මන් කතා බහ කරන්න ආසම මාතෘකා දෙකක් තියෙනවා එකක් තමා බීම අනික තමා පොත්. ඔය දෙකටම මන් හරිම ආසයි. බීම බොන්න, ඒවා ගැන කියවන්න, බීම ගැන යන වැඩසටහන් බලන්න, හදන හැටි දැනගන්න. බීම එක්ක අත්හදා බැලීම් කරන්නත් කොටින්න්ම බීම සම්බන්ද හැම දේටම මන් කැමතියි. ඉතින් බීම ගැන මගේ බ්ලොග් එකේ ලියන්නත් මන් කැමතියි.පොත් ගැනත් එහෙමයි.
මන් බීම ගැන ලියන්නේ මේ බ්ලොග් එකෙයි කමු බොමු එකෙයි විතරයි වෙන කොහෙවත් බීම ගැන එහෙමට ලියන්නේ නැහැ අනික මන් ලියන එවා කාටවත් කියවන්න බලකරන්නේ නැහැ. ලංකාවේ එෆ් එම් නාලිකා වගේ කාටවත් බලෙන් අහන්න සලස්සලත් නැහැ. කැමති නම් කියවන්න නැත්නම් Close Button එක Click කරලා වෙබ් පිටුව වහලා දාන්න.
මන් ලියන ඒවා කියවලා කවුරුත් බීමට ඇබ්බැහි වෙන්නේ නැති බවනම් මට විශ්වාසයි. බීම ගැන ලියන්න තහනම්ද මන් දන්නේ නැහැ විකුනන්න හදන්න හොඳ දෙයක් ගැන ලියන්න සමහරවිට තහනම් ඇති. ඒත් මට මන් ආසදේ ගැන ලියන්න ඕනේ. මන් කාටවත් බොන්න නම් කියන්නේ නැහැ. මොකද අපිටත් මදි වෙන එක තවත් කෙනෙක් එකතු කරගෙන බෙදාගන්න මන් කැමති නැති නිසා.
මට මගේ ජීවිතේ හම්බ උන අනික් අයට අංචි අදින, උගුල් අටෝන, ඊරිසියා කරන , කමකට නැති ගොඩක් අය හතර පෝයට සිල් ගන්න අරක්කු බිංදුවක් කටේ තියන්නේ නැති අය හැබැයි මට හමබ උන බේබද්දෝ ගොඩක් දෙනා තමන්ට පුළුවන් උපරිමෙන් හිත හොඳ මිනිස්සු. නරක බේබද්දෝ නැත්තේමත් නැහැ ඒත් සාපේක්ෂව බොන අය හොඳයි.
මන් ලියන ඒවා දිරවන්නේ නැත්නම් මගේ බ්ලොග් එකට නාවට මට කිසිම ගැටළුවක් නැහැ. එකම එක මවුස් ක්ලික් එකකින් එහෙම අකමැති කෙනෙක්ට මෙතනින් ඉවත් වෙන්න පුළුවන් ඉතින් එහෙම කරන්නේ නැතුව මාව හදන්න එන්න එක තේරුමක් තියේවිද මන්දා.
අපේ තාත්තගේ පැත්තේ ඉන්නවා හොඳටම බොන නෑයෝ. බීලා බිලා නැති වෙච්ච අය ඉන්නවා. අම්මලාගේ පැත්තේ ඉන්නේ සේරම ගානට බොන අය ඉතින් අමුතුවෙන් බොන එකේ පල විපාක මට කවුරුත් කියන්න ඕනේ නැහැ මන් ඒවා ඇස් පනාපිටම දැකලා තියෙනවා. කොච්චරද කියන්වනම් මේ ලඟදි අපි බයිට් ගන්න කඩේ මුදලාලිත් බීලම මලා. කුණු වෙන්න බොන මිනිස්සු ඉක්මනට මැරෙනවා කියලා මන් දන්නවා. ඒත් වෙනස තියෙන්නේ මන් බීම ගැන ලිව්වට එහෙම කුණු වෙන්න බොන්නේ නැති එකයි.
මන් පන්සිල් ගන්නේ නම් නැහැ ඒත් සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමනී සික්ඛාපදන් සමාදියාමී කියන එක දන්නවා (ගාථාව හරිද මන්දා ). මද පමනින් ගැනීම වේ රමනී කියන විතරක්ම එක තේරුම හැටියට මන් ගන්නේ නැහැ. මේ සිල් පදය තුල අනික් ඒවාට වඩා වෙනසක් තියෙනවලු ඒක තමා ක්‍රියාව සහ ප්‍රථිපලය යන දෙකම මේකේ තියෙන එක.
සුරාව- පැසවූ මත්පැන් මන් හිතන්නේ අරක්කු වගේ ඒවා
මේරය - පදම් නොකල මත් පැන් - රා වගේ ඒවා වෙන්න ඕනේ.
මත් වීම - සිහිය විකල් වෙන
පමාව - ප්‍රමාදයට හේතු වෙන - මේකනම් මන් හරියටම දන්නේ නැහැ මන් හිතන්නේ නිවනට පමා වෙන. කෙනෙක් හැම වෙලේම සිහියෙන් ඉන්නේ නැත්නම් ඒක නිවනට පමා වීමක් කියන එක කියලා මන් හිතන්නේ.
උපුටා ගැනීම බුදුමග (31/12/2009 - 18 පිටුව )
ඔය නොබොන අයගෙන් කීයෙන් කී දෙනාද සිහියෙන් ඉන්නේ? මත් නොවී ඉන්නේ , අඩුම ගානේ මත් වෙන්න දෙයක් නැත්නම් ටීවී එකේ යන මෙගා නාට්ටියකින් හරි මත් වෙලා ඉන්නේ ඉතින් මටනම් බොන නොබොන දෙගොල්ලොම එකයි.
(මගේ ධර්මයේ දැනුම පරීක්ෂා කරන්න හදන්න නම් එපා මන් දන්න තරමින් කියන්නේ කොහොමත් මේක බීම ගැන ලියන බ්ලොග් එකක් මිසක් බුද්ධාගම ගැන ලියන එකක් නෙමෙයිනේ)
සුරාව ගැන වගේම එකේ ආදීනව ගැනත් මන් ලියලා තියෙනවා මේකත් බලන්න.
මන් දිගටම මන් කැමති දේ ගැන ලියනවා මොකද අඩුම ගානේ මට මගේ බ්ලොග් එකේවත් මන් ආස දේ ගැන ලියන්න ඕනේ.
Can't read
පිදුම
අයිතිවාසිකම්
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
මේක ලියන්නේ ගම්පහ ආපිකෝ එකේ බාර් එකේ වැඩ කරන සියළුම සේවක මහතුන්ට උපහාර පිණිස!!!!!
මට මගේ මුළු ජීවිතේදිම හම්බ වෙලා තියෙන බාර් වල වැඩ කරන හොඳම සේවක මහතුන් ටික ඉන්නේ ගම්පහ ආපිකෝ එකේ. වර්තමානයේ විතරක් නෙමෙයි හැමදාම ඒකේ හිටපු අයගෙන් මට ලැබුනු සේවය නම් ඉස්තරම්. කාලෙකට පස්සේ පහුගිය දවසක ගොඩවැදුනම කාලෙකින් දැක්කේ නැහැ කියන්න තරම් ඔවුන් සුහදයි, (හැමදාම බොන්න පුළුවනෑ ඉතින්). මට විතරක් නෙමෙයි බොහොමයක් පාරිභෝගිකයනට ඔවුන්ගේ සේවය අතිශයිනම සුහදශීලී.
මේක හරිම අඩුවෙන් දකින්න ලැබෙන දෙයක් බාර වලින් බඩු ගන්නේ බේබද්දෝ (නැතුව බොන්නේ නැති උන්ට ගන්න දෙයක් බාර් වල නැහැනේ )කියන සංකල්පේ තමා බාර් වල වැඩ කරන අයත් ඉන්නේ ඉතින් ඊට වඩාඅ ගොඩක් වෙනස් මේ අයගේ මේ සැලකිල්ල හොඳට දැනෙන දෙයක්.
ඊට කලින් තියෙන බාර් 3ක්, සුපිරි වෙළඳ සැල් 2ක් පහු කරගෙන වැඩිපුර කිලෝමීටරයක් විතර දුරත් ගිහින් ආපිකෝ එකටම යන්නේ ඒ නිසාම තමයි. විශේෂයෙන් ෆුඩ් සිටියට සාපේක්ෂව මෙයාලගේ සේවය හරිම ඉහළයි. බෝතල් ගත්තම දාගන්න බෑග් එකක්වත් නොදෙන ෆුඩ් සිටියට වඩා ගන්නකොටම කවරෙක දාලා බෝතලේ ලස්සනට දෙන එකම කොච්චර වටිනවද. ඔය බෑග් එකට සත 50ක් යයි.
මම ගනුදෙනු කරපු ගොඩක් බාර් වල වැඩ කරන අය වැඩි කතා බහක් නැහැ ඒකටත් එක්ක මේ අය, කාර්යබහුල නොවන වෙලාවක් නම් ඇතුලටම ගිහින් බෝතල් ගැන කතා කරන්න ඒවායේ රස ගැන පොඩි විස්තරයක් කියන්න, ගනන් හිලව් ගැන කියන්න පොඩි වෙලාවක වෙන් කරන්නේ කිසිම ලෝබ කමක් නැතුව. බොන කෙනෙක් හැටියට මන් කැමතියි බීම ගැන ටිකක් කතා බහ කරන්න, ඉතින් ඒ වගේ අවස්ථාවක් බාර් එකක වැඩ කරන කෙනෙකුගෙන් ලැබෙන්නේ කලාතුරකින් ඉතින් ඒ වගේ අවස්ථාවක් මෙයාලගෙන් ලැබෙන එකම මදෑ.
ඉතින් මිත්‍රවරුනි, ඔබලාට ජයෙන් ජය වේවා!!!!
චියර්ස්!!!!!!
කාලෙකට කලින් අපි ගියා දඹානේ නෑදෑයෝ බලන්න. ඔන්න ඉතින් වැදි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ ගෙදරටත් අපි ගොඩ උනා. මෙන්න බොලේ මෙයා ගාව තියෙන ජාති මුළු ලංකාවෙම ඉන්න අය ආවත් දෙන්න ඉස්තරම් මී පැණි තියෙනවා ගෙට යනවා ගේනව. ගේ ඇතුලේ මන් හිතන්නේ මී මැස්සෝ වැඩ කරනවද කොහෙද. ඒ ඇරෙන්න තිබ්බ තවත් ජාතියක් තමා ඇත් දළ වලින් හදපු පෙන්ඩන්ට් සහ මුදු. ඇත්තම ඇත්ත ඇත් දළ. මේ ඇත් දළ ජාති මග දිගට හිටිය හැම වැද්දෙක් ගාවම තිබ්බ. ඉතින් අපි එක්ක ගිය ගොඩ දෙනෙක් මේ ඇත් දළ බඩු, මුදු , මාල පෙති ගත්තා.
මන් දන්න විදිහටනම් ඇත්දළ ලඟ තියාගෙන ඉන්නත් තහනම්. හැබෑටම මේ වැද්දන්ට මෙච්චර ඇත් දළ නම් කොහෙන්ද මන්දා. කවුදෝ කිව්වා ඔය ඇත්දළ හදන්නේ මැරිච්ච හරකුන්ගේ ඇට වලින් කියලා. එහෙම නැතුව හරිම ඇත්දළ නම් මේ වෙනකොට ලංකාවේ ඇත්තු ඉන්න විදිහක් නැහැ.
මේ ලිපිය ලියන්න හිතුනේ කියවමින් ඉන්න පොතක තියෙනවා ඉබි කට්ටෙන් හදපු කන්නඩි රාමුවක් ගැන. අපේ මිනිස්සු මේ විදිහට සත්ව කොටස් වලින් හදපු දේවල් පාවිච්චි කරන එක ගැන කතා කරන්නේ හරිම ආඩම්බරෙන්.
කොටි දත් ගැන, අලි කෙඳි දාපු මුදු , වලලු, අලි හම් වලින් හදපු මුදල් පසුම්බි, කැස්බෑවන්ගේ කට්ටෙන් හදපු දේවල්. ගොඩක් ඒවා ඇත්තම අලි කොටි නොවුනත් ඒවා තියෙන අය හරිම ආඩම්බරෙන් තමයි ඕවා ගැන කියන්නේ. හැබෑටම අනික් සතෙක්ගේ කෑලි තියා ගන්න එක ඔච්චර ලොකු කමක්ද?
නිකන් හිතලා බලන්න්කෝ මිනී ඇටයකින් හදපු මුද්දක්, පෙන්ඩන්ට් එකක් හරි, කෙස් ගහක් දාපු වලල්ලක් , මුද්දක් හරි, මිනී හමකින් හදපු මුදල් පසුම්බියක්, මිනිහෙක්ගේ වැටිච්ච දතක් මේ අය මේ වගේ නිකන් හරි පාවිච්චි කරයිද කියලා.
මාත් කරනවා එක දෙයක් ඒ තමයි ඉතින් මස් කන එක. මිනි මස් නම් කන්නේ නැහැ ඒත් අනික් ඒවා කන්නේ කෙල හල හල. බැලුවහම ඒකත් ඉතින් මේ වගේ තමා
වෙලාවක් තියේ නම් මේකත් බලන්න
Highway On My Plate එකේ අය ලංකාවට ආපු වෙලාව
ඉතින් තවත් අවුරුද්දක් ගෙවිලා ගියා. ඒක පටන් ගත්ත දවස නිකන් අද ඊයේ වගේ ඒත් අවුරුද්දක්ම අපිට නොදැනීම ඉවරයි. මන් කොහේ හරි දැක්ක අපි වැඩියෙන්ම නාස්ති කරන වැඩියෙන්ම වටින දේ තමා කාලය කියලා. මොන දේ නැති උනත් අපිට ඒවා උපයා ගන්න පුළුවන් ඒත් නැති වෙන කාලය.... ජනවාරි පලවෙනිදා කියලම නැතත් හැමදාම වගේ මන් හිතනවා කලේ නාස්ති කරන්න හොඳ නැහැ මොනා හරි ප්‍රයෝජනවත් වැඩ කරන්න ඕනේ කියලා ඒත් තාම ඒක ක්‍රියාවට නන්වන්න බැරි උනා.
ඉස්සරනම් ගොඩක් වෙලාවට ජනවාරි පළවෙනිදා ඉන්නේ ඔලුව කැරකි කැරකි, ආපහු එන ඒවා උගුරේ තියාගෙන, දවසම ඉන්නේ කූල් කෝඩියල් බිබී. දැන් නම් එහෙම නැහැ බොන එක නවත්තලා නිසා නෙමෙයි දැන් ඒක හරි ගිහිල්ලා. පළවෙනිදා ක්ලාස් ගිහින් බිත්තියට ඔළුව තියාගෙන හිටපු දවසුත් තිබ්බා. දැන් නම් එහෙම නැහැ.
සමහර අයනම් හිතන්නේ පළවෙනිදා හොඳට හිටියේ නැත්නම් අවුරුද්දම එහෙමයි කියලා ඒකනම් ඉතින් අමු බොරුවක් මොකෝ පළවෙනිදා ලමයි හම්බවෙන අම්මලට මුළු අවුරුද්දේම ලමයි හම්බ වෙනවායෑ. ඒ වගේ තමයි ජනවාරි පළවෙනිදා උනත් අනික් දවස් උනත් සේරම එකයි.
ඉතින් එහෙම නම්
උදාවූ නව වසර ඔබ සැමට අති විශේෂ සුභ නව වසරක් වේවා!!!
සියළු මත්පැන් ජාතිවල මිල අඩු වේවා!!!!
මාස්පතා පඩි වැඩි වේවා!!!!!
මතට තිත නොවී හැමදාම තිතට මත්වෙන්න ලැබේවා!!!!
අපිට ඉතින් සිංහල බාසාවෙන් යනකොට කියන්න එකක් නැහැනේ. මොකෝ ගිහින් එන්නම් 2009 කියන්නයෑ. 2009 ආයි ආපහු කවදාවත් එන එකක්යැ. ඒක නිසා යනකොටයි එනකොටයි දෙකටම කියන්න තියෙන්නේ ආයුබෝවන් තමා.
ඕන් ඉතින් 2009 ත් ඉවරයි හෙට ඉඳලා 2010 දිනේ ලියන්න ගියාම ටික දවසක් යනකම් ටිකක් අවුල් වෙයි මොකො 200 ලියලනේ අපි අනික් ඉලක්කම ගැන හිතන්නේ. ඒත් ඒක ටික දවසකින් හරියයි.
මේ අවුරුද්දට ලියන අවසාන බ්ලොග් ලිපිය. අද රෑට ඉතින් මොන මොනා හරි කරන්න තමා හිතාගෙන ඉන්නේ. හෙට ඉඳන් නව වසරක් උනාට මගේ නම් කිසිම දෙයක් අළුත් වෙන එකක් නැහැ. කවදාවත් මට ජනවාරි පළවෙනිදා කියලා අළුත් බලාපොරොත්තු තිබ්බේ නැහැ. අනික එදාට බලාපොරොත්තු ඇති කරගත්තා කියලා ඉතුරු දවස් 364 දි මන් ඒවා ඉෂ්ඨ කරගන්න මහන්සි වෙන එකක්යෑ.
එහෙනම් ඕන් 2009
අපි යනවා 2010ට
ආයුබෝවන් ඔබ!!!

පළතුරු කියපු ගමන් මට මතක් වෙන්නේ මංජුල වෙඩිවර්ධණගේ බත්තලංගුණ්ඩුවේ තිබ්බ පළතුරු ඒත් ඒ පළතුරු වල නම් රස බලන්න මට තාම නම් වාසනාවක් ලැබිලා නැහැ. ඒ පළතුරු නම් හොඳටම දන්න කියන එකෙනෙක්ගෙන් අරගෙන් මිසක් රසබලන එකත් ටිකක් විතර භයානකයිනේ. ඒත් මන් මේ කියන්න හැදුවේ ගස් වැල් වල හැදෙන පළතුරු ගැන.
මන් කන්න කැමතිම කෑමක් තමා පළතුරු කියන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න පළතුරු කන්න අකමැති අය මට හම්බ වෙලා නැහැ. මන් කන්නේ නැහැ කියලා කියන්න කිසිම පළතුරුක් නම් නැහැ ඒත් ලංකාවේ හැදෙන්නේ නැති ඇපල්, දොඩම්, මිදි, පෙයාර්ස් වගේ ඒවා කොච්චර කන්න ආස උනත් නොකා ඉන්න උත්සාහ කරන්නේ කඩලා මාස ගානක් යනකනුත් ඔය විදිහට තියා ගන්න කොච්චර බෙහෙත් ජාති දානවද කියලා හිතෙන නිසා
කවුරු හරි ඇහුවොත් මන් ආසම පළතුරු මොකද්ද කියලා ඒකට නම් එකක් කියන්න බැහැ. අඹ, රඹුටන්, මැංගුස්, දූරියන් වලට අනික් ඒවාට වඩා ටිකක් වැඩිපුර කැමතියි. අමුවෙන් කනවනම් වෙරළු, පේර වලටත් , ඉදිලා කනවනම් අඹ, වැල, වරකා, ඇඹරැල්ලා වලටත්, උයලා කනවා නම් කොස්, අඹ වලටත් අනික් ඒවාට වඩා ටිකක් විශේෂයක් දක්වනවා.
පළතුරු කියන්නේ කන්න විතරක් නෙමෙයි බොන්නත් පුළුවන් ජාතියක්නේ. එතකොටනම් අංක එකට එන්නේ අලිගැට පේර ඊලඟට දිවුල්. අඹ ගස්ලබුත් බොන්න නම් කැමතියි. ජින් බොනකොට දෙහි ටිකකුත් වොඩ්කා බොන්න දොඩම් යුෂත් තිබ්බනම් ඉතින් කියලා වැඩක් නැහැ.
අපේ රටේ හැදෙන්නේ නැති පළතුරු ජාතියක් නැහැ ඒත් අවාසනාවට වෙළඳපොළේ තියෙන පලතුරු ගැනනම් කාටවත් විශ්වාස කරන්න බැහැ ලස්සනට ලොකුවට තියෙන්නේ දාන්න පුළුවන් උපරිමේටම වස විස එකතු කරලා. ඒක නිසා අපේම කියලා වවාගෙන කෑවොත් මිසක් වස විස නැති කෙසෙල් ගෙඩියක් වත් කඩෙන් අරන් කනව නම් බොරු
පළතුරු කියන්නේ මාර ජාතියක්. අමුවෙන් කන්නත් පුළුවන් , ඉදිලා කන්නත් පුළුවන්, වෙලලා කන්නත් පුළුවන්, උයලා කන්නත් පුළුවන්, ලුණු මිරිස් කුඩු දාලා අච්චාරු කන්නත් පුළුවන් ඒ සේරටම වඩා වැඩියෙන්ම වැදගත් බයිට් එකට කන්නත් පුළුවන් ජාතියක්.
ඡායාරූපය මෙතනින්
මේ වගේ එකක් නම් මන් තාම දැකලා නැහැ ඒත් සිරසේ ගිය බුක් මාර්ක් කියන එක ටිකක් මේ වගේ කියලා මට හිතෙන්නේ. අජිත් ගලප්පත්තිගේ සහෘද සටහන් පොතේත් තියෙනවා මේ වගේ වැඩසටහනක් ගැන. ඉතින් මේ කෑම, බීම ගැන රූපවාහිනී වැඩසටහන නෙමෙයි පොත් ගැන එකක්. කාවද ගන්නේ ඉදිරිපත් කරන්න. මේ දෙන්න කොහොමද? දුකා එක්ක එල්ජී.
වැඩසටහන පෙල ගැහෙන්න හිතුවේ මෙහෙමයි. පොතක් තෝර ගන්නවා ඒක ලියපු කෙනයි, එක පොත් කඩේකුයි , පාර අයිනේ තියෙන ලාබෙට පොත් විකුනන තැනකුයි, තෝරගත්ත පොත කියවපු අයයි, පොත ගැන කියන්න දෙතුන් දෙනෙකුයි, ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පුස්ථකාලෙකුයි.
මුලින්ම තෝරගත්ත පොතෙන් ටිකක් කියවලා ලියපු කෙනාගෙන් ඒ පොත ලිවීම ගැන අහනවා. ටිකකින් ඔය පොත් කඩේ පෙන්නනවා. ඊට පස්සේ ඒ පොත කියවපු සාමාන්‍ය රසික රසිකාවියෝ දෙතුන් දෙනෙක්ගේ අදහන් විමසනවා. ඔය අතරේ මුළු වැඩසටහන පුරාම කඩින් කඩ අර තෝරගත්ත පොත ලියපු කෙනාගේ කතාබහත් යනවා. ඔය අතරේ අර පාර අයිනේ පොත් තියෙන තැනක් පෙන්නලා ඒක අයිති කෙනා එක්කත් පොඩි කතාබහක් කරනවා. පොත කියවපු ටිකක දැන උගත් කෙනෙක්ගේ අදහසුත් ඔය අතරේ දානවා.
අවසාන හරියේ පුස්ථකාලෙටත් ගොඩ වැදිලා ඒකේ විස්තරයකුත් දානවා. අන්තිමටම වගේ යන්නේ. අළුතින් නිකුත් වෙච්ච පොත් ගැන, පොත් එළිදැක්වීමේ උත්සව, පොත් ප්‍රදර්ශන සහ පොත් වලට සම්බන්ද තවත් කටයුතු ගැන විස්තර.
අපේ රටේ පොත් ප්‍රදර්ශනයේදි ඇරෙන්න පොත් කියන්නේ එච්චර ජනප්‍රිය දෙයක් නොවන නිසා මන් හිතන්නේ නම් නැහැ මේ වගේ එකකට අනුග්රාහකයෝ හොයා ගන්න නම් ලේසි වෙයි කියලා.
