෙනේම නැති තරම් දැන් නම්.

උදේ පාන්දර ඉඳන් කනපැලෙන්න දාන් ටීවී එකේ සද්දේ නිසා නැගිටින්නෙත් මෛත්‍රිය වඩමින්, ටීවී චැනල් සේරමයි රේඩියෝ චැනල්නුයි තරඟෙට වැඩසටහන් විකාශනය කරන්නේ අහපියවු බණ දුවපියව් නිවනට කියන්නා වගේ. මන් කූඩු නම් හදන්නේ නැහැ දන්නේ නැති නිසා ඒත් බල්බ් වැල් ටිකක් නම් දානවා ඒත් දාන්න ඕනේ නිසා මිසක් කිසිම කැමැත්තකින් නම් නෙමෙයි. මොකෝ දැම්ම වගේ නෙමෙයිනේ ගලවන්නත් ඕනෙනේ.

වෙසක් එකට බාර් වහනවා හැබැයි දැන් අපේ අයත් නත්තල් වලට වගේ වෙසක් එකටත් කලින්ම බඩු ගෙනත් තියාගන්නවා. මේ අහල පහල දන්සැලට මන් හැමදාම අධාර හැටියට දෙන්නෙත් බෝතලයක්. දවස් දෙකක් බාර් වහලා තිබ්බත් වෙනදා නොබොන අයත් බොන්න සෙට් වෙන උත්සවයක් තමා වෙසක් කියන්නේ, ඒකනන් මේ පාර දන්සැල පිටි පස්සේ හිටපු මට හොඳටම වැටහුනා. අරින අරින බෝතලයක් සටස් ගාලා ඉවර වෙනවා දැක්කම.

මෙහෙම උත්සවයක් නම් ලෝකේ කොහේවත් නැතුව ඇති, මන් කියන්නේ විනෝද වෙන්න එන අයට මග දිගට බඩ කට පිරෙන්න කෑම බීම බලෙන් දෙන. මිනිස්සු ඇවිදලා ආතල් අරන් කොහෙන් හරි කාල ගෙවල් වලට යනවා.  මාර්ග නීති කියන ඒවා බල්ලට දාලා හූ තියාගෙන යන උන්ට දඬුවම් වෙනුවට බඩ කට පිරෙන්න සංග්‍රහ කරන රටක් වෙන ඇති කියලා මන් නම් හිතන්නේ නැහැ.

ඇත්තටම අපි මේ සමරන්නේ බුදුහාමුදුරුවන්ගේ ඉපදීම , බුදුවීම සහ පිරිණිවන් පෑම නේද !!!!

මන් මේක අහලා තියෙන්නේ ස්වාධීන රූපවාහිනියේ සහ ගුවන් විදුලි සංස්ථාවේ වෙලඳ සේවයේ හරි ලක් හඬේ හරි ස්වදේශීය සේවයේ හරි විතරයි.

මට ලාවට මතක හැටියටනම් මේක කියන්නේ ජයවර්ධන කියලා නම තිබ්බ ටිකක් වයසක ගායකයෙක්. ජනකවියක් කියනවා වගේ සිංදුව කියන්නේ. රුප පෙල තියෙන්නේ ඉර බැහැගෙන යන වෙලාවක ගඟක ඔරුවක් පදින එකක්.

දන්න කෙනෙක් ඉන්නවා නම් මට mp3 එක හරි Youtube එකේ හරි Link එකක් දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා .

සිංදුවේ මට මතක ටික මේකයි

මහියංගනේ රන් කොත වාසනාවන්...
මහවැලි ගඟේ දියවර වාසනාවන්...
තුන්යම දුටුව සිහිනය වාසනාවන්....
බාල නඟෝ නුඹ මට වාසනාවන්.....

ඉරගල නුවර ඉරගල පවතිනා තුරූ....
සඳ ගල නුවර සඳ ගල පවතිනා තුරූ....
අපහද බැඳුනු සෙනෙහස පවතිනා තුරූ....
මේ ගඟ ගලයි දියවර පවතිනා තුරූ.....

(පද නම් හරියටම හරිද දන්නේ නැහැ මට මතක විදිහට තමා ඔය)

මේ පාර නම් මගේ මැරතන් දිවිල්ල හරිම් ප්‍රෝඩාවක් තමා, යන්තම පටන් ගන්නකොට පොඩ්ඩක් දුවලා ආයි ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා එකතු උනා අන්තිම ටිකේ දුවන්න. ගියපාර මන් හිතන්නේ මීට වඩා මන් ලිව්වා. ඒත් මේ පාර විනාඩි 15කට වරක් තියා පැය දෙකකට එක ගානේ වැටෙන්නවත් මන් ලිපි දැම්මේ නැහැ.

කොහොම උනත් මට ඕනේ උනේ මේකට පොඩ්ඩක් සහභාගී වෙන්න විතරයි. ඉතින් මැරතන් එකේ සහභාගී වෙන තරඟ කරුවන්ටත් වඩා වටින අපිට කමෙන්ට් වතුර ගහන පිරිසට මගේ හදපිරි ස්තූතිය පුදකරනවා, අවසාන ලිපියෙන්. මොකෝ එයාලා නැතනම් දුවන එකේ කිසි ගතියක් නැහැ. පාරේ මැරත්න දුවන කොට දුවන අයට වඩා ඉන්න පස්සෙන් යන අය දැක්කම "දුවන උන්ට වඩා ඉන්නේ වතුර උස්සන් යන උන්" කියලා හිතුනත් දැන් නම් තේරෙනවා වතුර උස්සන් යන උන් නැත්නම් දුවන්න බැහැ කියලා.

ඉතින් අවසාන වශයෙන් මේ තරඟය සංවිධානය කිරීම ගැන සංවිධායක මණ්ඩලයටත්, ඒකට සහභාගී උන සියලු බ්ලොග් කරුවන්ටත් , කමෙන්ට් දමන්න ඉදිරිපත් උන බ්ලොග් ලියන කියවන අයටත් මගේ උපහාරය!!!!!!

ඕන් එහෙනම් 2010 බ්ලොග් මැරත්න් එකෙන් මන් නවතිනවා.

චියර්ස්ස්ස්ස්ස්ස්!!!!!!!!!!

මේකට සිංහලෙන් කියන නම දන්නේ නැති නිසා මට පිංතූරයක් හොයාගන්න බැරි උනා. මන් මේ කියන්න යන්නේ අර පාර අයිනේ එල්ලලා තියෙන රෝස පාට ලොකු බෝල වගේ තියෙන බොම්බයි මොටයි ගැන නෙමෙයි පුන්චි සීනුවක් සද්ද කර කර පොඩි පෙට්ටියක් අස්සේ බොම්බයි මොටයි දාගෙන යන වයසක සීයලා විකුනන බොම්බයි මොටයි ගැන.

ඉස්සර ඔය සද්දේ ආවම පාරට දුවලා එන්නේ. දැන් වගේ කලාතුරකින් නෙමෙයි නිතරම වගේ ඔය බොම්බයි මොටයි විකුනන අය දකින්න හම්බ උනා. ඒ කාලේ නම් රුපියලක දෙකක ගත්ත ප්‍රමානේ අද නම් දෙන්නේ රුපියල් 20කට. ඒත් රස නම් ඒ කාලේ වගේම තියෙනවා.

ඒ කාලේ නම් ඕවා කන්න වැඩිය ගෙදරන් දුන්නේ නැහැ. දැන් නම් ඉතින් තහංචි දාන්න කෙනෙක් නැති නිසා දැක්ක වෙලාවට අරන් කනවා. මේ බොම්බයි මොටයි හදන විදිහ ගැන නම් මට කිසිම අදහසක් නැහැ ඒත් ඒ කාලේ අපි කන එක වලක්වන්න අපිට කියන්නේ ඕවා හදන්නේ ඔය ඒවා විකුනන අයගේ රැවුලේ කෙලගාලා කියලා. මොකද ගොඩක් වෙලාවට බොම්බයි මොටයි වික්කේ දිග රැවුලක් තියෙන මුස්ලිම් ජාතිකයෝ නිසා.

ගොඩක් කෑවොත්නම් දියවැඩියාව ඉස්තීරවම හදාගන්න පුළුවන් බොම්බයි මොටයි කාලම නැත්නම් පොඩ්ඩක් අරන් කාලා බලන්න

මන් වැඩියම ඉංග්‍රීසි සිංදු අහන කෙනෙක් නෙමෙයි ඒත් ඉතින් ඉඳලා හිටලා අහන්නේ නැත්තේම නැහැ.  50 Cent ගේ In Da Club වගේ සිංදුවක් අහලා නටන අය මේකේ මේ තියෙන වචන ටිකම සුද්ද සිංහලෙන්ම කිව්වොත් මොනා කියයිද අපෝ මොන ජරාවක්ද, හරිම Third Class Song එකක් වගේ දේවල් ගොඩක් කියයි. මීට වඩා බරපතල විදිහට ඉංග්‍රීසි කුණුහරප පිරිච්ච සිංදු ඇති ඒත් මන් වැඩිය අහන්නේ නැති නිසා ඒවා ගැන වැඩිය දන්නේ නැහැ.

මට තියෙන ගැටළුව තමා කුණුහරප කියන ඒවා කුණුහරප වෙන්නේ ඒවා සිංහල උනාම විතරද කියන එක. එකපාරක් අපේ නෑදෑ ගෙදරක ආපු මල්ලි කෙනෙක් ආපු වෙලේ ඉඳන් කියන හැම වචනයක්ම කිව්වේ එෆ් අකුරෙන් පටන් ගත්ත විශේෂන පදයක් මුලට දාලා. එතන හිටපු ලංකාවේ කාටවත් ඒක ගානක් උනේ නැහැ ඒත් එයා ගියාට පස්සේ පිට රට ඉඳලා ආපු මගේ ඥාති සොහොයුරියක් විතරක් කීවේ ඇය ඔහුට පොඩ්ඩක්වත් කැමති නැති බව සහ එයට හේතුව වුයේ ඔහු කුණුහරප කීමත් බවය. මට මගේ ජීවිතේ ඉංග්‍රීසි කුණුහරප , කුණුහරප ලෙස සැලකූ කෙනෙක් මුන ගැසුනු එකම අවස්ථාව ඒක විතරමය.

අපේ අය ගොඩ දෙනෙක් බොහොම ප්‍රසිද්ධියේ බෝහොම උජාරුවෙන් ඉංග්‍රීසියෙන් කුණුහරප කියන්වා ඒත් බැරි වෙලා හරි සිංහලෙන් ඔය වචනයක් කිව්වොත්, කියපු එකා දිහා බලන්නේ මහා අපරාධයක් කරපු කෙනෙක් දිහා බලනවා වගේ.

මන් හිතන විදිහටනම් කුණුහරප කියන ඒවා මොන බාසවෙන් කිව්වත් ඒවා කියන කෙනා ඒ ගැන ආඩම්බරයට නෙමෙයි ලැජ්ජාවට පත් වෙන්න ඕනේ. මොකද කුණුහරප කියන්නේ කුණුහරප වලට නිසා

හරිනම් ඉතින් මේක දාන්න ඕනේ අපේ කමු බොමු එකට ඒත් ඉතින් ඒකේ කෑම ගැන ලියන්න වෙනම පිරිසක් ඉන්න නිසා මන් ඔය වැඩියම නොදන්න දේ ගැන ලියන එක හරි නැහැනේ ඒක නිසා මන් මේ මැරතන් එකට පාන් ගැන ලියනවා.

 
පාන් කියන්නේ ලෝකේ කෙසේ වෙතත් මන් හිතන්නේ ලංකාවේ අපේ නම් ජනප්‍රියම කෑමක්. පානුයි පරිප්පුයි නැති හෝටලයක් තියෙනවනම් ඒක හෝටලයක්ද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න වෙනවා. ඒ තරමටම මිනිස්සුන්ට පාන් කියන එක නැතුවම බැරි කෑමක්. පහුගිය කාලේ පාන් වෙනුවට බත් කන එක මිනිස්සු අතර ජනප්‍රිය කරන්න නොයෙකුත් වැඩ සටහන් කලත්, පාන් වල ඇති අගුණ ගැන කොච්චර කිව්වත් අපේ අය ගොඩ දෙනෙක්ගේ ප්‍රධාන ආහාරයක් වෙන්නේ පාන්.

මන් දන්න පාන් ජාති නම් තියෙන්නේ දෙක තුනයි. අච්චු පාන් , තැටි පාන් , රෝස් පාන් සහ සැන්විච් පාන්. ඔයටික ඇරෙන්න විවිධ නම් වලින් තියෙන විවිධ පාන් ජාති අපේ කඩවල් වල තියෙනවා. ඒත් ගොඩක් ඒවා මන් කාල නම් නැහැ. මන් වැඩියෙන්ම කන්න කැමති නම් තැටි පාන්. කොච්චරද කියෙනවනම් සතියේ දවස් පහේම උදේ තේ බොන්නේ තැටි පාන් බාගයක් කලවම් හොද්දකුත් එක්ක දෙසා බාලා තමා.

මන් ජීවිතේ රසම පාන් ජාතිය කෑවේ කොහෙන්ද කියලා මටනම් මතක නැහැ. ඉස්සර නම් අපි පාන් ගත්තේ හැමදාම උදේට ලොකු පෙට්ටියක පාන් දාගෙන බයිසිකලයක් පැදගෙන එන පාන් කාරයාගෙන්, ඒත් දැන් නම් පාන් අපි කඩෙට ගිහින් ගන්නවා. සමහර පැති වල නම් ත්‍රීවිලර් වලින් පාන් ලඟටම ගෙනත් දෙනවා. ඒත් අපේ පැත්තේ නම් තාම එහෙම එකක් දකින්න නැහැ.

පාන්පිටි වලින් හදන් පාන් අගුණයි කියලා හාල් පිටි වලින්, කුරක්කන් පිටි කලවම් කරපු පාන් පිටිවලින් හදන් පාන් ජාතිත් නැත්තේම නැහැ, ඒත් මන් හිතන්නේ ගොඩක්ම ජනප්‍රිය අපේ ශරීරයට අහිතකරයි කියන පාන් පිටිවලින්ම හදන් පාන් ම තමා. පාන් පිටි කිව්වට එකෙන් පාන් හදනව මිසක් පාන් පිටි කරලා ඒ පිටි හදනවා එහෙම නෙමෙයි ඕන්

පාන් කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියනවා නම් අපේ රටේ මැතිවරණ වේදිකාවල හිටන් කතා බහ වෙන දෙයක්, පාන් ගෙඩියේ බර සහ මිල එක එක ආකාරයෙන් වෙනස් උනාට අපේ අයගේ පාන් කෑම නම් එහෙම වෙනස් වෙලා නැහැ කියලා තමා මට නම් හිතෙන්නේ

තාම මට බයිට් එකට පාන් කන්න නම් බැරි උනා ඒත් එක පාරක් රෝස් පාන් ගෙඩියක් නම් බයිට් එකට කෑවා. එකත් නරකම නැහැ.

ඡායාරූපය මෙතනින්

මැරත්න් තියා මොක උනත් ඉතින් පටන් ගන්න ඕනේ කැමතිම මාතෘකාවෙන්නේ ඔන්න ඉතින් පටන් ගත්තා

මේ තියෙන්නේ මගේ ජීවිතේ මන් බීපු ඉස්තරම්ම අරක්කු ජාතිය. ආයි දෙකක් නැහැ මීට වඩා හොඳ අරක්කු එකක් නම් මන් හිතන්නේ ලංකාවේ නම් නැහැ. ගාන නම් ඉතින් දරන්න පුළුවන් එකක් නෙමෙයි ඒත් ඉතින් ජීවිතේට එක පාරක් හරි රස බලන්න ඕනේ ජාතියේ එකක් මේක.

මිල රුපියල් 2700.00 ඇල්කොහොල් 40% මිලි ලීටර් 700යි මේ තමයි මෙන්ඩිස් අවුරුදු 18ක් පරන අරක්කු එක.

මගේ මචං කාරයා ආයිත් පොඩි නිවාඩුවකට පහුගිය දොහේ ලංකාවට සැපත් උනා. ඉතින් එයාගේ නිවාඩුවෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න නම් හම්බ උනේ නැහැ මට නිවාඩු නැති නිසා. ඒත් හිටපු සති අන්ත දෙකම මුන ගැහෙන්න අපි අතපසු කලේ නම නැහැ.

වෙනද වගේම ඒකා මෙරටට සැපත් වෙනකොට තීරු බදු රහිතව රැගෙන ආපු, මන් මීට කලින් බීල තිබ්බේ නැති Absolut Tropics සහ Absolut Pears බෝතල් දෙකම ඉක්මනින් අවසන් උනේ අපිට තව බොන්න දවසක්ම ඉතුරු වෙලා තියෙද්දි.

ඉතින් මක් කරන්නද හැමදාම බොන ජාති පැත්තක දාල අපි දෙන්න හිතුවා අළුත් යමක් බොන්න ඕනේ කියලා. ඉතින් අපි දෙහිවල ආර්පිකෝ එකට ගිහින් ඇහුවා මෙන්ඩිස් ගැන. එහෙම අහලා දැනට විකුනන්න තියෙන ගනන්ම අරක්කු බෝතලෙන් ඉතුරුවෙලා තිබ්බ එකම බෝතලේ උස්සන් ගෙදර ආවා. ඇවිත් හරියට අළුතෙන් මනමාලියක් එක්ක ආවා වගේ හැමතැනම තිය තියා ෆොටෝ ගැහුවා ඒත් මන් ගහපු ෆොටෝ වලින් දෙකක් ඇරෙන්න අනික් සේරම ෆොටෝ ගහලා තියෙන්නේ බෝතලේ පිටිපස්සේ ලේබල් එකක්.(බෝතලේ දැකලම වෙරි). අපි දෙන්න බෝතලේ ෆොටො ගහනවා, වීඩියෝ කරනවා දැකලා අපේ අක්කා අහපි ඔය දෙන්නට පිස්සු හැදීගෙන එනවද කියලා. (පිස්සු නොහැදී තියෙයියෑ මේක දැක්කම). ඉතින් ඕක කඩලා අමුවෙන්ම ටිකක් බීලා බැලුවා. ෂා..... අමෘතේ වගේ (ඔය ඒ කාලේ අමෘතේ කියන්න ඇත්තේ පරන මත්පැන් ජාතියකට තමා ) ටිකක් සැරයි ඒත් මාර රසයි.  අමෘතේ උනත් බොනකොට පහසුවෙන් බොන්න ඕනේ නිසා අයිස් සහ ජින්ජ ඒල් දාගෙන තමා බිව්වේ ඊට පස්සේ. නියම බීම. ඕන් දවල් බාගයක් ඉවර කලා ඊට පස්සේ රෑ අනික් බාගෙත් ගහලා බෝතලේ (බෝතලේ කිව්වට අනික් බෝතල් වලට වඩා මිලි ලීටර 50ක් අඩුයි ඒත් සැර වැඩියි . අනික් අරක්කු ඇල්කොහොල් 33%-35% වගේ මේක 40% )ඉවර කලා අපි දෙන්නා එක්ක.

ඔන්න ඉතින් බීලා නිදා ගෙන පහුවදා නැගිට්ට කියමුකෝ මාර වැඩක්. කලින්දා බිව්වද කියලවත් නැහැ. මීට කලිනුත් අපි දෙන්නා ඔය වගේ එක එක ජාති දිවා රෑ පානය කරලා තියෙනවා ඒත් ඒ හැමදාම පහුවදා 10 විතර වෙනකම් කලින් දවසේ බීපුවා වැඩ කරනවා ඒත් මේක කොච්චර හොඳද කියන්වනම් බීපු වගක් වත් නැහැ.

මන් නම් හිතන්නේ මේක තමා ලංකාවේ තියෙන අපේ බීම ජාති වලින් හොඳම එක. ඉතින් කවද හරි රස බලන්න.

මුලින්ම මේ වගේ තරඟයක් සංවිධානය කරනවට සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයට අපේ ස්තූතිය පුද කරනවා. මන් හිතන්නේ මීට කලින් මැරතන් තරඟ කීපයක් තිබ්බත් මන් සහභාගී උනේ එකකට විතරයි.

ඒක බොහොම රසවත් අත්දැකීමක් උනා. ඒ පාර මැරතන් එකේදි අළුතෙන් බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් එක්ක යාළු මිත්‍රකම් ඇතිකරගන්නත් හම්බ උනා. අපේ තිලිණ බුවා එක්ක ඒ පටන්ගත්ත යාළුකම අදත් අපි අතර තියෙන්නේ එදා මැරතන් එකට මාත් සහභාගි උන නිසයි.

ඉතින් මේ දවස් වල බක්මහ අකුණුත් එක්ක තියෙන අයහපත් කාලගුණයයි, අවුරුදු ඉවර උනත් තාම ගිහින් ඉවර නැති අවුරුදු ගමන් ටිකයි එක්ක දුවන්න ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියල දෙගිඩියාවකින් ඉඳලා අන්තිමේ දුවන්න පුළුවන් බව දැකලා ඉල්ලුම් කරන්න එනකොට වෙලාව පැනලා. ඒත් ඉතින් ඔන්න ඔහේ ඉල්ලුම් කරලා යාන්තම් දුවන්න සෙට් උනා. 

එහෙනම් ඕන් පටාන් ගත්තා දුවමු දුවමූ......

ඉස්කොලේ යන කාලේ මන් කැමතිම විෂය තමා මේක. මේ විෂය උගන්නන කාල පරිච්ඡේද වලට තමා මන් කැමතිම. මන් විතරක් නෙමෙයි අපේ පන්තියේ ඉන්න ලමයි හැමෝම කැමතිම විෂය තමා මේක. පොඩි අවුලක් තියෙන්නේ අනික් විෂය වගේ මේක සතියට නිෂ්චිත කාලපරිච්ඡේද ගානක් උගන්නනේ නැහැ . සමහර සති වල ඇත්තේම නැහැ සමහර සතිවල දෙක තුන තියෙනවා. ඉතින් අපි නියමිත විදිහටම වැඩ කරන්නේ ඔය විෂය තියෙන කාලපරිච්ඡේද වලදි විතරයි. මන් මේ කියන විෂය උගන්න්න කාලපරිච්ඡේද වලට කියන්නේ ෆ්‍රී පීරියඩ් කියලා නැත්නම් කෙටියෙන් නම් ඕෆ් එකක් කියලත් කියනවා.

ඔය විෂය තියෙන වෙලාවට අපි හරිම ප්‍රයෝජනවත් විදිහට කාලය ගෙවන්න විවිදාකාරයේ ක්‍රියාකරකම් වල නියැලෙනවා. එවායින් අපේ බුද්ධිමට්ටම සෑහෙන්න ඉහල ගියා ඒ කාලේ. එකක් තමා පෑන් ගැහීම. දෙදෙනෙක් හෝ වැඩිපිරිසක් සහභාගී වී ප්‍රතිවාදියාගේ පෑන මේසයෙන් බිමට දැමීම  තමා තරඟය. මුලින් මුලින් නිකම් පෑන විතරක් පාවිච්චි කලත් පස්සේ පස්සේ යකඩ ඇන වැනි බර දේවල් හයි කරපු පෑන් පවා භාවිතා උනා. මන් ගාවත් පරාල ඇණ දෙක තුනක් හයිකරපු පෑනක් තිබ්බ.

තව එකක් තමා බුක් ක්‍රිකට්. ආණ්ඩුවෙන් නිකන් දෙන අච්චුපොතෙන් වඩාත් වැඩි ප්‍රයෝජනක් ගත්තා මේක නිසා. පොත ඉරට්ටේ අංක තිබෙන ලෙස පෙරලා , අහඹු ලෙස පිටුපෙරලීම තමා තරඟය. සීමිත පන්දුවාර, ටෙස්ට් තරඟ ඕනෑම එකක් ක්‍රීඩා කල හැකි අතර වර්ෂාවෙන බාදාවක් නැත.

කොටු පිරවීම (කොටු පැනීම නම් අල්ල්පු වත්තේ තිබ්බ බාලිකා පාසැලේ සිසුවියන් සමග සුහදව සිදුකරන ලදී) මේක නම් පසු කාලේක පර්ගනක ක්‍රීඩවක් ලෙසත් තියෙනවා මන් දැක්කා. තව චිත්‍රපටිවල නමේ මුල අකුරයි අග අකුරයි ගහලා අනික් අකුරු ප්‍රතිවාදියාට අනුමානය කර ලකුනු ලබාදෙන එකක් කලා ඒකට කියපු නම නම් මට මතක නැහැ. ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු නගර..... ඔන්න ඔය වගේ එකක් කලා. මේක ගෙදරදිත් කලා. මේක වැඩිහිටියොත් කරන එකක් කියලා මන් අහලා තියෙනවා. එක්කෙනෙක් අකුරක් යෝජනා කර ඒ අකුරෙන් අනික් අය ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු නගර වල නම් ලියන එක තමා තරඟේ. තව ඕකට එළවලු, ඇඳුම්, චිත්‍රපටි වාහන වගේ ගොඩක් ජාති එකතු කරගන්නවා. විභාගයක් ලියනකොටදි වත් නැති තරම් ලඟ ඉන්න එකාගෙන් හංග ගෙන තමා අපේ එකේ ලියන්නේ.

කලාතුරකින් කෙනෙක් තමා ඔය විෂය තියෙන වෙලාවට පංති කට්කරලා පුස්ථකාලෙට යනවා වගේ වැඩකට නැති වැඩක් කරන්නේ. අපිටත් එක්කම අල්ලපු පංතියටත් මේ විෂයම තිබ්බොත් එහෙම කලු ලෑල්ලේ ලියන්න තියෙන හුණුකූරු ටික ඉවර වෙනකම් පංතිදෙක අතර පොඩි පහේ යුද්ධ උනත් දකින්න නැතුවාමත් නොවේ. ඉඳලා හිටලා ගීතයෙන් ගීතය තරඟ තියන්න ගිහින් අල්ලපු පංතියේ ගුරුවරයා ඇවිත් අපිට අනාගතේ වේදිකාවේ ඉන්න පුරුදු කරවන්න හිතාගෙන මේසේ උඩට වෙලා ඉන්නත් අවස්ථාවත් සලසා දෙනවා.

ඉඳලා හිටලා අපේ මේ කැමතිම විෂය ඉගෙන ගන්නත් බාධා ඇති නොවෙනවම නෙමෙයි. කොහේවත් යන අපි වගේම නිකන් ඉන්න ගුරුවරයෙක් ඇවිත් අපිට වෙනම විෂයක් උගන්නන්න යෑම නිසා සමහර දවස් වලටනම් අපිට අපේ ප්‍රියතම විෂය තියෙන කාලපරිච්ඡේද වලට සහභාගී වීමේ අවස්තා නැති වෙලා යනවා

මම මේ අපේ ධන රින ඇමතිතුමා වගේ ආර්ථික විද්‍යාව ගැන කතා කරන්න  යනවා එහෙම නෙමෙයි ඒත් මගේ සිහිනය සැබෑකරගන්න ණයක් ගන්න ගියාම සහ පහුගිය දවසක කියවන්න ලැබුන පොතක් නිසා හිතුන දේවල් ටිකක් මේ.

පොත ගැන විස්තරේ පහල තියෙනවා. මන් හිතන්නේ අපේ රටේ ඔය ආර්ථිකේට සම්බඳ ලොකු ලොකු තනතුරුවල ඉන්න අය ටිකක් පෙරලලාවත් බැලුවොත් හොඳයි මේ පොත.

අපේ රටේ බැංකුවකින් ණයක් එහෙම ගන්න යනවනම් අපි ගන්න යන මුදල වගේ දෙගුණයක්වත් වත්කම් අපිගාව තියෙන්න ඕනේ එහෙම තිබිලත් ගන්න ණය වගේ දෙතුන් ගුණයක් අපි ආපහු ගෙවන්නත් ඕනේ. අතේ මිටේ සල්ලි නැතිකෙනෙක්ට නම බැංකුවකින් ණයක් ගන්නවා කියන එක හීනයක්. හම්බ කරපුවා ඉතිරි නොකිරීමේ වරද නිසා මටත් ඉතින් සිහින සැබෑකරගන්න නම් පොඩි පහේ ණයක්ගන්න උනා. ණයක් ගන්න ඕනෙ කරන කිසිම සුදුසුකම්ක් මට නැති නිසා ඊට වඩා වැඩිමුදලක් ඇපේට තියලා තමා ණය ගන්න උනේ. අන්තිමේ ඇපමුදල තියෙනවා කියෙලා හිතුන නිසාත්, මන් හරියට ණය ගෙව්වත් ඒක එකතු කරන එක නම් නොකරන නිසාත් ඒ වෙලාවේ නම් ඒක හොඳයි කියලා හිතුනත් දැන් ගෙවනවා ගෙවනවා ඒත් ණයෙන් අඩුවෙන්නේ ඉතාම සුළු කොටසක් වගේ පේන කොටනම් කරගත්ත මෝඩ කමක් කියලා නොහිතෙනවාම නෙමෙයි.

බංගලිදේශයේ ග්‍රාමින් බැංකුවනම් ණයදෙන්නේ දුප්පත් අයට කිසිම ඇපයක් නැතුව තමා මේ ණය මුදල් ඔවුන් දෙනවා කියන්නේ. පොතේ තියෙන විදිහටනම් ණය ආපහු ගෙවන ප්‍රතිශතයත් ඉහල අගයක තියෙනවා. අපේ උනත් බැංකු වලට වැඩියෙන්ම පොලු තියෙලා තියෙන්නේ සල්ලිකාරයෝ මිසක් දුප්පත් අය නෙමෙයි දුප්පත් මිනිහෙක් පොල්ලක් තිබ්බොත් ඒ මිනිහාව එල්ලයි ඒත් කෝටිපතියෙක් පොල්ලක් තිබ්බොත් එයාට තව ණයක් දෙයි.

ලෝක බැංකුව වගේ ආයතන දුප්පත්කම තුරන් කරන්න කියලා දුප්පත් රටවල් වල ඉන්න සල්ලි තියෙන අය තවත් පොහොසත් කරනවා වගේ වැඩ ගැන මේ පොතේ හොඳ විස්තරයක් තියෙනවා. අනික මේ ග්‍රාමින් බැංකුව වැඩිපුරම ණය දෙන්නේ කාන්තාවන්ටලු. මොකද එයාලා පිරිමින්ට වඩා වගකීමකින් ණය මුදල පාවිච්චි කරනවා වගේ හේතු නිසා.

පොහොසත් අයට කෝටි ගනන් ණය ඕනේ උනාට දුප්පත් අයට ණය ඕනේ ඉතාම සූළු මුදලක් අනික ඔවුන් එය ගෙවන්නෙත් සති පතා වාරික වලින් එතකොට ආපසු ගෙවන ප්‍රමානයත් පොඩි ගානක් වෙන නිසා ණය මුදල ඉබේම පියවෙන බවක් තියෙනවාලු. මේ ක්‍රමේ අපේ රටේ අයත් කරනව කියලා මට අහන්න ලැබුනා. ණයට රුපියල් පන්දාහක් දුන්නම් දවසට සීය ගානේ දවස් හැටකින් ගෙවන්න ඕනේලු. ඒ විදිහට ණය දෙන අය ගොඩක් ඉන්නවා කියලා මට අහන්න ලැබුනා.

අපේ රටේත් ග්‍රාමීන් බැංකුවක් තියෙනවා. නමේ අග ටික ග්‍රාමින් උනාට මුල ටික ලොකුම ලොකු මුදල් වංචාවල් වලට සම්බන්ද නිසා මට නම් ඒ බැංකුව ගැන කිසිම විස්වාසයක් නැහැ. කොහොම උනත් පොතේ කියැවෙන හැටියට ඇත්තටම දුපත්කම නැති කරන්න නම් ඔය ලොකු ලොකු කර්මාන්ත ආරම්භ කරනවාට වඩා දුප්පත් අයට ණය දීලා ඒ අයව තමන්ගේම කිසියම් ස්වයං රැකියාවකට උනන්දුකරන එක හොඳයි කියලා මටත් හිතුනා

Banker to the Poor
Micro-Lending and the Battle Against World Poverty
by Muhammad Yunus

මුහම්මත් යුනුස්, ඇලන් ජොලිස් සමග
දුප්පතාගේ බැංකුකරු
ග්‍රාමීන් බැංකුවේ කතාන්දරය

පරිවර්තනය සරත් කැල්ලපත
සරසවි ප්‍රකාශනයක්
මිල රුපියල් 650

පොඩිකාලේ ඉස්කොලේ යන්න පටන් ගන්න කොට නම් මොකටද ඉස්කොලේ යන්නේ කියලා කිසිම අවබෝධයක් තිබ්බේ නැහැ. කවුරු හරි ඇහුවාම ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල හැමෝම කියන නිසාද කොහෙද ඇහුවොත් කියන්නේ දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙනවා. කියලා. ඒ කාලේ නම් පරිගණකය කියලා එකක් තියෙනවද කියලවත් දැනගෙන නොහිටපු නිසා කීයටවත් දැන් කරන රස්සාව නම් කරන්න හීන මවපුනැති බව මට 1000%ක් විස්වාසයි.

අනික් අය ගැන කෙසේ වෙතත් මම නම් රස්සාවක් කරන්නේ සල්ලි කීයක් හරි හම්බ කරගන්න. මොකද ඔය මොනා කිව්වත් ජීවත් වෙන්න සල්ලි ඕනේ නිසා.  අපොස උසස් පෙලත් හරියට පාස් උනේ නැති උනාට පස්සේ තමා රස්සවක් කරන එක ඉලක්ක කරගෙන එක එක පාඨමාලා කොරන්න පටන් ගත්තේ. කොහොමින් කොහොම හරි අන්තිමේ මෙතන නැවතිලා ඉන්නවා.

මන් මේ කියන්න හදන්නේ මගේ එදිනෙදා වියහියදම් ගැන මට හිතුන දෙයක්. ගිය අවුරුද්දේ මේ කාලෙදි මන් උපයපු මුදලට වඩා ටිකක් වැඩි මුදලක් මේ අවුරුද්දේ මේ දවස් වල මන් උපයනවා ඒත් පුදුමේ කියන්නේ ගිය අවුරුද්දේ මේ කාලේ මාසේ අන්තිමට මගේ අතේ ඉතුරු උන මුදල වත් දැන් මගේ අතේ ඉතුරු වෙන්නේ නැහැ. ඒක නම් පුදුම වැඩක්. මන් හිතන්නේ ඕකට හේතුව බඩුමිල ඉහල යාම ම නෙමෙයි. උපයන මුදල වැඩිවෙනකොට අපි වියදම් කරන මුදලත් ඉබේම වැඩි වෙන එකයි. (ඒ කාලේ සංස්ථා ඕල්ඩ් බිව්වත් දැන් ඊටත් වඩා ගනන් අඩු ගල් බොන්නේ ඒත් ඉතුරුවක් නැතිහැටි ).

දැන් ඉතින් මන් ඉන්නේ ජීවිතේ හතරවෙනි දශකයේ නිසා හම්බ කරන සේරම කාලා බීලා හරියන්නේ නැහැනේ. ඒ කාලේට වඩා මට අලුතින් එකතු උන වියදම් නම් නැහැ ඒත් මටම හිතා ගන්න බැරි විදිහකින් මගේ ආර්ථිකය කඩා වැටිලා. කොහෙන් කොහෙන් හරි නිස්කාරන වියදම් ටිකක් ඇවිත් වගේ.

බ්ලොග් ලියන ගොඩ දෙනෙක් වැඩිය පවුල්බර එහෙම නැති අය ඉතින් ඒ අයට තමා මන් මේ කියන්නේ. සල්ලි කියන දේ අපේ  අනාගතයේදි සෑහෙන්න වැදගත් කමක් උසුලනවා ඒක නිසා තම තමන් උපයන මුදල් ටිකක් අරපරිස්සමින් වියදම් කරන්න. තමන්ටම කියල මොකක් හරි කරන්න ගියාම තමා ඒ ඉතුරු කරපු සල්ලිවල අගේ තේරෙන්නේ. හැමෝගෙම දෙමව්පියන්ට සේරම කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට තමන් ගාව තියෙනවා නම් පිට කාගෙවත් රැස්පොට් බලන්නේ නැතුව තමන්ගේ දේවල් බලා කියා ගන්න පුළුවන් (අනික් අයට කිව්වට මටත් මේක තාම හරියට කර ගන්න බැරි උනා ඒත් මට ලැබුන අත්දැකීම් වලින් මේ කියන්නේ)

නැති රටට ගිහින් නැති දේ ගේන්න කියල කිව්වොත් ඒ මොන මල විකාරයක්ද කියලා තමා එක පාරටම හිතෙන්නේ ඒත් ඒක ඒත් ඒක ලස්සන වසීලිස්සා පොතේ නීල කොබෙයියා කතාවේ අන්ද්රේ (අන්දරේ නෙමෙයි) ට දුෂ්ඨ රජා පවරපු රාජකාරියක්. 

ලස්සන වසීලිස්සා, රුසියානු සුරංගනා කතා පොතක්. මන් ඒක ගත්තේ මන් මට මතක හැටියට 1990 දි විතර ඒ කාලේ හොර ලෙඩ අරන් ඉස්කොලේ යන්නේ නැතුව ඉන්න හැමදාම වගේ ඔය පොත කියවන එක තමා කරන්නේ. කී සැරයක් කියවලා තියෙනවද දන්නේ නැහැ. ඊයේ පෙරේදා ආයි කියෙව්වා. ඒත හරිම ආසයි කියවන්න.

මේ පොතේ සේරම වගේ කතාවල එකම චරිත ටිකක් වගේ ඉන්නේ ඉවාන්, නපුරු රජවරු, දුප්පතා, පෝසතා, බාබායිගා යකින්න, කතා කරන සත්තු, මේ වගේ නොයෙක් විදිහේ මේ ලොකේ නැති ඒවා තමා තියෙන්නේ. වෙන සිදුවීම්නුත් ඒවගේ කවදාවත් වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි හැම කතාවකම තියෙන්නේ හොඳ අවසානයක්. දුෂ්ඨයා පරදිනවා වීරයා දිනනවා.

සුරංගනා කතා කියන්නේ නොවෙන සිදුවීම් උනත් ඒවා කියවන්න හරිම ආස හිතෙනවා. අපේ රටේ මිනිස්සු දේසපාලුවෝ කියන කතා වලටත් මෙච්චර කැමති ඒ නිසාද දන්නේ නැහැ. කවදාවත් කලේ නැතත් කියන ඒවාට ආසා නිසා කට ඇරගෙන ඒවා අහන් ඉන්නවද කොහෙද

මන් ගාව තියෙන්නේ රුසියානු රාදුගා ප්‍රකාශකයන්ගේ එකක් ඝන කවරය තියෙන. ලස්සන පිතූරත් තියෙනවා. මන් මේ ලඟදි මේ පොත් තියෙනවද බැලුවා පොත් කඩවල. ඒත් දැන් තියෙන එක එච්චර හොඳ මුද්‍රණයක් නෙමෙයි.

පොතේ එක කතාවක් මෙතන තියෙනවා.

මේ තරම් සුන්දර සතෙක් මන් හිතන්නේ මුළු ලෝකේම නැතුව ඇති.


වෙන රටවල් ගැන නම් මන් දන්නේ නැහැ හැබැයි ලංකාවේ නම් හැමැ පළාතකම වගේ සුලබව දකින්න පුළුවන් සතෙක් තමා මදුරුවා කියන්නේ. අනික් පළාත්වලට සාපේක්ෂව සීතල පළාත් වල ටිකක් අඩු උනත් මදුරුවො නම් නුවර එළියේ උනත් නැත්තේම නැහැ.

හරක්, ඌරෝ, කුකුල්ලු වගේ සත්තු හදල මසට හරි කිරි, බිත්තර විකුනලා හොයන සල්ලියට වඩා සල්ලියක් මිනිස්සු මදුරුවන්ගේන් හම්බ කර ගන්නවා ඇති. නිදහසේ නිදාගන්නවත් නොදී අන්තිමේ මිනිස්සුන්ව වල පල්ලට යවන්න තරම් මදුරුවා කියන සතා දරුණු වෙලා තියෙන්නේ ඇයි කියලා මන් නම් දන්නේ නැහැ.

කනට මිහිරි වාදනයකින් සුව නින්දකට අපිව පත්කරන ගමන් චීන කටු චික්සාවක් වගේ පුංචි රිදුමක් එකක් නින්ද යන්න ඉන්ජෙක්ෂන් එකක් දීලා අපේ සෞඛ්‍ය රැක දෙන්න තරම් මදුරුවා හරිම කාරුනිකයි.

ඉස්සර නම් අපේ ගෙදර එච්චර මදුරුවො හිටියේ නැහැ ඒත් ලස්සන මල් ගසුත් එක්ක වතුර පිරිච්ච් පෝච්චි වල මදුරුවෝ අපිම ඇති කලා නැත්තනම් පාළු හින්දා. අපේ සීයලෑ ගෙවල් වල එහම නම් මඩ පුවක් එක්ක තමා මදුරුවෝ හදන්නේ. එහෙ ඉන්න උන් නම් පොඩි සයිස් කුරුල්ලෝ වගේ.

කොච්චර සුන්දර සතෙක් උනත් මදුරුවො ඈත් කරන්න මිනිස්සු විවිධ දේවල් කරනවා. මාත් ඔය එක එක දේවල් කරලා තියෙනවා. මට නම් හිතෙන්නේ සාරථකම විදිහ තමා මදුරු දැල්. මදුරු කොයිල්, මැට් සහ වෙනත් බෙහෙත් ජාතිවලින් නම් කිසිම වැඩක් නැහැ. මාසෙකට සැරයක් විතර සමහර නගර සභාවලින් ඇවිත් රුපියල් දහයක විස්සක සපෝර්ට් එකක් අරන් ගහන් මදුරු තෙලත් , තෙලක් ද නැත්නම් වතුරක් ද මන්දා. මොකෝ එදාට වෙනදටත් වඩා මදුරුවෝ ඉන්න නිසා. පොල් තෙල් පිඟාන, මදුරුවෝ මරන විදුලි රැකට් එක කොච්චර සාර්ථක උනත් රෑ එළි වෙනකම් වන වනා ඉන්න කෙනෙක් හොයා ගන්න එක එච්චර ලේසි නැහැ.

සමහර ගෙවල් වල නම් කජු ලෙලි පත්තු කරනවා. ඒ දුම නම් මදුරු කොයිල් තරම් අප්‍රසන්න නැති ඇත්තටම මදුරුවෝ එලවන දුමක්. ඒත් ඒක හැමදාම කරන්න පුළුවන් කමක් නැහැ. මදුරු වදේ ගැන කියන්න ටීවී එකේ පත්තරේ නම් ලොකු ලොකු අය ලොකු ලොකු කතා කියන්වා ඒත් මුළු රටේම මිනිස්සු මදුරු වදෙන් දුක් විඳිනවා.

හැබෑටම මදුරුවන්ට කරන්න දෙයක් නැද්ද? අර දීපාල් සිල්වා කියන මල් පැණි බොන්න පුරුදු කරනවා වගේ ඉස්තරම් පිළියමක්.

ඡායාරූපය මෙතනින්

මේ කියන්න යන්නේ අපේ හරේ කියපු කානිවල් අයිස්ක්‍රීම් වගේ මිල අධික අයිස්ක්‍රිම් ජාතියක් ගැන එහෙම නෙමෙයි. මීට අවුරුදු 20කට 25කට කලින් කාපු සත පනහේ අයිස් පලම් ගැන.


ඒකාලේ ඔය දැන් වගේ අයිස්ක්‍රීම් හැම තැනම තිබ්බේ නැහැ. සංගීතයක් දාගෙන අයිස්ක්‍රීම් විකුනන ත්‍රීවිලර් තිබ්බෙත් නැහැ. කඩවල් වල නම් අයිස්ක්‍රීම් තිබ්බෙම නැති තරම්.අපිට අයිස් පලම් කන්න තිබ්බ එකම විදිහ ඉඳලා හිටලා පාරේ පෙට්ටියකුත් බැඳන් නලාවකුත් සද්ද කර කර යන අයිස්ක්‍රීම් කාරයාගෙන් විතරයි. ඒ ඇරෙන්න මොකක් හරි උත්සවයක් තියෙනවනම් අයිස්ක්‍රීම් වෑන් එකක් එනවා ඒකේ අයිස් චොක්ස් සහ කෝන් තියෙනවා. ඒත් දැන් වගේ විවිධ ජාති නම් නැහැ අයිස් පලම් සේරම දුඹුරු පාටයි කෝන් සේරම කහපාටයි චොක්ස් ඉතින් කහයි දුඹුරුයි. මේවට වැනිලා චොකලට් කියලම කියන්න බැහැ ඒ වගේ රසක් තමා ආවෙ නම්.

ඒ ඇරෙන්න අපේ ගෙවල් කිට්ටුව තිබ්බ අයිස්ක්‍රීම් ෆැක්ටරියෙනුත් ගන්න පුළුවන්. එතනට ගියාම එන ගඳට නම් අයිස්ක්‍රිම්නුත් එපා වෙනවා. අපිට ඇතුලට යන්න තහනමක් නොතිබ්බත් මට ඒ කාලේ අයිස්ක්‍රීම් හදපු හැටි නම් මතක නැහැ.  හැබැයි ඉතින් දැන් වගේ ගනන් නොවුනත් අයිස් පලම් එකක් ගන්න සතපනහක් හොයා ගත්තේ නම් පුදුම අමාරුවකින්. අයිස් කෝන් එකක් රුපියල් දෙකකුත් චොක්ස් එකක් රුපියල් පහක් වගේ ගානකටත් තිබ්බා වගේ මතක. වැඩිපුරම කන්නේ පලම් නිසා පලම් වල ගාන විතරයි හරියට මතක.

මෑත කාලේ දවසකත් ගම් පළාතේ ගිය වෙලාවක පුරුදු අයිස්ක්‍රීම් ෆැක්ටරියට ගිහින් අයිස් පලම් අරන් කෑවත් ඒ කාලේ වගේ රසක් දැනුනේ නම් නැහැ. ඒ ඇරෙන්න ඔය වන්දනා ගමනක් වගේ යනකොට ඉන්න අයිස් ක්‍රීම් කරයෙක්ගෙන් අයිස් කෝන් එකක් අරන් කෑවත් ඒ කාලේ දැනුන රසනම් දැනුනේ නැහැ. ඒකට හේතුවක් නම් මට හිතා ගන්න බැහැ.

මටනම් දැන් තියෙන මොන අයිස් පලම් එකක් කෑවත් ඒකාලේ ඒ විඳ රසනම් කිසිම එකකින් දැනිලා නැහැ.

ඡායාරූපය මෙතනින්

මන් මේ අරක්කු ගැන නොලියා ඉන්න කියලා හිටියේ ඒත් මාර වැඩක් වෙලා, මෙච්චර කාලයක් ගූගල් වල මට තිබ්බ පළවෙනි ස්ථානය අපේ කතන්දර කාරයා මගෙන් ඩැහැ ගෙන. මන් හිතන්නේ එයාගේ බ්ලොග් එකේ අරක්කු ගැන තියෙන එකම එක ලිපියයි. ඒකත් මට වඩා උඩට ගිහින් බලන්න අප්පා. මෙච්චර අරක්කු වලට සේවයක් කරන මන් දෙවෙනියට වැටිලා. ඔය Google Page Ranking  කියන එක ගැන මට එච්චර අවබෝධයක් නැහැ ඉතින් එයාලා කොහොම ඔය ලැයිස්තුව හදනවද මන්දන්නේ නැහැ.

ඒ මේ අස්සේ මන් මේ මූනූ පොතේ අරක්කු ගැන ලියපු එකකුත් ගූගල් වල ඒ ලැයිස්තුවෙම ඇවිල්ලා. මේවා දැක්කොත් නම් මට ඉතින් පාරේ බැහැලා යන්න වෙන එකක් නැහැ ගුටි නොකා. ඒ ලිපිය ගැන කියනකොට මතක් උනේ අපේ (අරක්කු) සංස්ථාවෙන් (DCSL) කාන්තාවන් ඉලක්ක කරලා අළුත් අරක්කු (අරක්කුම නෙමෙයි Liqueur එකක් කියලා කිව්වේ) වර්ගයක් හඳුන්වා දීලා නම නම් හරියටම මට පෙනුනේ නැහැ Narikela වගේ එකක් තියෙන්නේ (ඔය නිල් පාට බෝතලේ) මේක ටිකක් පැනි රසයි කිව්වා. ගාන නම් 875/= ක් වගේ මතක ඇල්කොහොල් නම් 23% තිබ්බා වගේ මතක. මට කෙනෙක් කිව්වා මේක Malibu (මන් දැනට බීලා තියෙන සවුත්තුම ජාති දෙකෙන් එකක්) වගේ කියල ඉතින් එතනින්ම මන් ඒක ට්‍රයි කිරීමේ ආසාව අත් ඇර ගත්තා.මොකද කොච්චර කිව්වත් අරක්කු නැත්නම් මද්‍යසාර කියන ඒවා ඕනවට වඩා පැණි රස උනාම බොන්න බැහැ වගේ.

මට ඉතින් නිකා ඉන්න බැරුවට DCSL ඒකේ කෙනෙක්ගෙන් අහලා බැලුවා ඇයි හොඳ වෙබ් අඩවියක් එයාලට නැත්තේ කියලා. කියපු විදිහට එහෙම අදහසක් වත් එයාලට නැහැ. අන්තර්ජාලෙන් බලලා මිනිස්සු අරක්කු බොයි කියලා එයාලා හිතන්නේ නැහැ. අනික ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන තරම් වෙළඳාමක් එයාලට නිකනුත් තියෙනවාලු. අනික එයාලගේ ඔය සියලු නිෂ්පාදන අතරින් වැඩියෙන්ම විකිනෙන්නේ ගල් කියලා තමා කිව්වේ. ඒක ඇහුවම මගේ හිතටත් ටිකක් හොඳයි මොකො බ්ලොග් වල ලියන එව්වා බලලා කවුරුත් අරක්කු පානයට යොමු වෙනවා කියන එක අරක්කු නිෂ්පාදනය කරන සමාගමක් වත් පිළිගන්නේ නැති කොට අනික් අය ගැන මොන කතාද නේ? 

ඔය DCSL  එකේම තියෙන Periceyl කියන සමාගමෙන් කරන කියන Black Opal අරක්කු ජාතියට මේ දවස්වල හොඳ ඉල්ලුමක් තියෙනවලු තරුණ පරපුර අතරේ. මේක අනික්වා තරම්ම සුවඳ(ගඳ කියල කියන්නේ) නැති නිසාත් පහුවදාට අමාරුව අඩු නිසාත් කියලා තමා කිව්වේ. මන් නම් තාම ට්‍රයි කලේ නැහැ බිව්වොත් ඒ ගැන කියන්නකෝ.

ඒත් ඉතින් මන් බලාපොරොත්තු වෙන බීම නම් අපේ අය කවදාවත් පුරුදු වෙන එකක් නැහැ. සාමාන්‍යයෙන් කට්ටිය නිකන් සෙට් වෙලා අද මොනාද බොන්නේ කියල අහල එවෙලේ ගිහින් බෝතලයක් ගෙනත් බොන එක කිව්වා මෙහෙ කරන්නේ. නැතුව හොඳ Recipe එකක් බලලා ඒකට හොඳ බයිට් එකක් එහෙම හදා ගෙන අරක්කු රසවිඳින එකක් ගැන කතාවක් වත් නැහැ.

මන් මේ නිකන් ජොලියට ලිව්වේ එහෙම නැතුව හැබෑටම කවුරුවත් එක්ක කිසිම තරඟයක් කිසිම දේකට මට නම් නැහැ. මන් කැමති කොහොමත් පහුවෙලා යන්න අපායට ගියත්.

අද ජනවාරි 30 , ඉතින් හෙටින් 2010 වසරෙත් පලවෙනි මාසෙම ඉවර වෙනවා. පුදුමාකර විදිහට පලදායී විදිහට ගතකරපු මාසයක්. සත පහක ප්‍රයෝජනයක් තියෙන කිසිම වැඩක් කලේ නැහැ. මේ මාසේ මන් උපයපු මුදල වගේ තුන් ගුනයක් මන් වියදම් කරලත් තියෙනවා.

මේ අවුරුද්දේ ගතවුනු මාසය තුල මම අළුතින් යමක් ඉගෙන ගත්තද? නැහැනේ, එතකොට අළුත් යමක් කලාද? ඒත් නැහැනේ එතකොට මොකද්ද දෙයියනේ අළුත් අවුරුද්දට කියලා කලේ. එකම එක දෙයයි ඒ තමා 2009 කැලැන්ඩරේ ගලෝලා 2010 එකක් ගැහුවා. හෙට ඒකෙත් පිටුවක් කඩලා අළුත් මාසෙට ආයිත් නැවුම් විදිහට මන් සූදානම් වෙනවා. ගොඩක් වෙලාවට මගේ ජීවිතේ නම් දවස් ගෙවෙන එක දැනෙන්න සාක්කුවටයි කැලැන්ඩරේටයි විතරයි. වෙන ලොකු වෙනසක් ඒකේ නැහැ.

දැන් ජනවාරි ඉවර උනා වගේ එහෙ හැරිලා මෙහෙ බලනකොට අප්‍රේලුත් එයි, ඊලඟට ඉතින් අළුත් අවුරුද්ද කියලා තවත් එක කෙලියක්. ඊට පස්සේ වෙසක් පොසොන්, ඒවාට ඉතින් ෆුල් බැතියෙන් බරව කලෙක්ෂන් දාල දන්සැල්. ඊලඟට නම් ඉතින් නත්තල් වෙනකම් විශේෂ මොකුත් නැහැ. මේ විදිහට අපිත් නොහිතනා වේගෙකින් තමා අපේ කාලේ ගත වෙලා යන්නේ.

ඉතින් මේ විදිහට කාලෙ කන මන් දවසෙන් දවස දියුණු වෙයිද නේ.

Highway On My Plate එකේ ඉදිරිපත් කරන දෙන්න ලංකාවට ආපු එකේ වීඩියෝ තුනක් මෙතන තියෙනවා. 1, 2, 3. මේ වගේ වැඩ සටහන් කලාතුරකින් තමා දකින්න ලැබෙන්නේ. මීට කලින් මන් දැකලා තියෙන්නේ Lonely Planet එකේ ලංකාව සහ මාලදිවයින ගැන ගිය වැඩසටහන විතරයි.

මේ වෙනකොට යුද්දෙත් ඉවර වෙලා  නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට සම්බන්ද අය ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අපේ සංචාරක ව්‍යාපාරය දියුණු වෙයි කියලා. ඉතින් අපේ රටට පිට රටවල අය එන්න නම් එයාලට අපේ රට ගැන දැන ගන්න මේ වගේ වැඩ සටහන් ගොඩක් ප්‍රයෝජනවත් කියලා මන් නම් හිතන්නේ.

ලංකාවෙන් දාස් ගානක් අවුරුද්දකට ඉන්දියාවේ ගියාට ඉන්දියාවෙන් මෙහෙට ඒකෙන් දහයෙන් එකක්වත් පිරිස් එනවද මන්දා ඉතින් එයාලට මේ වගේ ඒවා බැලුවම මෙහෙ එන්න සමහර විට ආසා හිතෙන්න පුළුවන්.

ඉතින් ඔය ඉහල තියෙන දෙවෙනි වීඩියෝ එකේ තියෙනවා මගේ ප්‍රියතම පානය මේ ඉන්දියානුවෝ දෙන්නත් රස බලනවා. හැබැයි උන් දෙන්න නම් රස බලන්නේ අමුවෙන්ම තමා. ලංකාවේ කෑම බීම ගැනත් මේවායේ තියෙනවා. විවේක වෙලාවක නිකන් බලන්නකෝ.

ලංකාව ගැන මේ (1, 2) වගේ දැන්වීම් ප්‍රචාරය වෙන කාලෙක අපේ රටට කැමැත්තක් ඇතිකරවන ඒවා හරිම වටිනවා
දැන්වීම් උපුටා ගැනීම w3lanka

මන් කතා බහ කරන්න ආසම මාතෘකා දෙකක් තියෙනවා එකක් තමා බීම අනික තමා පොත්. ඔය දෙකටම මන් හරිම ආසයි. බීම බොන්න, ඒවා ගැන කියවන්න, බීම ගැන යන වැඩසටහන් බලන්න, හදන හැටි දැනගන්න. බීම එක්ක අත්හදා බැලීම් කරන්නත් කොටින්න්ම බීම සම්බන්ද හැම දේටම මන් කැමතියි. ඉතින් බීම ගැන මගේ බ්ලොග් එකේ ලියන්නත් මන් කැමතියි.පොත් ගැනත් එහෙමයි.

මන් බීම ගැන ලියන්නේ මේ බ්ලොග් එකෙයි කමු බොමු එකෙයි විතරයි වෙන කොහෙවත් බීම ගැන එහෙමට ලියන්නේ නැහැ අනික මන් ලියන එවා කාටවත් කියවන්න බලකරන්නේ නැහැ. ලංකාවේ එෆ් එම් නාලිකා වගේ කාටවත් බලෙන් අහන්න සලස්සලත් නැහැ. කැමති නම් කියවන්න නැත්නම් Close Button  එක Click කරලා වෙබ් පිටුව වහලා දාන්න.

මන් ලියන ඒවා කියවලා කවුරුත් බීමට ඇබ්බැහි වෙන්නේ නැති බවනම් මට විශ්වාසයි. බීම ගැන ලියන්න තහනම්ද මන් දන්නේ නැහැ විකුනන්න හදන්න හොඳ දෙයක් ගැන ලියන්න සමහරවිට තහනම් ඇති. ඒත් මට මන් ආසදේ ගැන ලියන්න ඕනේ. මන් කාටවත් බොන්න නම් කියන්නේ නැහැ. මොකද අපිටත් මදි වෙන එක තවත් කෙනෙක් එකතු කරගෙන බෙදාගන්න මන් කැමති නැති නිසා.

මට මගේ ජීවිතේ හම්බ උන අනික් අයට අංචි අදින, උගුල් අටෝන, ඊරිසියා කරන , කමකට නැති ගොඩක් අය හතර පෝයට සිල් ගන්න අරක්කු බිංදුවක් කටේ තියන්නේ නැති අය හැබැයි මට හමබ උන බේබද්දෝ ගොඩක් දෙනා තමන්ට පුළුවන් උපරිමෙන් හිත හොඳ මිනිස්සු. නරක බේබද්දෝ නැත්තේමත් නැහැ ඒත් සාපේක්ෂව බොන අය හොඳයි.

මන් ලියන ඒවා දිරවන්නේ නැත්නම් මගේ බ්ලොග් එකට නාවට මට කිසිම ගැටළුවක් නැහැ. එකම එක මවුස් ක්ලික් එකකින් එහෙම අකමැති කෙනෙක්ට මෙතනින් ඉවත් වෙන්න පුළුවන් ඉතින් එහෙම කරන්නේ නැතුව මාව හදන්න එන්න එක තේරුමක් තියේවිද මන්දා.

අපේ තාත්තගේ පැත්තේ ඉන්නවා හොඳටම බොන නෑයෝ. බීලා බිලා නැති වෙච්ච අය ඉන්නවා. අම්මලාගේ පැත්තේ ඉන්නේ සේරම ගානට බොන අය ඉතින් අමුතුවෙන් බොන එකේ පල විපාක මට කවුරුත් කියන්න ඕනේ නැහැ මන් ඒවා ඇස් පනාපිටම දැකලා තියෙනවා. කොච්චරද කියන්වනම් මේ ලඟදි අපි බයිට් ගන්න කඩේ මුදලාලිත් බීලම මලා. කුණු වෙන්න බොන මිනිස්සු ඉක්මනට මැරෙනවා කියලා මන් දන්නවා. ඒත් වෙනස තියෙන්නේ මන් බීම ගැන ලිව්වට  එහෙම කුණු වෙන්න බොන්නේ නැති එකයි.

මන් පන්සිල් ගන්නේ නම් නැහැ ඒත් සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමනී සික්ඛාපදන් සමාදියාමී කියන එක දන්නවා (ගාථාව හරිද මන්දා ). මද පමනින් ගැනීම වේ රමනී කියන විතරක්ම එක තේරුම හැටියට මන් ගන්නේ නැහැ. මේ සිල් පදය තුල අනික් ඒවාට වඩා වෙනසක් තියෙනවලු ඒක තමා ක්‍රියාව සහ ප්‍රථිපලය යන දෙකම මේකේ තියෙන එක.

සුරාව- පැසවූ මත්පැන් මන් හිතන්නේ අරක්කු වගේ ඒවා
මේරය -  පදම් නොකල මත් පැන් - රා වගේ ඒවා වෙන්න ඕනේ.
මත් වීම - සිහිය විකල් වෙන
පමාව -  ප්‍රමාදයට හේතු වෙන - මේකනම් මන් හරියටම දන්නේ නැහැ මන් හිතන්නේ නිවනට පමා වෙන. කෙනෙක් හැම වෙලේම සිහියෙන් ඉන්නේ නැත්නම් ඒක නිවනට පමා වීමක් කියන එක කියලා මන් හිතන්නේ.
උපුටා ගැනීම බුදුමග (31/12/2009 - 18 පිටුව )

ඔය නොබොන අයගෙන් කීයෙන් කී දෙනාද සිහියෙන් ඉන්නේ? මත් නොවී ඉන්නේ , අඩුම ගානේ මත් වෙන්න දෙයක් නැත්නම් ටීවී එකේ යන මෙගා නාට්ටියකින් හරි මත් වෙලා ඉන්නේ ඉතින් මටනම් බොන නොබොන දෙගොල්ලොම එකයි.
(මගේ ධර්මයේ දැනුම පරීක්ෂා කරන්න හදන්න නම් එපා මන් දන්න තරමින් කියන්නේ කොහොමත් මේක බීම ගැන ලියන බ්ලොග් එකක් මිසක් බුද්ධාගම ගැන ලියන එකක් නෙමෙයිනේ)

සුරාව ගැන වගේම එකේ ආදීනව ගැනත් මන් ලියලා තියෙනවා මේකත් බලන්න.

මන් දිගටම මන් කැමති දේ ගැන ලියනවා මොකද අඩුම ගානේ මට මගේ බ්ලොග් එකේවත් මන් ආස දේ ගැන ලියන්න ඕනේ.

මේක ලියන්නේ ගම්පහ ආපිකෝ එකේ බාර් එකේ වැඩ කරන සියළුම සේවක මහතුන්ට උපහාර පිණිස!!!!!

මට මගේ මුළු ජීවිතේදිම හම්බ වෙලා තියෙන බාර් වල වැඩ කරන හොඳම සේවක මහතුන් ටික ඉන්නේ ගම්පහ ආපිකෝ එකේ. වර්තමානයේ විතරක් නෙමෙයි හැමදාම ඒකේ හිටපු අයගෙන් මට ලැබුනු සේවය නම් ඉස්තරම්. කාලෙකට පස්සේ පහුගිය දවසක ගොඩවැදුනම කාලෙකින් දැක්කේ නැහැ කියන්න තරම් ඔවුන් සුහදයි, (හැමදාම බොන්න පුළුවනෑ ඉතින්). මට විතරක් නෙමෙයි බොහොමයක් පාරිභෝගිකයනට ඔවුන්ගේ සේවය අතිශයිනම සුහදශීලී.

මේක හරිම අඩුවෙන් දකින්න ලැබෙන දෙයක් බාර වලින් බඩු ගන්නේ බේබද්දෝ (නැතුව බොන්නේ නැති උන්ට ගන්න දෙයක් බාර් වල නැහැනේ )කියන සංකල්පේ තමා බාර් වල වැඩ කරන අයත් ඉන්නේ ඉතින් ඊට වඩාඅ ගොඩක් වෙනස් මේ අයගේ මේ සැලකිල්ල හොඳට දැනෙන දෙයක්.

ඊට කලින් තියෙන බාර් 3ක්, සුපිරි වෙළඳ සැල් 2ක් පහු කරගෙන වැඩිපුර කිලෝමීටරයක් විතර දුරත් ගිහින් ආපිකෝ එකටම යන්නේ ඒ නිසාම තමයි. විශේෂයෙන් ෆුඩ් සිටියට සාපේක්ෂව මෙයාලගේ සේවය හරිම ඉහළයි. බෝතල් ගත්තම දාගන්න බෑග් එකක්වත් නොදෙන ෆුඩ් සිටියට වඩා ගන්නකොටම කවරෙක දාලා බෝතලේ ලස්සනට දෙන එකම කොච්චර වටිනවද. ඔය බෑග් එකට සත 50ක් යයි.

මම ගනුදෙනු කරපු ගොඩක් බාර් වල වැඩ කරන අය වැඩි කතා බහක් නැහැ ඒකටත් එක්ක මේ අය, කාර්යබහුල නොවන වෙලාවක් නම් ඇතුලටම ගිහින් බෝතල් ගැන කතා කරන්න ඒවායේ රස ගැන පොඩි විස්තරයක් කියන්න, ගනන් හිලව් ගැන කියන්න පොඩි වෙලාවක වෙන් කරන්නේ කිසිම ලෝබ කමක් නැතුව. බොන කෙනෙක් හැටියට මන් කැමතියි බීම ගැන ටිකක් කතා බහ කරන්න, ඉතින් ඒ වගේ අවස්ථාවක් බාර් එකක වැඩ කරන කෙනෙකුගෙන් ලැබෙන්නේ කලාතුරකින්  ඉතින් ඒ වගේ අවස්ථාවක් මෙයාලගෙන් ලැබෙන එකම මදෑ.


ඉතින් මිත්‍රවරුනි, ඔබලාට ජයෙන් ජය වේවා!!!!
චියර්ස්!!!!!!

කාලෙකට කලින් අපි ගියා දඹානේ නෑදෑයෝ බලන්න. ඔන්න ඉතින් වැදි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ ගෙදරටත්  අපි ගොඩ උනා. මෙන්න බොලේ මෙයා ගාව තියෙන ජාති මුළු ලංකාවෙම ඉන්න අය ආවත් දෙන්න ඉස්තරම් මී පැණි තියෙනවා ගෙට යනවා ගේනව. ගේ ඇතුලේ මන් හිතන්නේ මී මැස්සෝ වැඩ කරනවද කොහෙද. ඒ ඇරෙන්න තිබ්බ තවත් ජාතියක් තමා ඇත් දළ වලින් හදපු පෙන්ඩන්ට් සහ මුදු. ඇත්තම ඇත්ත ඇත් දළ. මේ ඇත් දළ ජාති මග දිගට හිටිය හැම වැද්දෙක් ගාවම තිබ්බ. ඉතින් අපි එක්ක ගිය ගොඩ දෙනෙක් මේ ඇත් දළ බඩු, මුදු , මාල පෙති ගත්තා.

මන් දන්න විදිහටනම් ඇත්දළ ලඟ තියාගෙන ඉන්නත් තහනම්. හැබෑටම මේ වැද්දන්ට මෙච්චර ඇත් දළ නම් කොහෙන්ද මන්දා. කවුදෝ කිව්වා ඔය ඇත්දළ හදන්නේ මැරිච්ච හරකුන්ගේ ඇට වලින් කියලා. එහෙම නැතුව හරිම ඇත්දළ නම් මේ වෙනකොට ලංකාවේ ඇත්තු ඉන්න විදිහක් නැහැ.

මේ ලිපිය ලියන්න හිතුනේ කියවමින් ඉන්න පොතක තියෙනවා ඉබි කට්ටෙන් හදපු කන්නඩි රාමුවක් ගැන. අපේ මිනිස්සු මේ විදිහට සත්ව කොටස් වලින් හදපු දේවල් පාවිච්චි කරන එක ගැන කතා කරන්නේ හරිම ආඩම්බරෙන්.

කොටි දත් ගැන, අලි කෙඳි දාපු මුදු , වලලු, අලි හම් වලින් හදපු මුදල් පසුම්බි, කැස්බෑවන්ගේ කට්ටෙන් හදපු දේවල්. ගොඩක් ඒවා ඇත්තම අලි කොටි නොවුනත් ඒවා තියෙන අය හරිම ආඩම්බරෙන් තමයි ඕවා ගැන කියන්නේ. හැබෑටම අනික් සතෙක්ගේ කෑලි තියා ගන්න එක ඔච්චර ලොකු කමක්ද?

නිකන් හිතලා බලන්න්කෝ මිනී ඇටයකින් හදපු මුද්දක්, පෙන්ඩන්ට් එකක් හරි, කෙස් ගහක් දාපු වලල්ලක් , මුද්දක් හරි, මිනී හමකින් හදපු මුදල් පසුම්බියක්, මිනිහෙක්ගේ වැටිච්ච දතක් මේ අය මේ වගේ නිකන් හරි පාවිච්චි කරයිද කියලා.

මාත් කරනවා එක දෙයක් ඒ තමයි ඉතින් මස් කන එක. මිනි මස් නම් කන්නේ නැහැ ඒත් අනික් ඒවා කන්නේ කෙල හල හල. බැලුවහම ඒකත් ඉතින් මේ වගේ තමා

වෙලාවක් තියේ නම් මේකත් බලන්න
Highway On My Plate එකේ අය ලංකාවට ආපු වෙලාව

Bloggers.com - Meet Millions of Bloggers