මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඉතින් තවත් අවුරුද්දක් ගෙවිලා ගියා. ඒක පටන් ගත්ත දවස නිකන් අද ඊයේ වගේ ඒත් අවුරුද්දක්ම අපිට නොදැනීම ඉවරයි. මන් කොහේ හරි දැක්ක අපි වැඩියෙන්ම නාස්ති කරන වැඩියෙන්ම වටින දේ තමා කාලය කියලා. මොන දේ නැති උනත් අපිට ඒවා උපයා ගන්න පුළුවන් ඒත් නැති වෙන කාලය.... ජනවාරි පලවෙනිදා කියලම නැතත් හැමදාම වගේ මන් හිතනවා කලේ නාස්ති කරන්න හොඳ නැහැ මොනා හරි ප්‍රයෝජනවත් වැඩ කරන්න ඕනේ කියලා ඒත් තාම ඒක ක්‍රියාවට නන්වන්න බැරි උනා.

ඉස්සරනම් ගොඩක් වෙලාවට ජනවාරි පළවෙනිදා ඉන්නේ ඔලුව කැරකි කැරකි, ආපහු එන ඒවා උගුරේ තියාගෙන, දවසම ඉන්නේ කූල් කෝඩියල් බිබී. දැන් නම් එහෙම නැහැ බොන එක නවත්තලා නිසා නෙමෙයි දැන් ඒක හරි ගිහිල්ලා. පළවෙනිදා ක්ලාස් ගිහින් බිත්තියට ඔළුව තියාගෙන හිටපු දවසුත් තිබ්බා. දැන් නම් එහෙම නැහැ.

සමහර අයනම් හිතන්නේ පළවෙනිදා හොඳට හිටියේ නැත්නම් අවුරුද්දම එහෙමයි කියලා ඒකනම් ඉතින් අමු බොරුවක් මොකෝ පළවෙනිදා ලමයි හම්බවෙන අම්මලට මුළු අවුරුද්දේම ලමයි හම්බ වෙනවායෑ. ඒ වගේ තමයි ජනවාරි පළවෙනිදා උනත් අනික් දවස් උනත් සේරම එකයි.

ඉතින් එහෙම නම්

උදාවූ නව වසර ඔබ සැමට අති විශේෂ සුභ නව වසරක් වේවා!!!
සියළු මත්පැන් ජාතිවල මිල අඩු වේවා!!!!
මාස්පතා පඩි වැඩි වේවා!!!!!
මතට තිත නොවී හැමදාම තිතට මත්වෙන්න ලැබේවා!!!!

අපිට ඉතින් සිංහල බාසාවෙන් යනකොට කියන්න එකක් නැහැනේ. මොකෝ ගිහින් එන්නම් 2009 කියන්නයෑ. 2009 ආයි ආපහු කවදාවත් එන එකක්යැ. ඒක නිසා යනකොටයි එනකොටයි දෙකටම කියන්න තියෙන්නේ ආයුබෝවන් තමා.

ඕන් ඉතින් 2009 ත් ඉවරයි හෙට ඉඳලා 2010 දිනේ ලියන්න ගියාම ටික දවසක් යනකම් ටිකක් අවුල් වෙයි මොකො 200 ලියලනේ අපි අනික් ඉලක්කම ගැන හිතන්නේ. ඒත් ඒක ටික දවසකින් හරියයි.

මේ අවුරුද්දට ලියන අවසාන බ්ලොග් ලිපිය. අද රෑට ඉතින් මොන මොනා හරි කරන්න තමා හිතාගෙන ඉන්නේ. හෙට ඉඳන් නව වසරක් උනාට මගේ නම් කිසිම දෙයක් අළුත් වෙන එකක් නැහැ. කවදාවත් මට ජනවාරි පළවෙනිදා කියලා අළුත් බලාපොරොත්තු තිබ්බේ නැහැ. අනික එදාට බලාපොරොත්තු ඇති කරගත්තා කියලා ඉතුරු දවස් 364 දි මන් ඒවා ඉෂ්ඨ කරගන්න මහන්සි වෙන එකක්යෑ.

එහෙනම් ඕන් 2009
අපි යනවා 2010ට
ආයුබෝවන් ඔබ!!!


පළතුරු කියපු ගමන් මට මතක් වෙන්නේ මංජුල වෙඩිවර්ධණගේ බත්තලංගුණ්ඩුවේ තිබ්බ පළතුරු ඒත් ඒ පළතුරු වල නම් රස බලන්න මට තාම නම් වාසනාවක් ලැබිලා නැහැ. ඒ පළතුරු නම් හොඳටම දන්න කියන එකෙනෙක්ගෙන් අරගෙන් මිසක් රසබලන එකත් ටිකක් විතර භයානකයිනේ. ඒත් මන් මේ කියන්න හැදුවේ ගස් වැල් වල හැදෙන පළතුරු ගැන.

මන් කන්න කැමතිම කෑමක් තමා පළතුරු කියන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න පළතුරු කන්න අකමැති අය මට හම්බ වෙලා නැහැ. මන් කන්නේ නැහැ කියලා කියන්න කිසිම පළතුරුක් නම් නැහැ ඒත් ලංකාවේ හැදෙන්නේ නැති ඇපල්, දොඩම්, මිදි, පෙයාර්ස් වගේ ඒවා කොච්චර කන්න ආස උනත් නොකා ඉන්න උත්සාහ කරන්නේ කඩලා මාස ගානක් යනකනුත් ඔය විදිහට තියා ගන්න කොච්චර බෙහෙත් ජාති දානවද කියලා හිතෙන නිසා

කවුරු හරි ඇහුවොත් මන් ආසම පළතුරු මොකද්ද කියලා ඒකට නම් එකක් කියන්න බැහැ. අඹ, රඹුටන්, මැංගුස්, දූරියන් වලට අනික් ඒවාට වඩා ටිකක් වැඩිපුර කැමතියි. අමුවෙන් කනවනම් වෙරළු, පේර වලටත් , ඉදිලා කනවනම් අඹ, වැල, වරකා, ඇඹරැල්ලා වලටත්, උයලා කනවා නම් කොස්, අඹ වලටත් අනික් ඒවාට වඩා ටිකක් විශේෂයක් දක්වනවා.

පළතුරු කියන්නේ කන්න විතරක් නෙමෙයි බොන්නත් පුළුවන් ජාතියක්නේ. එතකොටනම් අංක එකට එන්නේ අලිගැට පේර ඊලඟට දිවුල්. අඹ ගස්ලබුත් බොන්න නම් කැමතියි. ජින් බොනකොට දෙහි ටිකකුත් වොඩ්කා බොන්න දොඩම් යුෂත් තිබ්බනම් ඉතින් කියලා වැඩක් නැහැ.

අපේ රටේ හැදෙන්නේ නැති පළතුරු ජාතියක් නැහැ ඒත් අවාසනාවට වෙළඳපොළේ තියෙන පලතුරු ගැනනම් කාටවත් විශ්වාස කරන්න බැහැ ලස්සනට ලොකුවට තියෙන්නේ දාන්න පුළුවන් උපරිමේටම වස විස එකතු කරලා. ඒක නිසා අපේම කියලා වවාගෙන කෑවොත් මිසක් වස විස නැති කෙසෙල් ගෙඩියක් වත් කඩෙන් අරන් කනව නම් බොරු

පළතුරු කියන්නේ මාර ජාතියක්. අමුවෙන් කන්නත් පුළුවන් , ඉදිලා කන්නත් පුළුවන්, වෙලලා කන්නත් පුළුවන්, උයලා කන්නත් පුළුවන්, ලුණු මිරිස් කුඩු දාලා අච්චාරු කන්නත් පුළුවන් ඒ සේරටම වඩා වැඩියෙන්ම වැදගත් බයිට් එකට කන්නත් පුළුවන් ජාතියක්.

ඡායාරූපය මෙතනින්

මේ වගේ එකක් නම් මන් තාම දැකලා නැහැ ඒත් සිරසේ ගිය බුක් මාර්ක් කියන එක ටිකක් මේ වගේ කියලා මට හිතෙන්නේ. අජිත් ගලප්පත්තිගේ සහෘද සටහන් පොතේත් තියෙනවා මේ වගේ වැඩසටහනක් ගැන. ඉතින් මේ කෑම, බීම ගැන රූපවාහිනී වැඩසටහන නෙමෙයි පොත් ගැන එකක්. කාවද ගන්නේ ඉදිරිපත් කරන්න. මේ දෙන්න කොහොමද? දුකා එක්ක එල්ජී.

වැඩසටහන පෙල ගැහෙන්න හිතුවේ මෙහෙමයි. පොතක් තෝර ගන්නවා ඒක ලියපු කෙනයි, එක පොත් කඩේකුයි , පාර අයිනේ තියෙන ලාබෙට පොත් විකුනන තැනකුයි, තෝරගත්ත පොත කියවපු අයයි, පොත ගැන කියන්න දෙතුන් දෙනෙකුයි, ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පුස්ථකාලෙකුයි.

මුලින්ම තෝරගත්ත පොතෙන් ටිකක් කියවලා ලියපු කෙනාගෙන් ඒ පොත ලිවීම ගැන අහනවා. ටිකකින් ඔය පොත් කඩේ පෙන්නනවා. ඊට පස්සේ ඒ පොත කියවපු සාමාන්‍ය රසික රසිකාවියෝ දෙතුන් දෙනෙක්ගේ අදහන් විමසනවා. ඔය අතරේ මුළු වැඩසටහන පුරාම කඩින් කඩ අර තෝරගත්ත පොත ලියපු කෙනාගේ කතාබහත් යනවා. ඔය අතරේ අර පාර අයිනේ පොත් තියෙන තැනක් පෙන්නලා ඒක අයිති කෙනා එක්කත් පොඩි කතාබහක් කරනවා. පොත කියවපු ටිකක දැන උගත් කෙනෙක්ගේ අදහසුත් ඔය අතරේ දානවා.

අවසාන හරියේ පුස්ථකාලෙටත් ගොඩ වැදිලා ඒකේ විස්තරයකුත් දානවා. අන්තිමටම වගේ යන්නේ. අළුතින් නිකුත් වෙච්ච පොත් ගැන, පොත් එළිදැක්වීමේ උත්සව, පොත් ප්‍රදර්ශන සහ පොත් වලට සම්බන්ද තවත් කටයුතු ගැන විස්තර.

අපේ රටේ පොත් ප්‍රදර්ශනයේදි ඇරෙන්න පොත් කියන්නේ එච්චර ජනප්‍රිය දෙයක් නොවන නිසා මන් හිතන්නේ නම් නැහැ මේ වගේ එකකට අනුග්‍රාහකයෝ හොයා ගන්න නම් ලේසි වෙයි කියලා.

මන් ඉතින් වයසක මනුස්සයනේ ඉතින් මට මතක ටීවී වැඩසටහන් සේරම වගේ දැනට අවුරුදු දහයකට විතර කලින් ටීවී එකේ ගියපු ඒවා. මේ පොඩ්ඩක් ලියන්න හදන්නේ ඒවා ගැන.

ඉස්සරම කාලේනම් ගිය ටෙලිනාට්‍ය ගැන එච්චරම මතකයක් නැහැ. ඒ කාලේ දැන් වගේ හැමදාම ටෙලිනාට්‍ය ගියාද මන්දා. මන් හිතන්නේ පරණම මතක ටෙලිනාට්‍ය තමා "කෝපි කඩේ" තාමත් "කෝපි කඩේ" ගියා දැන්නම් බලපු කාලයක් මතක නැහැ. මේවා නම් පරණමද මන්දා ඒත් කාලෙකට කලින් බැලුවා කියලා මතකයි. බෝඩිම, අසල්වැඩියෝ, පලිඟු මැණිකේ, දූදරුවෝ, සුසීමා ඒගේ ඒවා.

ටෙලිනාට්‍ය ඇරුනම ගොඩක්ම බලන්න ඇත්තේ ටීවී එකේ යන ඉංග්‍රීසි කතා. මන්කි කියල එකක් බැලුවා මතකයි ගොඩක් කාලෙකට ඉස්සර. ඒකටනම් පුදුම ආසාවක් තිබ්බ ඒ කාලේ. නයිට් රයිඩර්, ටාසන් (පස්සෙ කාලෙක සිරසේ ගිය එක නෙමෙයි), කුංග්ෆු වලටත් පිස්සු හැදිලා හිටියා.

ඊට ටිකක් පස්සේ කාලේ නම් ඕෂන් ගර්ල්, ස්පෙල් බයින්ඩර්, ජැක් ඇන්ඩ් ජිල්, සෙක්ස් ඇන්ඩ් ද සිටි, සූර පප්පා ගොඩක් ආසාවෙන් බැලුවා. ටෙලි නාට්‍ය දෙක තුනම් බැලුවත් ඒවායේ නම් නම් හරියටම මතක නැහැ. හිරුට මුවාවෙන්, ගැහැණු ලමයි, ඉටිපහන්, සින්තටික් සිහිනය, අකාල සන්ද්‍යා, දණ්ඩුබස්නාමානය, සබඳ පබිලිස්, සකිසඳ එලියස් වගේ ඒවා දිගටම වගේ බැලුවා. මන් හිතන්නේ අන්තිමටම බලපු ටෙලිනාට්‍ය සබඳ පබිලිස් ද කොහෙද .ඊට පස්සේ ඒක්වත් දිගටම බැලුවේ නැහැ.

මන් හිතන්නේ වැඩිම සැරයයක් ටීවී එක බලපු වැඩසටහන තමා රොබින් හුඩ් (දැන් යන අළුත් එක නම් නෙමෙයි පරන එක). දොස්තර හොඳ හිත වගේ කාටූන් තාමත් බලන්න ආසයි. සූර පප්පත් ආයි ආයි බලන්න පුළුවන්.

සකිසඳ එලියස් වගේ ටෙලිනාට්‍යක් නම් ආයිත් බලන්න පුළුවන්. අශෝක හඳගම , ජයන්ත චන්ද්‍රසිරි හදපු සේරම ටෙලිනාට්‍ය ආසවෙන් බැලුවා. ඇල්ල ලඟ වලව්ව වගේ ඒකක් වැඩිපුරම බැලුවේ ඇස් පියාගෙන. ඒත් දැන් පරණ ටීවී වැඩසටහන් බලනකොට ඒවායේ පාටවල් නිකන් පරණ පාටයි වගේ. දැන් තියෙන ඒවායේ තියෙන්නේ ගොඩක් ඇත්තම වගේ පාටවල් නේ.

සමහර ඒවානම් බැලුවේ ඒවායේ රඟපාන නිලියෝ නිසා. ජෙසිකා ඇල්බා නිසා ඩාර්ක් ඒන්ජල්, තවත් කවුදෝ නිසා මෙල් රොස් ප්ලේස් කියලා එකකුත්, ජේන් නිසා සිරසේ ගිය ටාසන්, ඕෂන් ගර්ල් නිසා ඒකත් බොහොම උනන්දුවෙන් බැලුවා. අපේ නිළියෝ නිසාත් සමහර ටෙලිනාට්‍ය කට ඇරගෙන බැලුවා.

ඉස්සර තිබ්බේ ටීවී චැනල් දෙකයි තුනයි නිසා වැඩිය අවුලක් නැතුව ටීවී බලන්න පුළුවන් උනත් දැන් නම් පවුලේ හැමෝටම එක ටීවී එක ගානේ නැතනම් ඇණ කොටා ගන්නේ නැතුව ටීවී බලනවා කීයන එක බොරුවක්

මේක ඉතින් හැමෝම දන්න මැස්මක් ඒත් කීයෙන් කීදෙනෙක් මේක හරියට මහනවද කියන එක තමා මට තියෙන ගැටළුව.
මේ දවස්වල "ගැහැණු ලමයි" ටෙලිනාට්‍ය ටීවී එකේ යනවා නේද, මම නම් ටීවී එකෙන් ඈත් වෙලා ඉන්න නිසා බලන්න නම් හම්බ වෙලා නැහැ. ඒත් කාලෙකට කලින් ගියා අයි ටී එන් එකෙත් "ගැහැණු ලමයි" ටෙලිනාට්‍ය අන්න ඒකන් මන් ගොඩක් ආසාවෙන් බැලුවා කියලා ලාවට වගේ මතකයි.
ඔය "ගැහැණු ලමයි" එකේ නිමල්ගේ මල්ලි රොහණ, දවසක් කුසුම්ලගේ ගෙදර ඇවිත් එයාලගේ අම්මා කමලාවතී ගැන මෙහෙම කියනවා
"...කොස් ඇටයක් අහක දාන්න බැහැ. ගහේ බිලිං ටික අහක යන්වට ලෝබකමට ඕක කඩල වේළල් තව තුනපහත් දාල අච්චාරු දාල බල්ලෙක්වත් කන්නේ නැහැ කුණු උනාම අහක දානවා. ඒක අපතේ යාමක් කියලා හිතන්නේ නැහැ ..." කියලා.
ඔය ටික කියවනකොට මටනම් මතක් උනේම අපේ ගෙදරයි අපේ සීයලෑ ගෙදරයි. ඔය දෙකේම එහෙමයි. කෑම පොදක් විසිකරන්නේ නැහැ. ඒක ඉස්සරනම් මන් දන්නේ නැහැ දැන්නම් ෆ්‍රිජ් එකේ දාලා සතියක් විතර තියාගෙන ඉඳලා තමා විසිකරන්නේ. ෆ්‍රිජ් එකේ තියෙනවට යන විදුලිය ගැන නිකන් ඉඩ යන එක ගැන එහෙම මෙලෝ ගානක් නැහැ. මටනම් ඔය වැඩේ පෙන්නන්න බැහැ ඒත් ඉතින් ඕකට දැන් රණ්ඩු වෙලා ඇති වෙලා. කොච්චර කලත් වයසක උදවිය හදන්න බැහැනේ කියලා මන් දැන් සද්ද වහලා ඉන්නවා. අපේ සීයලෑ ගෙදරත් එහෙමයි. කිසිම දෙයක් විසිකරන්නේ නැහැ විසිකරන්නේ කාලයක් තියාගේන ඉඳලා තියගත්ත එකේ වටිනාකම වගේ දෙකක පාඩුවකුත් සිද්ද කරගෙන හැබැයි එතකොට අර කලින් විසික්කරනන් තිබ්බ දුක නැහැ.
ඔය අහක දාන කඩදාසි එහෙම එකතු කරලා අන්තිමට අලි වේයෝ ගොඩක් හදාගෙන ඒක විසික් කරන්නේ ගෙදර තියෙන කබඩ් එකක තට්ටුවක් එක්ක ඒත් ගානක් නැහැ ආයි අනික් තට්ටුවෙත් ඒ වගේම කුණුගොඩක් එකතු කරනවා. අනේ මන්දා මේ පරණ කට්ටිය. සමහර විට ඕක වයසට එන ලෙඩක් වෙන්න පුළුවන්. මාත් වයසට ගියාම එහෙම වෙයිද දන්නේ නැහැ.
දවසක් ටීවී එකේ කවුද කියනවා, අහක දාන කිරි හට්ටි එකතු කරන්වලු ගහක් හිටවන්න කියලා ඒත් අන්තිමට කිරි හට්ටි ගොඩක් එකතුවෙලා එකකවත් ගස් නැහැ කියලා. ඔය වගේ තමා විසිකරන්න ලෝබයි ඒත් ගන්න වැඩක් නම් නැහැ.

පහුගිය දවසක මගේ ප්‍රියතම පානය බොද්දි අපි තුන් දෙනෙක් වොඩ්කා බෝතලෙන් බාගයක් ඉවරකරනකොට කෝකා කෝලා ලීටර 2ක් විතර ඉවර කරලා. ඇත්තෙන්ම බැළුවම අපි බීලා තියෙන්නේ කොකා කෝලා. කොකා කෝලා දාල බොද්දි කොච්චර හොඳ බීමක උනත් රස නෙමෙයි අපිට තේරෙන්නේ කොකා කෝලා වල රස ඒත් මොනා කරන්නද කෝකා කෝලා වලට හොඳ ආදේශකයක් තාම නම් මට හම්බ වෙලා නැහැ. මයි කෝලා, ෂා කෝලා, පෙප්සි වගෙ ජාති කීපයක් තිබ්බත් ඒ එකක්වත් මටනම් කෝකා කෝලා අහලකින්වත් තියන්න බැහැ.

ඇල්කොහොල් කියන්නේ කොහොමත් ඇඟට වැඩිය ගුණ ජාතියක් නෙමෙයිනේ ඉතින් ඒකට තව ඊටත් වඩා ඇඟට හොඳ නැති කෝකා කෝලාත් දාලා බිව්වම ඉත්න් අපේ සරීරයට ටිකක් ඔරොත්තු නොදෙන්න පුළුවන්.

ඔය සමහර තැන්වල නම් කෝකා කෝලා පොඩ්ඩක් දාලා කෝප්ප පිරෙන්න අයිස් කැට දාලා එක එක ගනන් වලට විකුනනවා. කෝප්පේ ලොකු පොඩි උනත් දාන කෝකා කෝලා ප්‍රමානයනම් එකයිලු වෙනස් වෙන්නේ දාන අයිස් කැට ප්‍රමානය කියලා කව්දෝ කිව්වා. ඒකේ ඇත්ත නැත්ත නම් මන් දන්නේ නැහැ. සමහර තැන්වල කෝකා කෝලා එක වීදුරුවකට දාලා ඒකට දෙහි කෑල්ලකුත් දාලයි විකුනන්නේ. ඒකේ ගාන නම් ටිකක් සැරයි හැබැයි රසනම් නියමයි. නිකන් කෝකා කෝලා එකකට වඩා දෙහි පෙත්තක් දාපු එකක අමුතු රසක් තියෙනවා වගේ මටනම් දැනෙන්නේ.

අපි ඉතින් ලේසියට පහසුවට වැඩිපුර ගන්නේ ලීටර එකහමාරේ, බාගේ ප්ලස්ටික් බෝතල්නේ ඒත් මේ ප්ලස්ටික් බෝතල්වල තියෙන ගොඩක් ඒවායේ රැස් ගිහින්. ඒක නිසා මන් හිතන්නේ වීදුරු බෝතලේ තියෙන එකේ රස ටිකක් වැඩී ප්ලස්ටික් බෝතලේ තියෙන ඒවාට වඩා.

කෝකා කෝලා කියන්නේ ඇමරිකාව අඟවන සලකුණක් වගේ හින්දද මන්දා ගොඩක් මුස්ලිම් කඩවල කෝකා කෝලා විකුනන්නේ නැහැ. අනික් ටවුන් ගැන නම් මන් හරියටම දන්නේ නැහැ ඒත් දෙහිවල තියෙන ගොඩක් මුස්ලිම් කඩවල කෝකා කෝලා නැහැ පෙප්සි තමා තියෙන්නේ.

කෝකා කෝලා ගැන කියවෙන නොයෙක් ඊමේල් මටත් ලැබිලා තියෙනවා. කෝකා කෝලා භාවිතා කරලා අරවා මේවා කරන්න පුළුවන් වගේ කියන කතා තියෙන, ඒ වගේම සමහර වීඩියෝ හිටන් දකින්න ලැබිලා තියෙනවා ඒත් ඒ එකකින් වත් මන් කෝකා කෝලා බොන එකට කිසිම බලපෑමක් නම් කරන්න පුළුවන් වෙලා නැහැ. හැබැයි ඒක් තියෙනවා මන් කෝකා කෝලා නම් නිකන් බොන්නේ හරිම කලාතුරකින් අනිවාර්යෙන්ම ඒකට ඇල්කොහොල් නම් දාගෙනම තමා බොන්නේ.

අපේ ඔය FM නාලිකාවලට අළුත් සිංදුවක් එහෙම දුන්නම ඒක ඉතින් දාලා දාලා පට්ට ගහනවනේ ඉතින් ටික දවසක් ගියාම අර සිංදුවත් එක්කම එපා වෙලා යනවා. ඔය දැන් එන ගොඩක් සිංදු එනවා ආපු ගමන් ජනප්‍රියත්වයේ මුදුනටම යනවා ඊට පස්සේ ඉතින් අහන්නත් එපා වෙනවා.

මේ නාලිකා වලින් බුද්ධාගමටත් ඒකම කරන්න හදනවද මන්දා. දැන් හැම එෆ් එම් චැන්ල් එකකම එක එක ජාතියේ පිරිත් දේශනා. සමහර ඒවා මන් අහලවත් නැහැ බුදුහාමුදුරුවෝ කියපුවද මෙයාලා හදපුවද මන්දා. අර සූත්‍රය මේ සූත්‍රය. ගොඩක් ඒවා මහා බලගතුයි ඉතින් කන පැලෙන්න සද්දෙන් මේවා දැම්මම සේරම ගොඩ.

හාමුදුරුවරු එෆ් එම් එක බණට කියන්වා මිනිස්සු පන්සල් එනවා අඩුයි කියලා. ඇයි ඉතින් පන්සල් යන්නේ හාමුදුරුවො ගෙදර ඉඳන් අහන්නම එෆ් එම් එකේ බණ කියනකොට. උදේ හවස එක එක සූත්‍ර දේශනා කරනකොට.

පහුගිය දවසක උදේ පාන්දර බස් එකේ යන්කොට හෙන සද්දෙන් පිරිත් දාලා. ඕන් ඉතින් හාමුදුරු නමකුත් බස් එකට නැග්ගා දැන් කොන්දොස්තර සල්ලි එකතු කරන්වා. ඉස්සරහම හිටිය හාමුදුරුවෝ අතඇරලා ඇවිත් ඊලඟ කෙනාගෙන් සල්ලි අරන් අන්තිමට හාමුදුරුවො ගාවට ගිය. උදේ හවස මොන පිරිත් දේශනාවක් ඇහුවත් මිනිහා විශ්වාස කරනව උදේම හාමුදුරු කෙනෙක්ගෙන් සල්ලි ගන්න්න එක හොඳ නැහැ කියලා. මිනිස්සු දැන් මෝස්තරේකට වගේ පිරිත් අහනවා ඒත් අනේ මන්දා....

ඔය බෞද්ධ අය අළුතෙන් ගෙයකට යනකොට පිරිත් කියන්න හාමුදුරුවරු වැඩම්මුවට වැරදිලාවත් අළුත් ගෙදරින් කන්න බොන්න හාමුදුරු කෙනෙක්ට නම් ඉස්සෙල්ලම දෙන්නේ නැහැල්ලු. අනික් ආගම් ගැන මන් දන්නේ නැහැ හැබැයි ගොඩක් බෞද්ධයො නම් ඔය වගේ බොරු ශ්‍රද්ධාවකින් තමා ඉන්නේ. ඒ උනාට මොකද උදේට නැගිටින්නේ රෑට නිදියන්නේ පිරිත් අහ අහ.

දැන් සෑම ගෙදරකම තිබියයුතු අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට කම්පියුටරේ පත්වෙලානේ ඉතින් හැමෝම බලනවා කොහොම හරි කම්පියුටරයක් ගන්න. ඉතින් ගෙදර ඉන්න එක ලමයෙක්ගේ විභාගයක් හරි මොකක් හරි කියලා ඒක ඉවර උනාම අරන් දෙන්නම් කියලා කොහොම හරි පරිගනකයක් අරගන්නවා.

යන්තමට හරි මන් ඉගෙනගෙන තියෙන්නේ පරිගනක මෘදුකාංග ගැන උනත් අනික් අයට ඕක තෙරෙන්නේ නැති නිසා හිතන්නේ මම කම්පියුටර් කරලා තියෙනවා ඒක නිසා දෘඩකාංග ගැනත් හොඳට දන්නවා කියලා. අනේ ඔය හාර්ඩ්වෙයාර් ගැන නම් මගේ දැනුම බිංදුවයි ඒත් ඉතින් අළුතෙන් පරිගනකයක් ගන්න යනකොට බැහැයි කිව්වොත් ඒකටත් කතාවක අහගන්න වෙන නිසා මාත් යනවා. ගියාට වැඩක් නැහැ කඩේ මිනිහා කියන එකක් ඇරෙන්න මාත් ඔය කෑලි බෑලි ගැන වැඩිය දන්නේ නැහැ.

ඕන් ඉතින් ගියාට පස්සේ අතේ තියන මුදලට හොයන්නේ ඉස්තරම්ම එකක්. ඒක ඉතින් කාගෙත් හැටිනේ ඒත් ඉතින් ඒ ගනන් වලට ඉස්තරම්ම ඒවා හොයන්න ගියාම පන යනවා. ඊට පස්සේ මෘදුකාංග. ඕනේ එකයි එපා එකයි සේරම දාගන්නත් ඕනේ. ෆයිල් සර්වර් එකක්කටත් වඩා ලොකු හාර් ඩිස්ක් එකක්. ගේම් ගහන්න පුළුවන් වීජීඒ කාර්ඩ්. ඔය සේරම දැම්මම ගාන පැනලා ඕන් ඉතින් ආයි කෑලි අඩු කරනවා.

ඔහොම ඉතින් අරවා මේවා කරලා ගේන් කම්පියුටර් එකට ගෙනාපු ගමන් හම්බ වෙන හැම සොෆ්ට්වෙයාර් එකම ඉන්ස්ටෝල් කරනවා. ඕනේද එපාද කියලා බලන්නේ නැහැ. ඔහොම දාල වයිරස්නුත් දාගෙන අර අරගෙන දෙන්න ගිය වරදට ආපහු මටම කියනවා ඒකත් හදලා දෙන්න කියලා.

ඕන් ඉතින්සේරම කරගෙන ගෙනාපු කම්පුයිටර් එකෙන් මාසෙකට විතර පස්සේ මොනාද කරන වැඩ කියලා ඇහුවම කරලා තියෙන්නේ ෆිල්ම් බලන එකයි, සිංදු අහන එකයි , ගේම් ගහන එකයි ඔය ටික කරන්න ඕකක් ගන්න ඕනේද මන්දා.

ගොඩක් වෙලාවට ඔය මුලින්ම පාවිච්චියට ගන්න පරිගනකය භාවිතාකරපු අඩුමිල එකක් උනාට කමක් නැහැ කියලා මන් නම් හිතන්නේ. ඒත් අපෙ අයට ඕක කියන්න ගියොත් ඒකත් කතාවක් අහගන්න වෙන වැඩක් තමා. මොකද කවුරුත් ලොකු ලොකු දේවල් කරන්නේ නැහැ. එකමදේ අළුත් ගේම් නම් ගහන්න බැරි වෙන එක අනික් සේරම කරන්න පුළුවන් පරණ පරිගනකයකිනුත්

බීම ඇරුනම මන් වැඩියෙන්ම කතාකරන්න කැමති මාතෘකාවනේ පොත් කියන්නේ. ඉතින් පොත් ගැන ටිකක් ලියන්න හිතුනා.

අපි කියවන පොත් වලින් සමහර පොත් තියෙනවා ආයි ආයි කියවන්න ආස හිතෙන ඒවා. සමහර ඒවා නම් සල්ලි දීල අර ගත්තත් එක පාරක්වත් කියවන්න හිතෙන්නේ නැහැ මගදිම එපා වෙනවා. මන් ගාවත් එහෙම කියවපු නැති පොත් තියෙනවා. ඒත් මන් මේ කියන්න හදන්නේ ආයි ආයි කියවපු පොත් ගැන.

පොඩිම කාලේ ආයි ආයි කියවපු කතා පොතක් තමා "ලස්සන වසීලිස්සා" මේක නම් පොඩිම කාලෙ නෙමෙයි දැන් උනත් ආපහු කියවන්න ආසා හිතෙන පොතක්. කීය වසරෙද කියලා මතක නැහැ ඒත් ඉස්කොලේ සිංහල පොතක තිබ්බ දොන් පීටර් පියතුමාගේ "වනගත ලමෝ" පොතේ කොටසක් ඒක නිසා ගත්ත "වනගත ලමෝ" පොතත් කීප සැරයක්ම කියෙව්වා. එතුමාගේම "ඩිංකි", "පාළු දූපත", "අමල්ගේ බල්ලා" එකපාරකට වඩා කියවලා තියෙනවා. මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ "මඩොල් දූවත්" මන් හිතන්නේ පස් හය පාරක් කියවලා ඇති. කුලසේන ෆොන්සේකා මහත්මයා ලියපු "තුන් යහළු වික්‍රමය", "කල්ලන් දූවේ මුතු කොල්ලය" සහ "සෝමපුර වීරයෝ", තව ලිව්වේ කවුද කියලා මතක නැති "නෙල්ලි කැලේ වීරයෝ", "කඩවර" වගේ පොතුත් එකපරකට වඩා කියවලා තියෙනවා.

කලින් කිව්වේ ඉස්කොලේ යන කාලේ වගේ දෙපාරක් කියවපු පොත් ගැන. ඊට පස්සේ කාලේ ගත්ත පොත්වලින් චිත්තා ලක්ෂ්මී සිංහ ආරච්චි පරිවර්ථනය කරපු "අරණට පෙම් බැඳි" දෙතුන් පාරක් කියෙව්වා. සුනේත්‍රා රාජකරුණානයකගේ "ප්‍රේම පුරාණය" දෙපාරකටත් වඩා බලන්න ඇති. සරත්චන්ද්‍රයන්ගේ "මළ ගිය ඇත්තෝ", "මළ උන්ගේ අවුරුදු දා" දිනෙෂ් කොළඹගේ ගේ "සුළඟ වගේ ඇවිදින්", චන්දරසිරි දොඩංගොඩගේ "මගේ සඳ ඔබ" එඩ්වඩ් මල්ලවාරච්චිගේ "චාතුර්යා 1 " එක පාරකට වඩා කියවපු තවත් පොත්. සමහර පොත් වල මුළු පොතම නැතුව පොඩි පොඩි කෑලි ආපහු කියවනවා. සුජීව ප්‍රසන්න ආරච්චිගේ "බොඳ මීදුම් 1" පොතේ සමහර පිටු ආයි ආයි බැලුවා කියලා මට මතකයි

මෑත කාලේදි ගත්ත පොත් වලින් නම් දෙපාරක් කියවපු පොතක් නැති තරම්. මංජුල වෙඩිවර්ධනගේ "බත්තලංගුණ්ඩුව" ඇරෙන්න එහෙම දෙපාරක් කියවන්න ආස හිතෙන පොතක් ලඟදි නම් ගත්තේ නැහැ.

සේරම පොත් අතරින් මන් වැඩිම පාරක් කියවපු පොත තමා දිනේෂ් කොළඹගේ ගේ "සුලඟ වගේ ඇවිදින්" මේක නම් කීපාරක් කියෙව්වද මතක නැහැ.

එකපාරක් බැලුවට පස්සේ පොතක අවසානය ගැන තියෙන කුතුහලයනම් නැති වෙනවා ඒත් ආයි ආයි පොතක් බලන්නේ හිතෙන්නේ එහෙම ආයි ආයි කියවලත් ඒකෙන් අමුත් ගතියක් ලැබෙන නිසා කියලා මට නම් හිතෙන්නේ

පොත් වලට කැමති කට්ටිය අළුත් වැඩක් කරනව ඒකත් නිකන් ඉන්න වෙලාවක ගිහින් බලන්න.

අපේ අයියා කෙනෙක් හිටියා මකුළුවන්ට පුදුම බයක් අඟට එහෙම වැටුනොත් උඩ පැනලා දුවන්නේ. (මාත් එහෙම තමා ඒත් එචරම බය නැහැ)

අපි හිතන්නේ මිනිස්සු වැඩියෙන්ම බය සත්තු කියලා අලි කොටි වලස්සු නයි පොලොඟු කියලා ඒත් මන් නම් හිතන්නේ මිනිස්සු වැඩියෙන්ම බය මකුළුවෝ කැරපොත්තෝ වගේ උන්ට කියලා.

මන් දන්න විදිහටනම් ලංකාවේ ඉන්න මකුළුවෝ අතරින් ගොඩක් උන් කිසිම විසක් නැති උන් ඒත් ඉතින් මකුළුවෙක් දැක්ක ගමන් ඌට වැඩේ දෙන එක අපේ පුරුද්දක් වෙලා. මකුළුවෝ මරන්න ලේසිම ක්‍රමයක් තමා සබන් වතුර පොඩ්ඩක් දාන එක ඒත් මන් හිතන්නේ ඒක ඌට ඇසිඩ් ගහනවා වගේ පවුකාර වැඩක් ඒත් ඉතින් මම නම් වැඩියෙන්ම කරන්නේ ඒක තමා.

සමහර රටවල් වලනම් මිනිස්සු මකුළුවො කෑමට ගන්නවා ඒත් ඉතින් අපේ රටේ මකුළුවෝ කැරපොත්තෝ ගෝනුස්සෝ වගේ හොඳ ගුණ කෑම ජාති සේරම අත ඇරලනේ තියෙන්නේ.

ඇත්තටම අපි බය වෙලාඉන්නේ බය වෙන්න ඕනේ සත්තුන්ටද? අපිට වැඩියෙන්ම හානිකර කිසිම සතෙක් නැහැ මිනිහා කියන සතා තරම්. ලෝකෙම ගත්තත් සත්තු අතින් මැරෙන මිනිස්සු ගාන් මිනිස්සු අතින් මැරෙන මිනිස්සු ගාන එක්ක බැළුවම් නොසැලකිය හැකි තරම් පොඩියි කියලා මන් හිතන්නේ.

හරිනම් අපි උඩ පැනලා දුවන්න ඕනේ මකුළුවෙක් දැක්කම නෙමෙයි මිනිහෙක් දැක්කම කියලා තමා මටනම් හිතෙන්නේ

ඡායාරූපය මෙතනින්

මේ (late twenties) කතාව ගූගල් වල ගැහුවම මෙහෙම එකක් ආවා. ඔය ඉංගිරිස් ගැන නම් මට වැඩිය තේරුමක් නැහැ මන් මේ කියන්න හදන්නේ මන් දැන් ජීවත් වෙන අවදිය ගැන.

දැන් මන් ඉන්නේ ජීවිතේ තුන්වෙනි දශකයේ අන්තිම හරියේ ලබන අවුරුද්දේ හතරවෙනි දශකයත් උදා වෙනවා. හැබැයි මගේ මානසික තත්වයනම් තාම තියෙන්නේ දෙවෙනි දශකයේ මැද හරියේ වගේ. මේ ලඟදි කෙනෙක් කිව්වා විසි ගනන් ඉන්නකොට හිතෙන්නේ තාම ඉස්කෝලේ ගිහින් ඉවර උනා කියලා විතරයි වගේ කියලලු ඒත් තිහ උන ගමන් මතක් වෙනවලු දැන් වයසයි කියලා මොකෝ ඊලඟට එන්නේ 40 නිසා මාත් හිතන්නේ ඒ කතාව නම් ඇත්ත.

දැන් ඉතින් පිලිවෙලක් වෙන්න එහෙමත් නැත්නම් ස්වාධීන ජීවිතයක් ගතකරන්න සිද්ද වෙන කාලය උදා වේගන එනවා. තාමත් මන් මගේ ෆෝන් බිලයි, ADSL බිලයි ව්තරක් ගෙවනවා ඇරෙන්න ගෙදරට කියලා හාල් ඇටයක් වත් ගේන්නේ නැහැ. ඒත් ඉස්සරහට එන්නේ ලයිට් බිල් , වතුර බිල් , ෆෝන් බිල් එක්ක ගෙදරටත් විය හියදම් කරන්න වෙන කාලයක්. එච්චර වගකීම් සහිත ජීවිතයක් ගතකරන්න මම සූදානම්ද කියන එක නම් ගැටළුවක්.

අපොයි දෙයියනේ, පවුලක් පංසලක් වෙලා ගෙයක් දොරක් නඩත්තු කරගෙන, ඊට පස්සෙ තව ලමයි බමයිනුත් එකතු උනොත් මොන්ටිසෝරි, ඉස්කෝලේ, ටියුෂන් විස්ස විජ්ජාල්, පෙලවහක් කොරන්න අනේ මන්දා මේ ජීවිතය නම්......................

අනේ මොකට වයසට යනවද මන්දා............................

ඕන් ආයෙත් මගේ ප්‍රියතම මාසය උදාවෙලා. දෙසැම්බර් කියන්නේ ඉතින් මන් වැඩිපුරම බොන මාසය. ඉතින් කාලෙකට කලින් ලංකාවෙන් ගිය මගේ මචං ඕන් තව දවස් දෙක තුනකින් ආයි එනවලු. මන් මේ ඒක අහපු දවසේ ඉන්නදලා ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඇත්තම කියන්වනම් එයාලා මෙහෙන් ගිය දවසේ ඉඳන් අපි ප්ලෑන් කරන්නේ ආපහු ආපු දවස්ට සෙට් වෙන විදිහ ගැන.

ඔන්ලයින් ස්කයිප් එක හරහා බොන්න සෙට් වෙන්න හිතාගෙන හිටියත් ඒක උනේ නැහැ මේ වෙලාවේ වෙනස නිසා. මොකො රටවල් දෙක අතරේ තියෙන වෙනස නිසා එක්කෙනුට බොන්න වෙන්නේ අවේලාවේ . එක්කො මන් උදේ 7 ට 8 ට බොන්න ඕනේ එහෙම නැත්නම් එයා මහ රෑ බොන්න ඕනේ. ඒක නිසා ඒ වැඩේ කරන්න ලැබුනෙම නෑ.

අපි කොහේ හරි කෑමකට යනකොට නම් කියන්නේ කලින් දවසේ ඉඳන් නොකා ඉන්න කියලා ඒත් අපිනම් කතා උනේ නොවැම්බර් ඉඳලම ටික ටික බීලා දෙසැම්බර් බොන එකට අක්මාව පදම් කරගන්න ඕනේ කියලා මොකො නැනම අක්මාවට උනත් දෙසැම්බර් වල ලොකු ප්‍රමානයක් දරාගන්න බැරි වෙන නිසා.

මන් හිතන්නේ දැන් අවුරුදු 4 , 5 ක ඉඳලම අපි දෙන්නා දෙසැම්බර් 24 පටන් ගන්න බීම නවත්තන්නේ 26 රෑට (එක දිගට එහෙම නෙමෙයි දවල් රෑ දවල් රෑ ). ඉතින් මේ පාරත් ගානට නිවාඩු එහෙම සෙට් වෙලා තියෙනවා ඒ කටයුත්ත බාදාවක් නැතුව අපිට කරගෙන යන්න. ඉතින් හැමෝටම චියර්ස්ස්ස්ස්ස්............!!!!!!!!!

බලාපොරොත්තුව දෝත දරා
මම බලා ඉඳී අපි බොන තුරා...

ඉතින් ඕන් කලින් එක කෑම ගැන මේක බීම ගැන. මේක (In High Spirits) බලපු ගමන්, මට මන් හදන එකේ නිවේදිකාව හැටියට තෝර ගත්තේ මෙයාව. 100%ක් ම මගේ තේරිම හරි කියලා මට නම් විශ්වාසයි. ඒත් වැඩේ තියෙන්නේ මේකට නම් පිටපත ලියන්න අය හොයා ගන්න අමාරුයි අනික මේක අපේ රටේ පෙන්නන කොට තනිකරම පෙන්නන්න වෙන්නේ කොටු විතරයි ඒක නිසා වීඩියෝ එක ගැන නම් වද වෙන්න කිසිම දෙයක් නැහැ.

අනික් අය කන බොන වෙලාවට කෙල ගිල්ලම බඩේ අමාරුව හැදෙනවා කියන කතාව ඇත්ත නම් මන් Highway On My Plate සහ In High Spirits බලනකොට ගිලපු කෙල ටික ඇති මේවා ඉදිරිපත් කරන අයට ජීවිත කාලෙම බඩේ අමාරුව හැදිලා තියෙන්න.

කෑම ගැන කියන්න, ලියන්න අය හිටියට බීම හදන හැටි රසවිඳින හැටි ගැන ලියන්න අය හොයා ගන්න අමාරුයි. අරක්කුයි කොකා කෝලයි හරි සෝඩයි හරි කලවම් කරලා බොන්නනේ අපි ගොඩක් අය දන්නේ. ඕක බීල කඩල ඇටයක් කාලා දානවා මිසක් වෙන ඒකේ රසක් ගුණක් ගැන කියන්න මටනම් ඒ හැටි තේරුමක් නැහැ. වෙරිද නැද්ද කියලනම් ටික වෙලාවක් ගියාම කියන්න පුළුවන්.

මම මේක දැක්කේ නම් එක පාරයි එදා ගියේ වොඩ්කා වලින් හදන බීම ගැන. ඇත්තටම ඒක බීමක්ද කෑමක් ද මන්දා. තක්කාලි ජූස්, සෝස් තව මොනාද කොල ජාති, ඔය වගේ ජාති ගොඩක් දාලා අන්තිමට හැන්දෙන් කෑවේ. කොහොම උනත් මේක කරන්නත් ටිකක් අමාරුයි මොකෝ දෙතුන් ජාතියක් රස බැළුවට පස්සේ ඉදිරිපත් කරන කෙනා වෙරි වෙන නිසා.

මෙන්න මෙතනින් පුළුවන් In High Spirits එකේ වීඩියෝ ටිකක් බලන්න.

කාලෙකට පස්සේ, ඉස්සර වගේ බ්ලොග් ලියන්න ලොකු උනන්දුවක් දැන් නැහැ. මගෙ වැඩ හැම එකම ඔහොම තමා. මුලදි පුදුම උනන්දුවක් තියෙන්නේ පටන් අරන් ටික දවසකින් උනන්දුව කැලේ. හැබැයි බීම ඇරෙන්න.

පහුගිය දවසක බලන්න ලැබුන මේ වැඩසටහන (Highway On My Plate) බලද්දි මතක් උනේ ලඟදි කියවපු මේ ලිපියයි කාලෙකට කලින් කියවපු මේ ලිපියේ ප්‍රතිචාරයි තමා. දවස් දෙක තුනක්ම කන වෙලාවට කෑම එකත් අතේ තියාගෙන මේක බලන එක නියම වැඩක්.

Highway On My Plate වැඩසටහනේ ඉන්න නිවේදකයෝ දෙන්නා ඉන්දියාව පුරා තියෙන කෑම කඩවල් වලින් කන කෑම ගැන , කඩේ ගැන, කඩෙන් දෙන සේවය වගේ දෙවල් ගැන විස්තර තමා මේ වැඩ සටහනේ යන්නේ. බලා ඉන්නකොට කටට කෙල උනනවා. කාලෙකින් ලංකාවේ රූපවාහිනී චැනල් එකක් බලපු නැති නිසා මේ වගේ එකක් අපෙ රටේ රූපවාහිනී චැනල් වල යන්වද කියලා නම් මන් දන්නේ නැහැ. ඒත් මෙහෙත් කරන්න බැරි එකක් නම් නෙමෙයි. ඉන්දියාව කියන්නේ ලොකු රටක් වෙනස් ප්‍රන්ත වල ඒවාට ආවේනික උන විවිධ කෑම වර්ග තියෙනවා. අපේ රට එච්චරම ලොකු නැතත් අපෙ පළාත් වලත් විවිධ කෑම ජාති තියෙනවානේ.

මේකේ මන් බලපු ගොඩක් ඒවාගේ පෙන්නුවේ පාර අයිනේ තියෙන පොඩි පොඩි කඩවල් වල කෑම. ඒවායේ ගනනුත් දානවා එච්චරම ලොකු ගනන් ඒවාත් නැහැ. එක තැනකදි කියනවා කෑමක් ඉස්තරම් වෙන්න නම් ඒකේ මිල ඉහළ වෙන්න ඕනේ නැහැ කියලා. ඒක නම් ඇත්ත.

ඉතින් මේ වගේ වැඩසටහනක් මටත් කරන්න ආස හිතුනා. මට වැඩසටහන ඉදිරිපත් කරන්න දෙන්නෙක් නම් හම්බ උනා මේ ඉන්නේ මෙයයි මෙයයි පිටපත ලියන එකත් මේ අයම හොඳට කරයි . ප්‍රශ්නෙකට තියෙන්නේ කන කෑම වලට ගෙවන්නේ කව්ද කියන එක තමා. මොකො ඉතින් කොච්චර කයිද කියලා දන්නේ නැහැනේ....

මෙන්න මෙතනින් පුළුවන් Highway On My Plate එකේ වීඩියෝ ටිකක් බලන්න.

අපේ රටේ බොනව කියන එක සැලකෙන්නේ මහ ලොකු අපරධයක් හැටියට බැරි වෙලාවත් රූපවාහිණියේ බොන දර්ශනයක් එහෙම ගියොත් කොටු පුරෝනවා ඒත් පහුගිය දවසක Discovery Travel & Living Channel එකේ ගියා සිංගප්පූරුවේ පැවති බියර් උත්සවයක දර්ශන වගයක්. අවසාන්යේ පෙන්නුවා බියර් ජාති හතරක් බොනවා ඒ හතර බොනකොට කටගැස්මට ගන්නෙත් වෙන වෙන විදිහට පිළියෙල කරපු කෑම ජාති හතරක්. ඇත්තටම ඒ මිනිස්සු නම් බීම වල රස නියම විදිහට විඳිනවා. අපේ අයියලා කොහෙද බියර් බොන්නෙත් අරක්කු ටිකක් සැන්ඩි වලට දාලනේ.

බියර් විතරක් නෙමෙයි මන් අහලා තියෙන විදිහට වයින් බොන්න විවිධ හැඩයේ වීදුරු භාවිතා කරන්නෙත් ඒ වයින් වල සුවඳ හරියට දැනෙන්නලු. ඔන්න ඔය වගේ විවිද දේවල් මිනිස්සු බොනකොට අනුගමය කරන්වා. ගොඩක් බීම ජාති නීට් බොන්න කියන්නෙත් එහෙම නැත්නම් අයිස් විතරක් දාල බොන්නෙත් ඔය බීම වල තියෙන නියම රස විඳින්න ඕනේ නිසා.

අපි ඉතින් සේරටම කොකාකෝලා දාල රස මරලා රස විඳිනවා. මට නම් ඕනේ මෙහෙත් බීම ප්‍රචලිත කරන්න හැබැයි හැමදාම හැන්දෑවට කනමදයා වගේ බොන්න නෙමෙයි . බීම වල නියම රස විඳින්න. අරක්කු වලට ස්ට්‍රෝංග් බියර් කලවම් කරන්න නෙමෙයි ගැලපෙන වෙන දෙයක් දාලා ඒකේ රස වැඩි කරලා රස විඳින්න.

මෙහෙත් බියර් උත්සවයක් තිබ්බනම් නියමයි අප්පා

ගිය සතියේ ලක්බිමේ මානිගේ තීරුවෙ මෙහෙම කතාවක් තිබ්බා. දියුණු වෙන්න නම් කරන්න තියෙන හොඳම දේ තමා යූ. එන්. පී. එකේ ඉඳලා ආණ්ඩුවට එකතු වෙන එක කියලා ඉතින් දැන් ආණ්ඩුවෙ ඉන්න කෙනෙකුට ඒක කරන්න නම් ගිහින් ආපහු ආණ්ඩුවට එකතු වෙන්න වෙනවා.

අපේ සමහර කාර්යාලත් ඒ වගේ තමා. ඉන්න අයට හොඳට සකලන්නේ නැහැ හැබැයි අළුතින් එන අය උඩින් පිළිගන්නවා ඒත් ගොඩක් වෙලාවට වැඩියෙන් වැඩ කරන්නේ නම් අර පරණ හිටපු අයම තමා.

පහුගිය දවසක අහන්න ලැබුනා අපේ රට ජපානේ වගේ දියුණු නොවෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සු රස්සාවල් මාරු කරන එක නිසා කියලා. කතාව නම් ටිකක් ඇත්ත. තැන් තැන් වලට යනකොට වැඩිය වගකීමකින් හිතන්නේ නැහැ වැඩේ අටෝන එක තමා කරන්නේ ඒත් ගොඩ දෙනෙක් මේක කරන්නේ (මාත් ඇතුළුව ) හරි හමන් සැලකීමක් පාලකයන්ගෙන් නොලැබෙන නිසා. අපි කොම්පැණි ගැන හිතුවත් උන් අපි ගැන හිතන්නේ නැහැනේ. අනික කොම්පැණි කාරයෝ නම් කීයටවත් රට ගැන හිතන්නේ නැහැ. උන් කොහොමත් හිතන්නේ ලැබෙන ලාබේ ගැන විතරයි රට නෙමෙයි ලෝකෙටම හෙන ගැහුවත් උන්ට වැඩක් නැහැ. ජපානේ තත්වෙ ගැන නම් දන්නේ නැහැ. හැබැයි මෙහෙ අයත් ජපන් යන්න පොරකන්නේ එහෙ සමාගම් සමහර විට මෙහෙට වඩා හොඳට වැඩකරන මිනිසුන්ට සලකනවත් ඇති.

පහුගිය දවසක මන් වැඩකරන සේවාදායකයෙක් කියනවා ඔයාගේ වැඩේ ලස්සනට ඉදිරිපත් කලොත් ඒකේ වාසිය ඔයාට කියලා. ඒකනම් ඇත්ත. මන් කරන්නේ Web Development ඉතින් එක Design එක ගැන වැඩිය හිතන්නේ නැහැ. ඒත් අපි කොච්චර හොඳට Development එක කලත් පාවිච්චි කරන කෙනාට පෙන්නේ Design එකනේ ඉතින් ඒක කැතනම් අපේ වැඩෙත් වැඩි වටිනාකමක් නැහැ.

IT Field එකේ විතරක් නෙමෙයි ඕනෑම Field එකක වැඩකරන හැමෝටම තමන්ගේ තැන රැක ගන්න නම හැමදාම අළුත් වෙන්න වෙනවා. මොකෝ අද දේ නෙමෙයි හෙට. කොච්චර අවුරුදු ගානක් අත්දැකීම් තිබ්බත් වැඩක් නැහැ අළුත් දේවල් ගැන දන්නේ නැත්නම්.

මන් හිතන්නේ අනික් ඒවටත් වඩා IT Field එකේ ඒ තත්වේ වැඩියි . ඉතින් අළුතෙන් මේකට එන්න හිතාගෙන ඉන්නවනම් හරි මේකෙ දැනටමත් නාන මන් වගේ කෙනෙක් හරි නම් අළුත් දේවල් ගැන හිතන්න නැත්නම් ඉතින් අනාගතේ අනතුරේ.

අරක්කු
කිසිම සැලසුමක් නැහැ හදිස්සියෙම වගේ කට්ටිය එකතු වෙනවා. ඔන්න ඉතින් එක්කෙනා රුපියල් සීය දෙසීය දාල අමාරුවෙන් රුපියල් හත්සීයක් විතර එකතු කරලා ගේනවා අරක්කු බෝතලයක්. ඕක බොන්න යන්තමට ඇති වෙන්න සෝඩයි හපන්න ලාබෙට මොනා හරිත් අරන් ඇවිත් ඉන්න ගානෙන් බාගයකට ඇති වෙන්න කෝප්පත් හොයා ගන්නව ඉතින් එකම කෝප්පේ (ගොඩක් වෙලාවට ප්ලාස්ටික් ) මාරු කරකර බෝතලේට වග කියනවා. කෝප්පෙට ටිකක් දාලා යන්තම් සෝඩා දාලා බොන්නේ එක උගුරට. ඔය අතරේ යන කතා බහ හරිම විනෝදයි. කතා බහ සරලයි අනිකා මොනා හිතුවත් ඔහේ කියලා දානවා. අරක්කු බොන කොට නම් වින්දනේ උපරිමයි හපන එකෙන් අතේ ගෑවෙන ඒවා පිහදාන්නෙත් කඩදාසියක...

විස්කි
ඔන්න ඉතින් වෙනම සැලසුමක් හදලා කට්ටියට ආරාධනා කරනවා. පිරිසිදු වීදුරු කෝප්ප අයිස්, සෝඩා හපන්න සොසේජස්, ඩෙවල්, ඔම්ලට්. පිඟන් වලට දාලා ගන්නේ ගෑරුප්පුවෙන්.වැරදිලාවත් වීදුරුවක් එහෙම මාරු වෙන්න දෙන්නේ නැහැ. වීදුරුවට ටිකක් දාලා ඒ වගේ දෙගුනයක් සෝඩා දාලා අයිස් පුරෝලා බොන්නේ උගුර උගුර. කතා බහ බරපතලයි අනික් කෙන මොනා හිතයිද දන්නේ නැහැ කියලා කියන දේවල් කියන්නේ හරිම පරිස්සමින් (අරක්කු බීලා ගහගන්නත් විස්කි බීලා සාමෙන් ඉන්නෙත් මේ නිසා වෙන්න ඇති ). ඉඳුල් ටිකක් හරි අතේ ගෑවුනොත් පේපර් සවියට් එකකින් තමා පිහ දාන්නේ. ඇත්තටම මේලෝ රහක් නැහැ .....

මොන වින්දනයක් නැතත් විස්කියි අරක්කුයි එකට තියලා බොන්නේ මොනාද කියලා ඇහුවම නිතර බොන්න නොලැබෙන නිසා තියෙන පෙරේතකමට මාත් තෝර ගන්නේ ඉතින් විස්කි කියන එක තමා

මන් හිතන්නේ පළවෙනි වතාවට මන් පොත් ප්‍රදර්ශනේට නොගිහින් හිටියා.
ගන්න පොත් 4ක් 5ක් හිතේ තිබ්බ ඒත් ගනන් ගැන හොයලා බැළුවම නොගිහින් ඉන්න එක හොඳයි කියලා හිතුනා පොත් වල ගනනුත් අරක්කු වල ගනන් වගේ හැමදාම වැඩි වෙනවද කොහෙද???

කවුරු හරි ලිබර්ටි සිනමාහලේ තියෙන Love Aaj Kal ෆිල්ම් එක බැලුවද?
කොහොමද හොඳයිද?

ඉතින් ඔන්න මාත් අවුරුද්දක්ම බ්ලොග් ලීවා ආරම්භය ගැන නම් මට හරියටම මතක නැහැ ඒත් මතක හැටියට ඒක උනේ මෙහෙමයි .

දවසක් මගෙ යාලුවෙක් ගූගල් චැට් එකේ සිංහලෙන් දැම්මා මන් හිතුවේ සිංහල ෆොන්ට් වලින් දැම්ම කියල මාත් කැරැක්ටර් මැප් එකෙන් කොටලා දැම්මා, මෙන්න බොලේ එනවා සලකුණු ගොඩක් ඔන්න ඒ වෙලාවේ අරූගෙන් හූ පාරකුත් කාල කරන හැටි අහගත්තා ඒ පාර තමා මේක දුන්නේ. එදා ඉඳලා මන් ලියපු හැම සිංහල යුනිකෝඩ් අකුරක්ම ලිව්වේ මේකේ පිහිටෙන් තමා.

ඔය අස්සේ ඉතින් දැන් ඕකෙන් සිංහල ගගහා ඉන්නකොට මේ වගේ වැඩක් කරන්න ගිහින් කොහෙමෙන් හරි ගියා සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට. ඕකේ ඒවත් බල බල ඉන්නකොට මට හරියටම මතක නැහැ කොහොම හරි මලීගේ තොසේ කතාවත් දැක්කා. ඒක තම මටනම් මතක විදිහට මන් දැකපු මුල්ම සිංහල බ්ලොග් ලිපිය ඒකට තමා මන් මුලින්ම කමෙන්ට් එකකුත් දැම්මේ. මන් මේ කියන්නේ අවුරුද්දකට විතර කලින් උන දේවල් ඒක නිසා හරියටම මතක නම් නැහැ ඕන්. ඒ දවස් වලම වගේ ඉඳන් දැන් වැඩිය ලියන්නේ නැති හරේ ගේ ජීවත් වෙනකොට බ්ලොග් එකෙත් සැරි සැරුවා.

මේවා දැකලා තමා මට සිංහල යුනිකෝඩ් බ්ලොග් එකක් ලියන්න හිතුනේ. ඊට කලින් සිංහලෙන් ටයිප් කරලා ඉමේජ් හදලා බ්ලොග් එකක් කලා. ඉංග්‍රිසි බැරි උනත් බැරි මරගාතේ ඉංග්‍රීසි එකක් කරන්නත් හැදුවා ගූගල් සල්ලි හොයන්න ඒත් මේක විතරයි මට හරියට කරගන්න පුළුවන් උනේ සහ ආසාවක් ඇති උනේ.

වැඩිපුරම මන් අතින් ලියැවෙන්නේ අරක්කු (ගූගල් වල මගේ අනන්‍යතාවයත් මේක තමයි) ගැන ඒ ඇරෙන්න ගංජා වගේ සමාජයේ නරක යැයි කියවෙන දේවල් ගැන (දැන්නම් වැඩිය බීම ගැන ලියන්න බැහැ බලධාරියා විසින් දෝෂාරෝපනය කරන නිසා ) ඒක නිසාම මම මගේ බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට දාලා නැහැ ඒත් කොත්තුවට නම් දැම්මා. සිංහල බ්ලොග් කියවනයට හැම වයසකම අය එන නිසා ඒකට එන අයට මන් ලියන ඒවා නරක් වෙන්න පුළුවන් උනාට (එහෙම කවුරුත් කිව්වේ නැහැ මන් හිතුවා මිසක්) කොත්තුවට ඒක එච්චර ගැටළුවක් නැහැ කියලා මන් හිතන නිසා ඒකට දැම්මේ.

මේකේ නම ගැනත් කියන්න ඕනේ. කොහොමත් මන් වැඩිය ජීවත් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි මන් කැමති මාව මැරෙනවනම් ඒක නිසා මන් කැමතිම දේ නිසා මන් මේකට මගේ මරණය කියලා දැම්ම. මේ නමට නම් මන් හරිම ආසයි.

සිංහල බ්ලොග් ප්‍රචලිත කරන්න සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයෙන් නම් ලොකු මෙහෙයක් සිද්ධ වෙනවා. සමහරු ඒකට මොන විදිහේ චෝදනා කලත්. සිංහල බ්ලොග් අවකාශයතුල හැමෝම එක්ක හොඳින් ඉන්න ඕනේ නිසා මන් අකමැති දේවල් ලියන බ්ලොග් අඩවි වලට මන් නොගිහින් ඉන්නවා මිසක් ඒවාට ගිහින් ලියන අයට බැනලා එන එකනම් මන් කිසිම වෙලාවක කරන්නේ නැහැ.(ෂේප් න්‍යයාය ). හැමෝම තමන්ට කැමත් දේවල් ලියයි අපිට අනුමත කරන්න බැරි උනත් ඒ ලියන කෙනාගේ සතුටට බාධා කරන්න හොඳ නැහැනේ. මොකො මන් මගේ බ්ලොග් එකේ ලියන එකෙන් ලොකු සතුටක් ලබන නිසා.

මේක වෙන්න ඔනේ මන් ලියපු දිගම ලිපිය. කොහොමත් ලිපි පුළුවන් තරම් කෙටියෙන් තමා මන් ලියන්නේ, මාත් දිග ලිපි කියවන්න එච්චරම කැමති නැති නිසා තමා එහෙම කරන්නේ. ඉතින් වෙන මගේ බ්ලොග් කෙරුවාව ගැන ලියන්න තියෙන්නේ, මට දිගටම ලියන්න හිතුනේ මගේ බ්ලොග් එක බලලා කමෙන්ට් දාන අය නිසාම තමයි නැත්නම් ඉතින් ලියවෙන්නේ නැහැ. මට බැනලා නම් කවුරුත් දාල නැහැ. මට කමෙන්ට් අයින් කරන්න නම් සිද්ධ වෙලා නැහැ තාම නම්.

ඉතින් මාත් එක්ක හිටපු හැමෝටම බොහෝම ස්තූතියි!!!

චියර්ස්ස්ස්ස්ස්ස්....!!!!

මේ දවස් වල ඉතින් එක එක ඒවට තිත් තියාගෙන යන්වනේ. ඔය අතරින් ජන්ප්‍රියම එක තම මේ තිත.
දැන් කසිප්පු හෝගාලා අල්ලනවලු ඒකනම් හොඳ වැඩක්. ඒත් මේක කොච්චර සාර්ථකද කියලනම් මන් දන්නේ නැහැ. දන්න දන්න අය කියන්නේ කසිප්පු දැන් නැහැ කියලා. විකුනන අයත් කියන්වා දඩ වැඩි නිසා විකුනන්නේ නැහැ කියලා.

පෙරන්නෙත් නැහැලු , විකුනන්නෙත් නැහැලු ඒත් කසිප්පු කාරයෝ සේරම ඉන්නෙ බීලා. ඒක වෙන හැටිනම් මට හිතාගන්න බැහැ.

ඊයේ උදේ 10 ටත් කලින් උදෙට කන්න ගියාම එතන හිටිය ප්‍රදේශයේ ග්‍රාමසේවක මහත්තයා කොච්චර බීල හිටියද කියනවනම් කඩේ මුදලාලිගෙන් අහනව කෑවෙ මොනාද කියලා, මේ මිනිහා කාපු පිඟානත් මේසෙ උඩ තියෙද්දිම.
තව දෙන්නෙක් හිටියා අයියකෙනෙකුයි මල්ලි කෙනෙකුයි අයියට කෙලින් ඉන්නත් බැහැ මල්ලිට බනිනව කසිප්පු බීලා වැනි වැනි යනවා කියලා.

ඉස්සර නම් හැන්ඳෑවට සරුංගල් අරින්න ගියාම කට්ටිය යන්නේ පෝලිමේ දැන් එහෙම නැහැ ඒත් ගමේ ඉන්න සුපුරුදු බේබද්දො ටික ගානට වෙලාවට වැනි වැනි යනවා. මුන් එක්කෝ පුරුද්දට වෙරි වෙනවා එහෙම නැත්නම් මොන තිත තිබ්බත් බොන එකා බඩු හොයා ගන්නවා.

ඉතින් මේ තිත් තියන වැඩේ කොච්චර සාර්ථකද මන්දා.

පොඩි කතාවක්, අද කන්න හම්බ උනා ගෙදරක වවලා ගෙදර තම්බලා කොටපු වී වල බත්. සම්බා උනාට කඩේ තරම් සුදු නැහැ. කවුදෝ කිව්වා ඔය හාල් සුදු වෙන්න අළු හුණු දාල මොකද්ද කරනවා කියලා. මන් නම් හරියට දන්නේ නැහැ ඒත් ඒ කතාව බොරුම වෙන්නත් බැහැ. සුදු හාල් උනත් රතු හාල් උනත් ගෙවල් වල තම්බල කෙටුවහම එන හාල් වල බත් කඩේ හාල් වල බත් වලට වඩා පාටෙන් වෙනස්.

වෙළෙන්ඳෝ මොනාට මොනා දැම්මත් කමක් නැහැ ඔය කනබොන ජාති වලට වස විස නොදා. ඒත් ඉතින් අපි කන බොන හැම එකටම වගේ මොකක් හරි වසක් කලවම් කරලනේ මේ මිනිස්සු අපිට විකුනන්නේ.

මමත් ගියා ආකාස කුසුම් බලන්න. වැඩිපුරම යන්න හේතු උනේ මෙන්න මේ සිංන්දුව නිසා. ඒත් ඉතින් අන්තිමට උනේ බිල්ලු බාබර් බලන්න ගිහින් උන දේම තමා. අනේ මේ සිංදුව ෆිල්ම් එකේ නැහැ අඩුම ගානේ නම් දානකොටවත් තිබ්බනම්. අනික තියෙන මුල ටිකත් දෙබස් එක්ක පසුබිමෙන් යන්නේ.

මම ගියෙ ඊයේ (22) මේක පටන් ගත්තේ 21 ඒත් සෙනඟ නම් හිටියේ බොහොම ටිකයි. රීගල් එකෙත් එහෙමනම් අනික් ඒවායේ ඊටත් අඩු ඇති. කාලෙකට පස්සෙ හොඳයි කියලා හිතෙන ෆිල්ම් එකක් වගේ ආවත් සෙනඟ නම් නැහැ.

ඉස්සර හිටපු ජනප්‍රිය සිනමා තරුවකගේ වර්ථමාන ජීවිතය, එයාගේ අතීත සිදුවීම් වර්ථමානයට කරන බලපෑම්, පොදුවේ කාන්තාවන්ට පිරිමින්ගෙන් වෙන අසාධාරණයන් වගේ දේවල් තමා මේකෙන් කියැවෙන්නේ. (මට තේරුන විදිහටනම්)

මටනම් එච්චරම ඇල්ලුවේ නැහැ ෆිල්ම් එක.

වැඩි විස්තර

නිළ වෙබ් අඩවිය

IMDB

ඡායාරූපය උපුටා ගැනීම මෙතනින්


පර්ල් එස්. බක් ගේ Hidden Flower කියන පොතේ සිංහල පරිවර්ථනය තමයි සකායි කියන්නේ. මේක පරිවර්ථනය කරලා තියෙන්නේ මගේ කැමතිම ලේඛිකාවක් වෙන සුනේත්‍රා රාජකරුණානායක. සුනේත්‍රාගේ පොත් ඕනේ එකක් මන් ගන්න නිසා මේ පොත ගත්ත මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි ගත්තේ නම්. 1992 දි ප්‍රථම මුද්‍රනයේදි පොත් 2 ක් හටියට තිබිලා දැන් 2006 තුන්වෙනි මුද්‍රන්යේදි එක පොතක් හැටියට තමා තියෙන්නේ.

මගක් කියවද්දිම බ්ලොග් එකේ දාන්න හිතුනේ මේකේ කතාව යන්නේ දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ කාලේ ජපානයේ ජීවත් උන නම්බුකාර විදිහට ඉන්න හදන සාම්ප්‍රදායික ජපන් පවුලක යුවතියක් වන ජෝසු සකායි සහ ඒවගේම ඉන්න ඇමරිකානු පවුලක ජපානයේ සේවය කරන හමුදා නිලධාරියෙක් වෙන ඇලන් කෙනඩි අතර ඇතිවෙන ප්‍රේමය ගැන.

මේක කියවද්දි මට මතක් උනේ අපේ රටේ අනාත කඳවුරක ඉන්න වැදගත් දෙමළ පවුලක් අනාගතේ දවසක ගෙවල් වල පදිංචි උනාම එහෙම පවුලක ද්‍රවිඩ තරුණියක් සහ අපේ සිංහල හමුදා නිලධාරියෙක් අතර ප්‍රේමයක් ඇති උනොත් මේ වගේ වෙයිද කියලා.

යුද්ධෙන් දිනලා නිසා ඇමරිකානුවන් ජපන්නුන්ට සලකන්නේ පහත් විදිහට. යුද්ධෙන් පැරදුන නිසා ජපන්නු ඇමරිකානුවන් දිහා බලන්නේ වෛරයකින්. මේවා මේ විදිහටම නැතත් අපේ රටේත් අඩු වැඩි වශයෙන් නැත්තෙමත් නැහැ. (දැන් කට්ටිය කියයි ඒ යුද්ධෙයි මේ යුද්ධෙයි වෙනස් කියලා මටනම් කොහෙ උනත් යුද්ධේ යුද්ධෙම තමා). කොහෙදි හරි මන් දැක්ක ඉතිහාසයේ සිදුවීම් නැවත නැවත සිදු වෙනවා කියලා කවුද කියලා තියෙනවා.

ගිය පාර පොත් ප්‍රදර්ශන්යෙදි ගත්තත් අද තමා කියවන්න පටන් ගත්තේ තාම පිටු 320 න් 153 කියෙව්වේ.

මිල නම් ටිකක් වැඩියි 390/= පොත් ප්‍රදර්ශනයෙදි ගත්ත නිසා මන් හිතන්නේ 20%ක විතර වට්ටමක් ලැබෙන්න ඇති.

හැමදාම වගේ මට IT Filed එකේ රස්සාව එපා උනාම Paddy Field එක හොඳයි කියලා හිතෙනවා ඒත් තාමත් මඩ නැතත් IT Filed එකේ ඉඳගෙන මඩ නානවා.

කෘෂිකර්මාන්තයට සම්බඳ වෙලා ඉන්න තරුණ වයසේ අයනම් මේ පළාතේ හරිම අඩුයි ඉඳලා හිටලා වෙලඳාම කරන අය හිටියත් කෙලින්ම වගාවට සම්බඳ වෙච්ච අය ඇත්තේම නැති තරම්. ගොඩක් ඇඟ වෙහෙසලා කරන්න ඔනේ දෙයක් නිසා දැන් ඉන්න තරණ අයටනම් වගාවක නියැලෙන්න තරම් ශරීර ශක්තියක් නම් තියෙනවද මන්දා.

හමෝම හිතන්නේ ගොවිතැන් කරනවට වඩා කාර්යාලයක රස්සවක් කරන එක හොඳයි කියලා. ඒත් මන් නම් හිතාන්නේ ඒකේ අනික් පත්ත ඒත් කරන්නේ ඒ පැත්ත.

ලංකාවේ යුද්දෙන් පස්සේ නැගෙනහිර පළාතේ තියෙන ගොවිබිම අරගන්න වෙන රටවල සමාගම් නම් උනන්දු වෙනවා කියලා පහුගිය ටිකේ පත්තර වල තිබ්බා, ඒත් අපේම රටේ අය මේවා ගැන එච්චර උනන්දුවක් නැහැ වගේ අන්තිමට අපි අපේම රටේ වැවෙන දේවලුත් පිටරටවල අයට සල්ලි දීල අරන් කන කාලයක් උදාවෙයිද මන්දා.

මේ කාලේ ලොකේම කර්මාන්තවලට හෙනහුරා ලබලලුනේ ඒත් මන් කොහේ හරි දැක්ක කෘෂිකර්මාන්තයට එහෙම අර්බුදයක් බලපාල නැහැලු. ලෝකේ ඉන්න සල්ලි තියෙන අය කිසිම පැකිලීමක් නැතුව කෘෂිකර්මාන්තයට මුදල් ආයෝජනය කරනවලු.අප්‍රිකාවේ නොයෙක් ගැටළු තියෙන රටවල ගොවිබිම් අරගන්න හිටන් සල්ලි තියෙන රටවල් වල උදවිය කටයුතු කරනවා කියන්නේ.

මිනිස්සුන්ට පරිගනක නැතුව ඉන්න පුළුවන් උනත් කෑම නැතුව ඉන්න බැහැනේ ඒක නිසා කවද හරි දවසක ගොවිතැන් කරන අයට අනික් අයට වඩා හොඳ කලක් යාවි කියලා මටනම් හිතෙන්නේ.

පහුගිය දවසක දවල් කන්න ගිහින් කඩෙන් ඉල්ලුවා මගේ ප්‍රියතම ආහාරය සහිත කෑම එකක්. කඩේ අක්ක කිව්වේ දැන් ඌරුමස් ගේන්නේ නැති බවය. එයට හේතු වශයෙන් ඇය කීවේ කඩේට ආරක්ෂාවල් කර ඇති නිසා ඌරුමස් ගෙන ආවිට ඒවා නැතිවෙන බවය. පුදුම ආරක්ෂාවල්ය. අඩුම ගානේ ඌරුමස් කෑලකින් ආරක්ෂා කරගන්න බැරිනම් අනික් ඒවායින් කෙසේනම් ආරක්ෂා කරගන්නද?

අපේ රටේ නැති වෙන්න ඡන්ද ඇත මේවාට අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ සල්ලි මිටි මිටි විසික් කරමින්ය. ඉදිරිපත් වන සියළු අපේක්ෂකයන් ලංකාව පුරා ඇති සියළුම දේවාල වලට ගොස් මෙරට ඉන්නවා යැයි කියන සියළුම ප්‍රසිද්ධ දෙවිවරුන්ට බාර වෙති. මා දන්න තරමින් නම් ඡන්දය දීමට ජාතික හැඳුනුම්පත අනිවාර්යවේ. අපේ පු.ලි.දේ කිසිම දෙවියෙකුට හැඳුනුම්පත් නිකුත්කර නොමැත ඉතින් ඔය එකම එක දෙවියෙක්ටවත් ඡන්දය නැත. එහෙනම් ඉහත් අපේක්ෂකයන් ඡන්දය දිනන්නේ පනඇති මිනිස්සුන්ගේ ඡන්දයෙන් මිසක් දෙවියන්ගේ ඡන්දයෙන් නොව එහෙත් අවාසනාවට ඡන්දය දින්නත් පැරදුනත් ඡන්දෙවත් නැති දෙවියන්ටවූ පොරොන්දු සියල්ල ඉටු කරන අතර අර ඡන්දය ලබාදුන් මිනිස්සුන්ටවූ පොරොන්දු ගැන කතාවක් වත් නැත.

ලංකාවෙන් පිටතට අඩියක් ගසා නැති මම පිටරටවල බස්වල ගිහින් නැත එහෙත් අසා ඇති පරීදිනම් ඒවායේ සේවය උසස් අතර අනතුරු සිදුවන්නේත් අපේ රටට සාපේක්ෂව අඩුවෙන්ය. එහෙත් අපේ රටේ බස් යන්නේ උඩින්ය මිනිසුන් යනු හයේ අටේ කෑලිය. සතියකට සැරයක්වත් එකෙක් දෙන්නෙක්ට මරණය මුනගස්සවයි අනේ ඒඋනාට බුදුහාමුදුරුවෝ සහ ප්‍රසිද්ධ දෙවිවරු හතටපොලක්ම ඉස්සරහ වැඩ සිටී. ඩ්‍රයිවර් පාර බලන්නේත් දෙවියන්ගේ දෙපායටින්ය. උදේට වැඩ පටන්ගන්නේ අලි, හරක්, මොණරු, මීයෝ පිටේ යන දෙවිවරු සියල්ලටම හඳුන්කූරු දුම් අල්ලලාය ඒත් බස් එකේ නැගලා යන අපිට???

හූනියම් යනු අනික් අයට කරදර කිරීමයි ඒත් පුදුමය නම් ඒකට ලොක්කීත් පින් ගොඩක් කර දේවත්වයට පත්වූ හූනියම් දේවතාවියයි. පින් ලැබෙන්නේ හොඳ දේ කලවිට වුවත් මේ දේවතාවියටනම් අනික් අයට වින කරත් පින් ලැබී ඇත. මට ඇති ලොකුම කනගාටුව නම් මේවාට වැඩියෙනම ඇබ්බැහි වී සිටින්නේ මේවාගේ දේවල් වලට විරුද්ධව බණ දෙසූ බුදුහාමුදුරුවන්ගේ බණ අසන පිරිසම වීමය අපි දැන් ඉන්නේ මිහිඳු හාමුදුරුවෝ එන්නත් කලින් තිබ්බ කාලෙද?

කාලෙන් කාලෙට මිනිස්සු කියනවානේ ඉස්සර නම් අරක තිබ්බ දැන් දකින්නවත් නැහැ, මේක දැන් වඳ වෙලා ගිහින් ඔය වගේ කතා මාත් හොයා ගත්ත ඉස්සර තිබිල දැන් වඳ වෙච්ච දෙයක් ඒක තමයි "හිනාව".

මේක ගැන මන් මීට කලින් කොහේ හරි කියෙව්වා මට හරියටම මතක නැහැ බ්ලොග් එකකද නැත්නම් පොතකද පත්තරේකද කියලා. ඒකේ තිබ්බේ හිනාව දැන් දැන් අඩු වෙලා කියලා. ඒත් මන් නම් කියන්නේ ඒක දැන් වඳ වෙලා කියලා

මේ ලොකේ සුන්ඳරම හිනාව තියෙන්නේ කාටද කියල ඇහුවොත් මන් නම් එකපාරටම කියන්නේ අවුරුද්දකට වඩා අඩු ඕනෙම බබෙකුට කියලා. මොකද ඒ හිනාව හරිම අව්‍යාජයි ඒක නිසා එකේ තියෙන්නේ පුදුම සුඳරත්වයක් ඒත් ලමයා වැඩෙන කොට ටික ටික ඒක නැති වෙලා යනවා.

පාරේ තොටේ යනකොට මිනිස්සු දිහා බැලුවම කාගෙවත් මූනේ හිනාවක් දකින්නවත් නැහැ. උදේ පාන්දරටවත් කා එක්ක හරි හිනා උනත් ආපහු හිනා වෙන කෙනෙක් ඉන්නේ කලාතුරකින් (හිනා වෙලත් බැහැ හිනා උනාම සමහර අය කරේ යන්න එනවනේ ) . හැමෝම ඉන්නේ බුම්මගෙන හරියට අනික් මිනිහා තමන්ව ගිලියි වගේ කියලා හිතාගෙන (මාත් එහෙම තමා ඔය කිව්වට)

අපේ මිනිස්සු හොඳට හිනා වෙන වෙලාවක් තියෙනවා ඒ තමයි අනික් මිනිහට වැරදුනාම. අන්න එතකොටනම් හිනාව කටෙන් එකයි.

මිනිස්සුන්ගේ මූනේ තිබ්බ හිනාව අතුරුදහන් වෙන්න හේතුවක් නම් මට හිතාගන්න බැහැ ඒත් ජීවත් වෙන්න දඟලන දැඟලිල්ලෙදි දන්නේම නැතුව හිනාව අපෙන් අතුරුදහන් වෙලාද කොහෙද

මේක තමයි මන් කන්න කැමතිම කෑම. ඇත්තටම සම්බෝලයි සුදු බතුයි තමා වැඩියෙන්ම කන්න කැමති. මතක ඇති කාලෙක ඉඳලා පුළුවන් හැමදාකම මගේ උදේ ආහාරය වශයෙන් වැඩිපුරම මන් කාල තියෙන්නේ සම්බෝලයි බතුයි තමා. මේකට තව බැදුමකුත් එකතු උනා නම් කියලා වැඩක් නැහැ.

පොල් සම්බෝල වෙනුවට කොච්චි සම්බෝලයක් තියෙනවන ඒකත් ඉස්තරම්ම කෑම වේලක් තමා. සුදු බත් නැතුව රතු බත් නම් තියෙන්නේ ඇඹුල් තියල් කරපු මාළු කෑල්ලකින් බත් පිඟාන ඉවර කරන වෙලාව අඩු කරන්නත් පුළුවන් කමක් තියෙනවා.

උදේ කෑමට වෙන මොනවා කෑවත් පොල්සම්බෝලත් එක්ක බත් කටක් හරි කෑවම වගේ ගතියක් හිතට නම් දැනෙන්නේ නැහැ.

ඔය ටීවී එකේ පත්තරවල කියන විදිහේ පොෂණයෙන් පිරිච්ච දේවල් මොකුත්ම නැති උනත් මන් නම් හිතන්නේ සම්බෝලයි බතුයි ඔය සේරටම වඩා රස ගුණ පිරි කෑමක් කියලා.

මොකුත් කියන්න හදන්වා නෙමෙයි ඔහේ දැකපු කීප දෙනෙක් ගැන ලියන්නේ

ඊයේ කන්න ගිය වෙලාවේ වචනයේ පරිසමාප්ත අර්ථයෙනම් කන සාක්කුවේ දාගත්ත කෙනෙක් කඩේ බත් කකා හිටියා. කොච්චර බීලා හිටියත් වෙන බේබද්දන්ට සලකනවට වඩා පොඩ්ඩක් වැඩි සැලකිල්ලක් මේ මනුස්සයට කඩේ හිටපු හැමෝම දැක්කුවා. බත් කෑවේ කන සාක්කුව ගාවට එනකම් ඔළුව පාත්කරගෙන කසිප්පු ගඳ පළාතේ ඉන්න බැහැ. අන්තිමට කාල ගියාම මට කිව්වා කවුද ඒ කියලා, පුදුමයි ඒ මේ හරියට ඉන්න ග්‍රාම සේවක රාළහාමිලු. ඔන්න මිනිස්සු රාජකාරි කරන විදිහ. ඔය වගේ වගකීමක් තියෙන රස්සවක් මේ විදිහේ මිනිහෙක් කරනකොට කවුරුත් එයාව ගනන් ගනීද?

අද උදේ පාරේ කවුද කොට්ට කොට්ට කිය කියා කෑගගහා ගියා මන් කෙනාව දැක්කම මට පුදුම දුකක් ඇති උනේ ලොකු බයිසිකලක්වත් පැදගන්න තරම් උස නැති පොඩි එකෙක් අලි කොට්ට ගොඩකුත් බයිසිකලේ ගැට ගහගෙන කොට්ට විකුන විකුන ගියා. පොඩි එකා උනත් ජීවත් වෙන්න විඳින දුකක්.

පහුගිය කාලෙ මාළු විකුනපු වයසක සීය කෙනෙක් ලඟදි දැක්ක බයිසිකලේ යනවා ඒත් වෙනදා තිබ්බ මාළු පෙට්ටිය දකින්න ලැබුනේ නැහැ. රටේ ඉන්න ලොකු ලොක්කෝ මොනවා කිව්වත් මිනිස්සු කන්නේ බොන්නේ අමාරුවෙන්. අද මේ මනුස්සයා තමන්ගේ රස්සවත් නැතුව කොහොම ජීවත් වෙනවද මන්දා, අපි මේ රස්සාවක් කරලත් අමාරුවෙන් ඉන්නකොට.

මේ මනුස්සයගේ රස්සාව ලොරියෙන් සිමෙන්ති බාන එක. රස්සාව කරන්න තියෙන්නේ වරුවයිලු ලොරියම බානවට රුපියල් 700ක් ලැබෙනව නම් කිව්වා ඒත් හැමදාම වැඩ නම් නැහැ. සිමෙන්ති බාන කොට ඒවායේ රස්නෙට පිට පිච්චෙනවා කිව්වා. දැන් පිට ගන්න දෙයක් නැහැලු නානකොට එහෙම පුදුම දැවිල්ලක් කිව්වා. තනිකඩ කාලෙනම් මෙහෙම අමාරුවක් නොතිබ්බත් දැන් බැඳලා නිසා ජීවත් වෙන්නේ හරිම අමරුවෙන් කියලා තමා මෙයා කිව්වේ. ගෙවල් කුලිය රුපියල් 2000කුත් දෙන්න ඕනේලු. මේ මනුස්සයා ගොඩක්ම කනගාටු උනේ ඒ මොකටවත් වඩා තමන්ගේ බිරිඳ තමන් මොනවා කලත් සතුටු නොවෙන බව කියා. අන්තිමට ම්නිහා කිව්වා බැන්ද මෝඩකම් කියලා වෙලාවකට හිතෙනබව. (බැඳපු ගොඩක් අය ඔය කතාව කියන්වා මන් අහලා තියෙනවා, පුදුමේ කියන්නේ ඒ බව දැන දැන මිනිස්සු කසාද බඳින එකනේ ). මිනිස්සු ජීවත් වෙන්න විඳින දුකක්.

අනේ මන්දා ජීවිතය හරි පුදුමයි අප්පා.

ජීවත් වෙන්න නොකර ඉන්නත් බැරි
කරනකොට ජීවිතෙත් එපා වෙන

නොකලොත් අතට කීයක් වත් නොලැබෙන
කලොත් අතේ ඇති ටිකත් මගට වියදම් වෙන

නැති විටත් හිතට කරදර
ඇති විට ඊටත් වඩා කරදර

අනේ මන්දා මේ අපි කරන රස්සාව......

ගොඩක් වෙලාවට අපි කරන රස්සව ගැන අපි සතුටු වෙන්නේ නැහැ ඒත් ජීවිත් වෙන්න නම් රස්සාවක් කරන්නම එපායෑ ඉතින් අකමැත්තෙන් උනත් ඉතින් රස්සාවක් කරන්නම් වෙනවා. ගොඩක් අය රස්සාවල් මාරු කරන්නේ කරන රස්සාව ගැන තෘප්තිමත් නැති නිසා. කලාතුරකින් කෙනෙක් නම් දිගටම එකම තැන වැඩ කරන්වා. සමහර විට වෙන තැනකට යාමේදී ඇතිවෙන අවධානම නිසා වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් පුරුදු තැනනේ ඉතින් ඔහේ ඉන්නවා නිසා වෙන්නත් පුළුවන් .කලාතුරකින් කරන රස්සව ගැන තෘප්තිමත් නිසා වෙන්න පුළුවන්.

මට නම් තාම බැරි උනා ආසාවෙන් වැඩ කරන්න හිතෙන තැනක වැඩ කරන්න. ගොඩක් තැන් එපා වෙන්නේ ඒවයේ පාලක අය විසින් ඉතා පහත් විදිහට සේවකයන්ට සලකන නිසා.

සම්මුඛ පරීක්ශණවලදි නම් කියනවා අපේ කොම්පැනිය ඉතියෝපියාවේ (උදාහරණයක්)ලියාපදිංචි කරලා තියෙන්නේ කියලා, අපිත් ඉතින් ලොකුවට හිතනවා හැබැයි බැංකුවකින් ණය පතක්වත් දෙන්නේ නැහැ එහෙම තැන්වල වැඩ කරන අයට. මෙහෙ ලියාපදිංචිය හරිම වැදගත් සේවකයන්ට. පාලකයන්ට ලියාපදිංචි නොවෙන එක හොඳයි එතකොට බදු එහෙම ගෙවන්න ඕනේ නැහැනේ.

වෙන රටවල ගැන කියලා මේ අය හොරෙන්ම EPF, ETF ගෙවන එකත් මග අරිනවා, ලොකු පඩියක් ගෙවනවනම් කමක් නැහැ එහෙම නැති උනොත් නම් ඉතින් කාලයක් වැඩ කරලා හිස් අතින් තමා ගෙදර යන්න වෙන්නේ.මම මේ කතා කරන්නේ ඉල්ලීම් ගැනම නෙමෙයි කිසියම් සාධාරණයක් තියෙන්න ඕනේ නිසා. මොකො අන්තිමේ අපිටත් වැඩක් නැහැ, රටටත් වැඩක් නැහැ අයිති කාරයෝ කොම්පැණිය වහලා දාල යන්න යන්වා.

මීට කලින් පොත් ගැන ලියල තියෙන්නේ මෙන්න මේ ටික සහ මේක විතරයි. දැන් පොඩ්ඩකට කලින් අපේ හොඳ දරුවා (ඌ තමා එහෙම කියාගන්නේ [සුදාරක] අනේ මන් නම් දන්නේ නැහැ ඕවායේ ඇත්ත නැත්ත.) එක්ක පොඩි චැට් එකක් දැම්ම පොත් ගැන සහ පොත් කියවීම ගැන ඉතින් බීම ගාවට මන් ආසම පොත් ගැන තව මොනා හරි ලියන්න කියලා හිතුනා.

දැන් දැන් අන්තර්ජාලෙත් සිංහල පොත් බාගන්න තියෙනවා වගේ ඒත් පොතක් පොතක් වගේම අතේ තියාගෙන කියවනවා තරම් ඒකේ ගතියක් නැහැ කියලා මට නම් හිතෙන්නේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා බාන පොත් කියවන්න ඒත් මටනම් මේකක මිල දරන්න බැහැ අනික ඒ සල්ලි වලිනුත් පොත්ම ගත්තම ඉවරයිනේ.

මම නම් පොත් කියවන්න කැමතිම ඇඳේ නිදාගෙන ඒ ඇරෙන්න කලාතුරකින් තමා වාහනයක යනකොට පොත් කියවන්නේ පොත කියවනකොට පොතේ කඩදාසි වලින් එන අමුතු සුවඳ විඳින්නත් කැමතියි. ඒකෙත් මාර ගතියක් තියෙනවා. අලුතෙන් පොත් ගෙනවාම ඉතින් ඉඹ ඉඹ ඉන්න එක තමා කරන්නේ(ඉඳලා හිටලා භූමිතෙල් ගඳ පොතුත් නැත්තේ නැහැ).

ඉතින් තව ටික දවසකින් සාහිත්‍ය මාසෙත් එන්වා, මේ පාර නම් එක පොතක් වත් ගන්න වෙයිද දන්නේ නැහැ ඒ තරමටම මගේ ආර්ථිකය අයහපත්. නිකන් ගිහින් බලලා එන්න බැහැ දැක්කොත් පොතක් ගන්නමයි හිතෙන්නේ.

කවුරු හරි මන් අසාම පොත මොකද්ද කියලා ඇහුවොත් ඒකට හරි උත්තරයක් දෙන්න බැහැ මොකො මන් ආස පොත් ගොඩක් තියෙන්වා. අනික එක එක කාලෙට ආස පොත් වෙනස් වෙනවනේ. කරුණාසේන ජයලත්, සුනේත්‍රා රාජකරුණානායක, චන්ද්‍රසිරි දොඩංගොඩ වගේ අයගේ පොත් වලට ටිකක් වැඩිපුර කැමතියි.පොඩි කාලෙනම් දොන් පීටර් පියතුමා, මාර්ටින් වික්‍රමසිංහ, ටී.බී ඉලංගරත්න, කුලසේන ෆොන්සේකා වගේ අයට තමා ගොඩක් කැමති උනේ.

පොත්වලට කොච්චර ආස උනත් දවසින් දවස ඉහල යන පොත් මිළ නම් අපිව පොත් වලින් ටික ටික ඈත් කරන එක නම් කරනවා. (හැබැයි බෝතලේ මිළ නම් අහස උසට ගියත් අපි ඈත් වෙන්නේ නැහැ ). ඒ ගැන නම් බළවත් කනගාටුව

ලිෂාන්ගෙත් ලිපියක් තිබ්බ.

දුකාත් පොත් ගැන ටිකක් ලියලා තිබ්බ මෙතන

මේ ලොකේ තියෙන භයානකම දේ මොකද්ද කියලා කවුරුහරි ඇහුවොත් මම නම් කියන්නේ ඒ තමා සල්ලි කියල. මොකද මීට වඩා මොනතරම් භයානක දෙයක් ලෝකේ හැදුවත් ඒකටත් මිලක් නියම කරන්න සල්ලි වලට පුළුවන් නිසා සල්ලි තමයි ලෝකේ තියෙන භයානකම දේ.

සල්ලි නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි ඒත් සල්ලි තිබීම ජීවිතේ නැති වීමට හේතුවක් වෙන වෙලාවල් නැත්තෙමත් නැහැ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේම වෙන මිනීමැරුම් ගත්තෝත් මේවායේ කෙලවරේ ගොඩක් වෙලාවට තියෙන්නේ සල්ලි.

අපි අපිට කැමති විදිහට ජීවත් වෙන්න සල්ලි ඕනේ තමා ඒත් සල්ලි තියෙන කොට අපිට අපි කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්ද මන්දා. සල්ලි කියන්නේ මහ පුදුම ජාතියක්, සල්ලි වලට කරන්න බැරි ජාති තියෙන්න පුළුවන් ඒත් සල්ලි වලට නොකරන්න බැරි ජාති හරි අඩුයි.

ප්‍රේමය, සහෝදරකම්, නැදෑකම්, යාළුමිත්‍රකම්, මාපිය දූදරු සම්බඳතා සල්ලි වලට ඇති කරගන්න බැහැ ඒත් මේවා සුණුවිසුණු කරලා දාන්න සල්ලි වලට යන්නේ අපිට හිතා ගන්නවත් බැරි තරම් සුළු කාලයක් විතරයි.

මෙච්චර භයානක සල්ලි හොයන්න මේ ලොකේ ඉන්න හැම කෙනෙක්ම දිවා රෑ නොබලා මහන්සි වෙන එකත් මහ පුදුම වැඩක් බලාගෙන ගියාම. බල්ලොත් නොකන සල්ලි කියල කතාවට කිව්වට සල්ලි වලට මිනිස්සුන්ව නම් බල්ලන් ටත් වඩා පහත් තත්වෙකට පත් කරවන්න පුළුවන්.

අපි හැමොටම ජීවිතේ එක පාරක් හරි සල්ලි , ප්‍රශ්නයක් ඇති කරවලා තියෙන්වා ඒත් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන නිසා ඒ ප්‍රශන ඇති කරන සල්ලිම හොයන්නම වෙලා තියෙන ඒකත් මහ පුදුම වැඩක් ......

බියර් ගැන කාලෙකට කලිනුත් ලිව්වා ඒත් ආයි ලියන්න හිතුනා පොඩි සිදුවීමක් නිසා.


පහුගිය දවසක අධික වෙහෙසකර කටයුත්තක නියැලෙන්න උනා. ඉතින් වැඩ කරලා වැඩකරලා හොඳටම මහන්සිවෙලා හිටියේ කොච්චරද කියනවනම් ඇවිදගන්නත් පන නැහැ වගේ.

මන් මේ පරිගනකයක් ඉස්සරහා ඉඳන් කරන රස්සවක් නිසා ශරීරය හොඳටම හොර වෙලා ඉතින් පොඩ්ඩක් ඇඟපත හොල්ලල වැඩක් කලොත් එහෙම පාන් කියාගන්න බැරුව යනවා. ඇයි ඉතින් මෙලෝ ව්‍යායාමයක් නැහැනේ.

ඉතින් කොහොම හරි වැඩ ඉවර වෙලා රෑට කන්න යනකොට ෆ්‍රිජ් එකේ තිබ්බ එකම එක කූල් බියර් බෝතලය අපි දෙන්නෙක් බෙදා හදාගෙන බිව්වා. දවස් ගානක් ෆ්‍රිජ් එකේ තිබ්බ නිසා නියම ගානට කූල්. පුදුමේ කියන්නේ ඊට පස්සේ අර ඇඟේ මහන්සිය කොහෙන් ගියාද නැහැ. බියර් වලට පුදුම බලයක් තමා තියෙන්නේ මහන්සිය නැති කරන්න.

මන් මේ කිව්වේ බියර් ගොඩක් ගැන නෙමෙයි උපරිම බෝතලයක් විතර ප්‍රමානයක් ගැන. ඉතින් ඒ බියර් බාගෙත් බීල හොඳට කාල නින්දට ගිය නිසා පහුවදා උදේ ෆුල් ෆිට් එකේ නැගිට්ටා.

අම්පාර වගේ කාෂ්ටක පැත්තක ගොඩක් ඇවිදලා හොඳටම මහන්සි වෙලා ඉන්න වෙලාවක මහන්සිය නිවන්න උනත්, නුවර එළිය වගේ හීතල පළාතක හීතලේ ගල් වෙලා ඉන්න වෙලාවක හීතල නැතිකරන්නත් හොඳට කූල් වෙච්චර බියර් වලට කරන්න පුළුවන් වීම මහ පුදුම වැඩක් (මන් කිව්වේ මේ මන් ගැන) මේ දේශගුණ දෙකටම මේ විදිහට ගැලපෙන වෙන බීම ජාතියක් නම් මට කල්පනා වෙන්නේ නැහැ.

(අද උදේ ඉඳන් හයියෙන් වහිනවා කූල් බියර් එකක් තිබ්බ නම් ටිකක් ඇඟ රත් වෙන්න මරු කියල හිතෙන නිසා බියර් ගැන ලිව්වේ.)

මම ඉස්කොලේ යන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඉස්කොලේ ගියේ ස්කූල් බස් එකේ. ඊට පස්සේ පංතිවලටත් ගියා වෙන නොයෙක් ගමන් බිමන් බොහොමයක් බස් එකේ ගියේ. 88-89 කියන්නේ මේ රටේ භීෂණයක් තිබ්බ කාලයක් ඒ කාලෙදිත් මන් බස් එකෙ ඉස්කොලේ ගියා. කවදාවත් මට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. බස් නැතුව පරක්කු උන දවස් තිබ්බත් ඒ වෙලාවට ගෙදරට පණිවිඩයක් දුන්නේ නැහැ කියල ගැටළුවක් ඇති උනේත් නැහැ.රැකියාවක් කරන කාලෙ වෙනකම්ම මට ජංගම දුරකථනයක් අතට ලැබුනේ නැහැ එහෙම උනා කියලා මට කිසිම පාඩුවක් වෙලාත් නැහැ.

ඒත් දැන් කාලෙ වෙනස් තාලෙ අළුත් මොන්ටිසෝරි යන ළමයින්ටත් මොබයිල් ෆෝන්. ඉස්කෝල වලින් මොන තහනම්ක් දැම්මත් ඉස්කොලෙ යන ලමයි ගාවත් මොබයිල් ෆෝන් වැහි වැහැලා. සමහර අය ගාව දෙක තුනක්. හැබෑටම ජංගම දුරකථනය කියන්නේ අපිට නැතුවම් බැරි දෙයක්ද? මේක ඒ තරමටම වැදගත්ද? මේ වෙනකොට මාත් ඒකට ඇබ්බැහි වෙලා.

මට කිසිම වැදගත් පණිවිඩයක් ජංගම දුරකථයට ලැබුනේ නැතත් ඒක නැතුව ගෙදරින් එලියට බැස්සොත් හරියට අයිඩෙන්ටි කාඩ් එක නැතුව කොළඹ යනවා වගේ දැනෙනේ. මේ වෙනකම් ජංගම දුරකථයක් තිබ්බ කියලා හදිස්සි අවස්ථාවකදි මට සිද්ධ උන වාසියක් නම් නැහැ.මන් මේ වෙනකොට ජංගම දුරකථන සමාගම් දෙකකට ගෙවලා තියෙන බිල් වල එකතුව දැක්කම මටම හිතෙන්වා මේ සල්ලි වලින් වෙන මොනා හරි කලානම් කොච්චර ප්‍රයොජනවත්ද කියලා.

සමහර පිරිමි සහ කලාතුරකින් ගැහැණු අයත් ජංගම දුරකථන්යෙන් ගන්නේ මොන වගේ වැඩද කියලා ලංකාවේ තියෙන සමහර සයිට් වලට ගියාම බලාගන්න පුළුවන්. සිංදු අහන එක ඇරුනම ටීවී බලන්න, ගේම් ගහන්න, ෆොටො ගන්න, වීඩ්යෝ කරන වගේ දෙවල් තමයි ගොඩ දෙනෙක් ජංගම දුරකථනයෙන් වැඩිපුරම කරන්නේ. කලාතුරකින් කෝල් ගන්නවා නැත්නම් ඉතින් SMS හරි Miss Call හරි තමා.

මන් නම් හිතන්නේ මේක එක්තරා විදිහක තේරුමක් නැති වසංගතයක් කියලා. අවාසනාවට මාත් ඒකට ගොදුරු වෙලා

මේ දවස්වල නිතරම වැස්ස ඒක නිසා සතිඅන්තයේ කොහේවත් යන්න හිතුනේ නැහැ. ගෙදරට වෙලා නිදා ගන්න එක තමා වැඩිපුරම කලේ. ඊයේ (ඉරිදා)ටිකක් පායලා තිබ්බ නිසා දවල් ගියා නෑදෑ ගෙදරක ගිහින් ටික වෙලාවකින් එයාල එක්ක එහෙ දවල්ට කන්න හදලා තිබ්බ කෑම භාජනත් එක්කම අරන් ගියා මීගමුවේ වෙරළ උද්‍යානයට නාන්න.

ඇතුලට යන්න වාහනේටම රුපියල් පනහක ටිකට් එකක් නම් කඩනවා. හැබැයි ඇතුලේ නඩත්තුව නම් අන්තිමයි. හැම තනම කුණු. කුණු දාන්න එකම එක තැනක් විතරයි මන් දැක්කේ ඉතින් මිනිස්සු හැමතැනම් දාලා. එක ටැප් එකක් තියෙනවා ඉතින් එතන දිග පෝලිමක් මිනිස්සු බෝතල් වලට වතුර එකතු කරන් තමා මුහුදේ නාලා ඇවිත් නාන්නේ (අපේ මාමා කෙනෙක් නම් කිව්වා මුහුදේ නෑවම ලුණු වතුර පිටින් ඉන්න ඕනෙලු නැත්නම් මුහුදේ නාපු එකෙන් වැඩක් නැහැ කිව්වා ඒකත් ඇත්ත එක අතකට).

ඒ අස්සේ මගේ අතේ තිබ්බ ඉස්සො වඩේ එකක් කවුද එක පාරටම උදුර ගත්තා. බැලුවහම කපුටෙක් අවිත් උරහිස්සේ වහල අතේ තිබ්බ වඩේ කෑල්ල අරන් ගියා. වඩේ කෑල්ල ගැන නම් අවුලක් නැහැ ඒත් කපුටන්ගේ නියපොතු පාර වැදුනම තරු පේනවා. මීට කලින් දවසකත් කපුටෙක් මගේ ඔළුවේ වහගෙන ගියා (මගේ ඔළුව කපුටු කූඩුවක් වගේ නම් නැහැ යන්තම් කොන්ඩේ තියෙන්නේ). එදත් නියපොතු පාර මතක හිටින්නම ඔළුවට වැදුනා.

කනගාටුදායකම තත්වේ තමා මිනිස්සු බීලා බොතල් දාලා සමහර එවා බිඳලා ඉතින් වීදුරු කටු හැම තැනම මුහුදු වෙරළට යනකොට ලොකු පොඩි හැමෝම සෙරෙප්පු සපත්තු ගලෝලා යන්නේ ඉතින් කකුල කැපෙන්න තියෙන ඉඩ නම් හරිම වැඩියි.ඒක නම් හරිම ජරා වැඩක්.මිනිස්සු බිව්වට කමක් නැහැ ඒත් ආයිත් දවසක ඇවිත් ආපහු බොන්න බීපු තැන ඉතුරු කරන්න ඕනේ කියන එක නම් හිතේ තියා ගන්නම ඕනේ

මේ දවස්වල මට ටිකක් හෙම්බිරිස්සාව ඉතින් හැම වෙලේම නහයෙන් බේරි බේරි තමා ඉන්නේ.
ඔය අතරේ මට සිද්ද් උනා පොඩි උවමනාවකට පොදු වැසිකිලියකට යන්න.
ලංකාවේ පොදු වැසිකිලි හරිම පිරිසිදුයිනේ ඉතින් ඒවා ඇතුලේ මාර සුවඳයි
සාමාන්‍යයෙන් නම් ගිහින් එනකම් හුස්ම ගන්නේ නැතුව තමා ඉන්නේ

ඉතින් ඔන්න මන් මගේ කටයුත්ත සිදු කරමින් ඉන්න අතරේ මගේ නහයෙන් බේරෙන්න පටන් ගත්තා

ඉතින් ඔයවගේ වෙලාවකට කරන්න තියෙන්නේ දෙවල් දෙකයි එකක් ලේන්සුවෙන් පිහදාගන එක
ඒත් මට ඒක කරන්න අත් දෙක නිදහස් කරගන්න විදිහක් නැහැ
අත් නිදහස් කලොත් මට සිද්ද වෙන්නේ කලිසම තෙමා ගන්න

අනික් එක තමයි හොඳට උඩට හුස්මක් ඇදලා එලියට එනටික ඇතුලට ඇදලා ගන්න එක
අනේ මට එක කරන්න විදිහකුත් නැහැ
පොදු වැසිකිලියේ සුවඳවත් වාතයෙන් මගේ පෙනහළු පුරෝ ගන්න බැරි නිසා.

මොනවා කරන්නද ලාවට දැනිච්ච ලුණු රසකුත් එක්ක මගේ කටයුත්ත මන් ඉවර කලේ තවත් කෙනෙකුට මූණ පෙන්නන්න බැරි තත්වෙකට පත් වෙමින්.

වැඩිය සෙනගක් නොහිටපු නිසා ඉකමනින්නම මූණ පිහදාගත්තා වැඩේ ඉවර වෙලා.

හැමදේම තිබ්බත් සමහර වෙලාවට අපිට පොඩි දෙයක්වත් කරගන්න බැරි තරම් අසරන වෙන වෙලාවල නැත්තෙමත් නැහැ මේ ජීවිතේ....!!!!

අපේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත්. මම නම් තුන් වේලටම කන්න කැමති බත් ඒත් ඉඳලා හිටලා උදේ රෑ වේල් දෙකනම් වෙන වෙන කෑම ජාති කන්නත් අකමැත්තෙන් උනත් සිද්ධ වෙනවා. ඒත් දවලටනම් කොහොම හරි බත් ටිකක් කන්න තමා හැම වෙලේම ට්‍රයි කරන්නේ.

අපේ සමහර අය ඉන්නවා බත් කන්න වැඩිය කැමති නැති අය ඉතින් ඒ අය බත් කන්න පුළුවන් කමක් තිබ්බත් වෙන වෙන දේවල් කනවා. උදේ රෑ වේල් දෙක අත ඇරියත් දවල්ටත් බත් නැතුව වෙන වෙන කෑම කන අය ඕනේ තරම් ඉන්නවා.

තවත් කොටසක් ඉන්නවා බත් ටිකක් කන්න කොච්චර ආස උනත් එක වේලක් වත් බත් කන්න තරම් පුළුවන් කමක් නැති අය. මේක ලියන්න හිතුනේ ඒ අය නිසා. මම දවල්ට කන්න ගියාම එතනට එන සමහර අය දවල් කෑම ඒකට බොන්නේ ප්ලේන්ටියක් විතරයි. අපිට නම් ඉතින් දවල් කියන්නේ බත් කන වෙලාව මිසක් ප්ලේන්ටි බොන වෙලාවක් නෙමෙයිනේ. තවත් සමහරු වඩේ එකක් කාල ප්ලේන්ටියක් බොනවා. මේ අය අතරනම් බත් කන්න අකමැති නිසා ප්ලේන්ටි බොන අය නැහැ. බත් එකක් කන්න තරම් පුළුවන් කමක් නැති නිසා තමා මේ පිරිස වෙන මොනවායින් හරි දවල් වේල පිරිමහ ගන්නේ.

අපි වට පිටේ මිනිස්සු බඩගින්නට ප්ලේන්ටි බොද්දි අපේ බත් මුලෙන් කොච්චර අපි විසිකරලා ඇද්ද? ඒක කාටවත් දෙන්න නම් බැහැ තමයි ඒත් අපි අතින් කොච්චරනම් බත් අහක ගිහින් ඇද්ද. දන්සැල්, මළ ගෙවල්, මගුල් ගෙවල්, දානේ ගෙවල් කියලා කොච්චර නම් කෑම අපේ අය අහක දානවා ඇද්ද?

මේ දවස්වල කඩේ කෑම වේලට කොස්, දෙල් වරදින්නේ නැහැ. දවසින් දවස බඩු ගනන් යන නිසා කෑම වේල ලාබේට හදා ගැනීමේ උපක්‍රමයක් හැටියට තමයි කෑමට ලාබෙට හොයාගන්න පුළුවන් දේවල එකතු කරන්නේ. කොස්, දෙල් තියන්වා ෂා මරුනේ කියල කෙනෙක්ට හිතෙද්දි මීට වඩා වෙනස් මොනාහරි තිබ්බනම් කියලා සමහර වෙලාවට මට හිතෙනවා. ගමේ ගොඩේ කෑම කන්න අකමැති නිසා නෙමෙයි ඒත් හැමදාම එකම කනවට වඩා වෙනස් දේකටත් ඉතින් ආසයිනේ

නගරේ ඉන්න සල්ලි බාගෙ තියෙන උදවිය ගමේ විදිහට හදපු කෑම වේලක් කන්න ආස කරනවා. ඒ උදවිය ඒ වෙනුවෙන් ඉහල මිලකුත් ගෙවද්දි ගමේ ඉන්න නැති බැරි අය තමන්ගේ වියදම් අඩුකරගැනීමේ ක්‍රමයක් විදිහට සරලම දෙවල් වලින් තමන්ගේ ආහාරය සකසා ගන්නවා. වෙන කරන්න දෙයක් නැති කමට මිසක් වෙන දෙයක් කන්න ආස නැති කමකටම නෙමෙයි.

කටු මැටි ගේක හැමදාම ඉන්න කෙනෙක්ගේ එකම හීනය තමයි සිමෙන්ති වලින් කාමරයක් හරි හදා ගන්න එක ඒත් සිමෙන්තිවලින් හදපු මාලිගාවක් වගේ ගෙදරක ඉන්න අය නිවාඩුවක් එනකම් ඉන්නවා ඉතාම ඉහල මිලක් ගෙවලා කටු මැටි පැලක රැයක් දෙකක් ගතකරන්න යන්න.

මිනිස්සු හරි පුදුම ජාතියක්....

මන් දන්න විදිහටනම් ලංකාවේ කසාද බඳින්න ඕනේ කරන්නේ පස් දෙනයි. විවාහ ලියපදිංචි කරන කෙනයි සාක්කි කාරයෝ දෙන්නයි කසාද බඳින දෙන්නයි. හැබැයි මේ විදිහට විවාහ වෙන අය නම් හොයා ගන්න ලේසි නැහැ.

මේ ලිපිය ලියන්න හිතුනේ පහුගිය දවසක මුහුණු පොතේ දැක්ක දැන්වීමක්. මගුල් දවසට බැඳපු ජෝඩුවට නටන්න උගන්නන්වා කියලා තිබ්බ ඒකේ.මගුල් ගෙවල් වලට විවිධ අංග එකතු වෙලා. ගොඩක් ඒවායේ බොරු සෝබන විතරයි. දැන් Wedding Photo Album නෙමෙයි Wedding Story Book. මේ කිසිම එකෙක් අඩුවියදම් නම් නෙමෙයි .ගන්න මල් ටිකේ ඉඳලා රත්තරන් මාලෙට එනකම් අධික වියදම දැරියයුතු ඒවා.

පුළුවන් උපරිම මුදලක් වියදම් කරලා සමහර විට ණයත් වෙලා මගුල ගත්තට වැඩි කාලයක් දෙන්න එකට ජීවත් වෙන්නේත් නැහැ සමහ වෙලාවට.

මටනම් මගුල් ගෙවල් කියන්නේ පෙන්නන්න බැරි දෙයක් ඇඟට අපහසු ඇඳුමක් ඇඳන් පැය ගනම් ඉන්න එක එපා කරපු වැඩක් නිසා. කාගෙවත් මගුල් ගෙදරක ගිහින් නිකන් ඉඳලා ආවත් එදාට ඇඟට අමාරුයි හරියට දවසම මහන්සිවෙලා වැඩ කලාටත් වඩා. ඒකනම් මන් කීප පාරක් අත්දැකලා තියෙනවා ඒත් හේතුව නම් තේරෙන්නේ නැහැ

ජීවිතේටම එකපාරයි කියලා අති විශාල මුදලක් මේකට වැය කරන එකේ තේරුමක් තියෙනවද මන්දා?අර ඉස්සරම කාලෙක තිබ්බ වගේ දෙන්න කැමති උන දාක වෙනම ජීවත් වෙන්න පටන් ගන්න එක කසාද බැන්දා කියලා සැලකෙන විදිහට තිබ්බා නම් හොඳයි කියලා හිතෙනවා.

මෙච්චර කාලෙකට මන් බීල තියෙන ජාති අතරින් මන් කැමතිම ජාතිය මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් ආයි කතා දෙකක් නැතුව මම කියන්නේ මෙන්න මේක කියලා. ඒ තමයි Absolute වොඩ්කා වල තියෙන Mandarin රසැති වොඩ්කා එක.

දෙහිකෑල්ලක් සහ කොකාකෝලා සමග වීදුරුව පිරෙන්න අයිස් කැට දමා ගත් විට මේක නම් නියම බීමක්. 40% ඇල්කොහොල් අඩංගු වෙන නිසා 50ml Shot 3ක් විතර හොඳටම සෑහෙනවා.

මේකේ තියෙන අවාසනාවන්තම තත්වය තමා අධික මිල. කොහොමටවත් මේක තියෙන්නේ මට දරන්න පුළුවන් මිලක නෙමෙයි ඒක නිසා කාගෙන් හරි පිනට ලැබුනොත් මිසක් සල්ලි දීල අරන්නම් බොන්න වෙන්නේ නැහැ. ටිකක් හරි දරන්න පුළුවන් වෙන්නේ ලංකාවේ Duty Free එකෙන් ගත්තොත් විතරයි. ලංකාව තුල ගානනම් කතාකරලා වැඩක් නැහැ.

තාම නම් මට මීට වඩා රසවත් බීමක් හම්බ වෙලා නැහැ. Absolute වොඩ්කා වල විවිධ රස විශාල ප්‍රමානයක් තියෙනවා. තාම නම් මට රස බලන්න හම්බ වෙලා තියෙන්නේ දෙක තුනක් විතරයි අනාගතේදි තව දෙක තුනකවත් රස බලන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.

පින්තූරය ලබාගත්තේ මෙතනින්

පහුගිය දවසක නිකන් ඉන්න බැරුවට මෙන්න මේ URL ( http://www.wwwdotcom.com/ ) එක ගහල බැලුවා මාර වෙබ් අඩවියක් තමා ඒකේ තියෙන්නේ ඔයගොල්ලොත් ගිහින් බලන්නකෝ.
මිනිස්සුන්ටත් හිතෙන දෙවල් මාත් ඕක ගහල බැලුවේ එක ගන්න පුළුවන්නම් ගන්න හිතාගෙන ඒත් මට කලින් වෙන කෙනෙකුට ඒක හිතිලනේ.

ලංකාවෙනම් තාම සූකර උණක් ගැන කතාවක් නැහැ ඒත් මේ දවස් වල කිසිම කෑම කඩේක ඌරුමස් විකුනන්නේ නැහැ. ඉතින් ඌරු මස් ටිකක් ආසාවට කන්න කඩයක් නැහැ. අපේ ගෙදර ගෙන්නේ නැහැ හැබැයි කාල ආවට අවුලක් නැහැ යකාගෙ සිරිත් තමා.

කඩේ තේ බොනකොට දෙන්නෙක් කතා වෙනවා බොනකොට පළවෙනි බෝතලේ ගේන්න සල්ලි දෙන්නේ ඇඟෙන් ඇටයක් දෙනවා වගේ අමාරුවෙන්ලු ඒත් දෙවෙනි තුන්වෙනි එකට සල්ලි පැනලා දෙනවලු ඒ කතාවනම් සහතික ඇත්ත. ඕකට මරු වැඩක් කරලා තිබ්බ මන් දන්න කට්ටියක් මුලින්ම බෝතල දෙක තුනක් ගෙනත් පළවෙනි එක නොමිලේම බොන්න දීල ඊට පස්සේ බීපු අයගෙන්ම සල්ලි එකතු කරලා වැඩි ගානට අනික් බෝතල් විකුනලා ඒ විකුනපු බෝතල් වලින්ම ආපහු බීල. අතේ සල්ලි තියාගෙන පිනට බොන්න එන උන්ටනම් ඔහොම කරන්න ඕනේ.

පොසොන් නිවාඩුව ඉරිදා අපරාදෙ තව දවසක් එහාට පැන්න නම් දවස් තුනක් නිවාඩු. පේනවනේ අපි වැඩ කරන්න කොච්චර උනන්දුද කියලා වැඩකරන දවසක් නැති නොවුන එක ගැන දුක් වෙනවා.

කියනකොට කිව්වට තමන් අනික් අයගෙන් අවවාද අනුශාසනා ලබන්න කැමතියි කියලා ගොඩක් අය තමන්ට අනික් අය අවවාද දෙනවට කැමති නැහැ හැමෝම කැමතියි තමන් කැමති විදිහට වැඩකරන්න. වෙලාවකට හිතෙනවා අපිට අවවාද දෙන කෙනාට වඩා අපි දන්නවා කියලා එහෙම නැත්නම් ඒ කෙනා කියන දේවල් වල මොනා හරි අඩු පාඩු පේන්වා.

ගොඩක් වෙලාවට අනික් අයට ගුරුහරුකම් දෙන අය තම්න් විඳපු අත්දැකීම් ඇසුරෙන් තමා අනික් අයට යමක් කියන්නේ ඉඳලා හිටලා කෙනෙක් අනික් මිනිහා දියුනුවෙයි කියලා බයට ඒයාව වට්ටන්න හිතාගෙන බොරුවට උපදෙස් දෙන වෙලාවලතුත් නැතුවම නෙමෙයි. ඒත් අපිට හිතවත්ම කෙනෙක් කියන දෙයක් නම් සැලකිල්ලට ගන්න එක තමන්ගේ අනාගතයටන යහපත් ආකාරයෙන් බලපානවා.

මට මේ ගැන පොඩ්ඩක් ලියන්න හිතුනේ ඒ කාලෙ මට අනික් අය දීපු අවවාද (අවවාදම නෙමෙයි නිකන් මෙහෙම කරන්න කියල කියපු කතා ) වැඩිය මාත් ගනන් ගත්තේ නැහැ ඒත් දැන් නම් තේරෙනවා ඒ කාලෙ ඉඳලා එහෙම කලානම් මේ දවස් වල ඒවායේ ප්‍රයොජන බුක්ති විඳින්න තිබ්බ කියලා.

කීය කීය හරි ඉතුරු කරන්න - එහෙම නොකල එකේ පාඩුව දැන් තමා දැනෙන්නේ, කට්ට කාගෙන රස්සාව කරන්න - ඒ විදිහට කලින් රස්සා කලානම් ඒත් මීට වඩා මගේ තත්වය යහපත් වෙන්න තිබ්බ, සල්ලි නාස්ති කරන්න එපා - දැන්නම් ඒකලෙ ගත්ත සමහර DVD එහෙම මෙලෝ වැඩක් නැහැ කියලා හිතෙනවා.

හැබැයි ඉතින් අරක්කු බෝතල් වල නම් අවවාද ගහලා නැහැ ඒත් ඉතින් ඔය සිගරට් පැකට්වල තියෙන අවවාද සිගරට් නොබොන අය ඇහුවට බොන අය කනකටවත් ගන්නවායෑ ඒක නිසා කොයි අවවාදෙත් මේවාට නම් අදාල නැහැ

අපොස උසස් පෙළ ඉවර වෙලා කැම්පස් යන්න තරම් ලකුණු නැති කෙනෙකුට ලොකු පඩියකුත් එක්ක වැඩ අඩු රස්සවක් ලැබුනොත් ඒකට කැමති වෙන්නේ උඩින් හැබැයි මන් නම් ඒක දකින්නේ තමන් විසින් තමන්ගේ අනාගතයම නැතිකර දැමීමක් හැටියට. මොකද දන්නවද අත්දැකීම් අඩු කෙනෙක් වැඩිය වැඩක් ගන්නෙත් නැතුව තියාගෙන ඉන්න කොම්පැනියක් ටික කාලෙකින් බංකොලොත් වෙනවා ඊට පස්සෙ අපොස උසස් පෙළ විතරක් අධ්‍යාපන සුදුසුකම තියාගෙන කාලයක් වැඩ කලත් හරියට වැඩ කරල අත්දැකීම් නැති කෙනෙකුට වෙන රස්සාවක් හොයාගන්නත් අමාරුයි හොයා ගත්තත් අරවගේ ලොකු පඩියක් ලැබෙන්නෙත් නැහැ එතකොට එයට එහෙම වැඩ කරන්නත් බැහැ.

ඉතින් එහෙම කෙනෙක්ගේ අනාගතයම ඉවරයි. ඒක නිසා මමනම් කියන්නේ පළවෙනි රස්සව පඩි නැතත් හොඳ පුහුනුවක් ලැබෙන එකක් කරන්න ඕනේ. මම දැන් කරන්නේ මගේ කීවෙනි රස්සවද මන්දා ඒත් මන් මුලදිම කරපු ඒවායේ තිබ්බ දුෂ්කර ස්වභාවය නිසා මට ඒවා ඒපා උනා ඒක නිසාම මට හරියට පුහුණුවක් ලැබුනේ නැහැ. දැන් තාමා ඒකේ පාඩුව මට දැනෙනේ. දැන් මන් වයසට ගිහින් ඉතින් කාගෙන වැඩකරන්න හිතෙන්නේ නැහැ ටිකක් ලේසියෙන් වැඩකරන්න තමා කැමති ඉතින් එහෙම උනාම මගේන් උපරිම කාර්යක්ශමතාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම වැඩ කරන කෙනෙකුට වැඩකරන තැනිනුත් උපරිම සැලකිලි ලැබෙන්නේත් නැහැ.

අපේ වෘත්තීය ජීවිතේ පටන්ගන්නකොට හොඳ පුහුණුවක් ලැබුනොත් අපිට අනාගතේදි ඒකෙන් ලැබෙන වාසි බොහොමයි. හොඳට පිලිවෙලට වැඩකරන්න පුළුවන්කම ලැබෙනවා.

ඒක නිසා මන් මේ ඊලඟට වැඩ පටන්ගන්න හදන අයට කියන්නේ. මුලිනම කරන රැකියාවෙන තමන්ට ලැබෙන වැටුපට වඩා ලැබෙන පුහුණුව , අත්දැකීම් ගැන හිතන්න ඊලඟ රැකියාවෙන් වැටුප ඉබේටම ලැබෙයි එතකොට

කාලෙකට කලින් වස්ගමුවේ ගිය වෙලාවක ඒක මැදින් ගලා යන ගඟට ගියා නාන්න , අපි විතරයි හිටියේ අපි කතා කරන එක නැවත්තුවහම අපිට ඇහුන එකම ශබ්දය නිෂ්ශබ්දතාවය විතරයි . ඒ හරියේ ගඟ ගලන්නේ තැනි තලාවක හෙමින් නිසා අඩුම ගානේ ගඟ ගලන සද්දෙත් නැහැ ඒක මන් ජීවිතේදි නිෂ්ශබ්දතාව විඳපු සොඳුරුම අවස්තාවක්.

ගෙදරදි නම් මේවගේ එකක් විඳින්න ලැබෙන එක හීනයක්, රේඩියො සද්ද, රූපවාහිනිය, වාහන මිනිස්සු හයියෙන් කෑගහන සද්දේ, පාර පුරා යන ශබ්ද විකාශන යන්ත්‍ර වල ශබ්ද මෙකී නොකී සද්ද කෝටියයි.

නිෂ්ශබ්දතාවයෙන් අපේ හිතට පුදුමාකර සුවයක් ලැබෙනවා ඒක නගරවල තියා ගම්බද ඉන්න මිනිස්සුන්ටත් දැන්නම් දැනෙන්නෙම නැතිව ඇති. එහෙම නොලැබෙන එක මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍යට කොච්චර බලපානවද කියලා මන් දන්නේ නැහැ ඒත් ඒක එච්චර ඇඟට ගුණ දෙයක්නම් නෙමෙයි කියලා තමා මට නම් හිතෙන්නේ.

ගෙදර ඉන්නකොට පොඩ්ඩක් හරි නිෂ්ශබ්දතාවක් අත්විඳින්න ලැබෙන්නේ රෑට විදුලිබලය ඇනහිටියම විතරයි අනික් හැම වෙලාවටම මොකක හරි සද්දයක් නැති නොවෙන්න හේතුවක් නම් මට හිතාගන්න බැහැ

අවුරුදු දෙක තුනක් රස්සාව කලාට පස්සේ මගේ වත්කම් බැළුවම වැඩිපුරම හම්බ කරලා තියෙන ජාතිය තමා පොත්.

කබඩ් දෙකතුනක් පිරෙන්න තියෙන පොත් කියවලා විතරක් නෙමෙයි ඒව අතපත ගාලත් මම ලබපු සතුටනම් කියලා වැඩක් නැහැ. දැනුමක් නම් ලබා ගත්තද මන්ද ඒත් මන් හිතන පතන විදිහට පොත්වලින් නම් මොකක් හරි බලපෑමක් වෙලා ඇති.

සමහර පොත් එක පාරකුත් සමහර පොත් දෙතුන් පාරකුත් සමහරක්වා උඩින් පල්ලෙන් කියවන්නත් හේතු උනේ නම් ඒ ඒ පොත මගේ හිතට අල්ලපු විදිහ. ඒත් කිසිම පොතක මට තියෙන වටිනාකම නම් පොත කොච්චර සවුත්තු උනත් අඩුනම් වෙලා නැහැ.

මන් ගාව වැඩිපුරම තියෙන්නේ නම් නවකතා සහ පරිවතන ඒ ඇරෙන්න විවිධ විෂය ගැන ලියැවුනු පොතුත් බොහොම ටිකක් තියෙනවා. සිංහල පොත් තමා වැඩිපුරම තියෙන්නේ ඉංග්‍රීසි පොත් නම් අතේ ඇඟිලි ගානටවත් නැති තරම්.

පොත්වලින් අපි ගන්න ප්‍රයොජනනම් හරිම අඩුයි මලලසේකර ශබ්දකෝෂයේ එකපිටුවක් එක දවසකට කියෙවුවනම් මේ වෙනකොට මුළු ශබ්දකෝෂයම දෙතුන්පාරක කියවන්න කල් ඒත් එකේන් මට කොච්චර ඉංග්‍රීසි දැනුමක් ලබාගන්න තිබ්බද ඒත් ඒක එහෙම වෙලානම් නැහැ.

පොත් සම්බඳව මට තියෙන අමිහිරිම අත්දැකීම තමා මන් සල්ලි දීල ගේන පොත් නිකන් අරන් යන නෑදෑයෝ සහ හිතවතුන් ආපහු ගෙනත් නොදෙන එක. එයාල පොත් ගෙනියන්නේ කියවන්නම නෙමෙයි දැක්කම ආසාවට ඒත් ආපහු ගෙනත් නම් දෙන්නේ නැහැ අපි ගිහින් ඉල්ලනකොට දකින්න හම්බවෙන්නේ කොහෙහරි දාල තියෙනවා ඒතකොට තමා එයලට මතක් වෙන්නේ එහෙම එකක් ඉල්ලන් ආවා කියලා ආයි අපිට කියන්වා තාම බැලුවේ නැහැ කියවලා ගෙනත් දෙන්නම් කියලා. නොදුන්නොත් එහෙම බනිනවා අරයා අඩුම ගානෙ පොතක්වත් දෙන්නේ නැහැ කියලා.

පොත් ගැන සිංහලෙන් තියෙන වෙබ් අඩවියක් මම නම් දැක්කේ මේක විතරයි අනික් එවා නම් පොත් විකුනන්න තියෙන වෙබ් අඩවි.

පොත් කියන්නේ මටනම් හරිම වටින දෙයක්

සුරාවේ ගුණ වගේම ආදීනව ගැන කියන්න එකත් සුරාව භාවිතා කරන අයම කරනවනම් හොඳයි කියලා මට හිතෙන්නේ.

පහුගිය සිකුරාද වෙසක් නිසා නිකමට වගේ මම බුදුසරණ පත්තරයක් ගත්තා. කියවන්න වැදගත් ලිපි ගොඩක් තිබ්බ ඒකේ කැමතිනම් ගිහින් බලන්න. මේ අතර තිබ්බ මේ ලිපිය ගොඩක්ම හිතට ඇල්ලුවේ ඒකෙ සුරාවේ ආදීනව නියමෙටම කියලා තිබ්බ නිසා.

තවත් ලිපියක් දැක්ක ගිය ඉරිදා ලක්බිම පත්තරේ. එකේ තිබ්බේ අපෙ ඉන්න හොඳ, දක්ෂ කලාකාරයෝ සහ මත්පැන් අතර සම්බන්ඳතාවය ගැන කතාවක්. ඒකත් කැමතිනම් බලන්නකෝ.

මේ තවත් සුරාවේ ආදීනව ගැන ලිපි දෙකක්.

http://www.silumina.lk/2008/11/16/_art.asp?fn=as0811165

http://www.lakehouse.lk/budusarana/2009/04/02/tmp.asp?ID=vision05

මන් මේ සුරා පානයෙන් මිදෙන්න කියලා හිතාගෙන මේක ලිව්වා එහෙම නෙමෙයි නිකමට ලිව්වේ. හොඳ නරක දෙකම දන්න නිසා ගානට වැඩේ වෙයි කියලා මට හිතෙනවා.

මේ අවුරුද්දේ වෙසක් ඉවරනේ මන් නම් වෙසක් බලන්න ගියේ නැහැ ඒත් ඔය ලඟපාත පොඩ්ඩක් ඇවිද්දා විතරයි. ලබන අවුරුද්දේ වෙසක් බලන්න යන්න කියල හිතාගෙන ඉන්නේ ඒකට ඕනේ කරන දේවල් ලැයිස්තුවක් හැදුවා.

පැදගෙන යා හැකි ඕනෑම වාහනයක්
( License, Insurance, Number Plate නොමැති නම් වඩාත් සුදුසුය. වහලයක් නොමැති වීම විශේෂ සුදුසුකමකි)
යක්කුන්ගේ හෝ සතුන්ගේ මුහුණු සහිත සම්පූරන්යෙන්ම හිස ආවරනය වන වෙස් මුහුණු.
පපර බෑන්ඩ් කණ්ඩායමක් හෝ හොඳින් බෙර ගැසිය හැකි පුද්ගලයෙක්
පොලිසිය භාවිතා කරන ආකාරයේ විසිල් එකක්
හොඳින් හූ තැබිය හැකි පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙක්
(සියල්ලටම යා හැකි ලොරියක් හෝ අත් ට්‍රැක්ටරයක් තිබුනොත් හොඳය )

සහභාගීවන සියළු දෙනාට අදාල කාර්යයන් ඇති අතර ආරම්භයේ සිට අවසානය දක්වා සද්ද පුජාව පැවැත්විය යුතුය. දන්සල් ලඟ නැවැත්වූ විට සංග්‍රහ ඉවර වනතුරු වාහනයෙන් බැස පිස්සු වැටුනු සේ නැටිය යුතුය. පිරිමින් නොවන සියළුම් දෙනාට උසුළු විසුළු කලයුතු අතර වයස් බේදයක් නැත. සුද්ද සිංහල භාවිතයටද තහනමක් නොමැත. අපායට ඇසෙනසේ හයියෙන් හූ තැබීම තමන්ගේ ශ්‍රද්ධාව වැඩියෙන් පෙන්වීමේ මාර්ගයක් නිසා නිතර එය කල යුතුය. සියළුම දෙනා පසුබිමින් ඇසෙන බයිලා වාදනයේ තාලයට නැටිය යුතුය.

මේ විදිහට තම අපේ අය වෙසක් සමරන්නේ. පෝය දවසේ උදේට සිල් ගත්තත් රෑ උනාම වෙසක් බලන්න යන්නේ මේ විදිහටනේ. ඉතින් මෙහෙම යන අයට තමා දන්සැල් දාල නිකන් කන්න බොන්න දෙන්නේ.

හැබෑටම වෙසක් කියන්නේ මේ වගේ උත්සවයක්ද? ඒක සමරන්න ඕනේ මේ විදිහටද?

ඊයේ වෙසක් පොයනේ මාත් ඉතින් ගියා දන්සැල් වඳින්න. (පොයටවත් පන්සල් නම් වඳින්න යනවා අඩුයි) උදේ මුලින්ම ගියේ කඩල දන්සැලකට ඒකනම් නියමෙට තිබ්බ (බයිට් එකට මරු. කෝ ඉතින් වහලනේ නැත්නම් මොනා හරි කරන්න තිබ්බ පෝය දවසේ උදේම) ඊට පස්සෙ සරුවත් දන්සැලක්. දවල් කන්න දන්සැලක් හොයාගෙන ගියත් හම්බ උනේ නැහැ ඒක නිසා ෆෘට් සැලඩ් දන්සැලකින් සෑහීමකට පත් වෙන්න සිද්ධ උනා.

ආපහු රෑ, මුලින්ම සිසිල් පැන් ඊට පස්සෙ ජීවිතේ පළවෙනි වතාවට බත් දන්සැලකින් කෑවා. බත්, කොස්, කරවල හොදි, පරිප්පු, අඹ මාළුව, බැදුමක්, අච්චරු තිබ්බ බත් එක නම් නියම රසයි. කෑමට පසු අයි කෝන් එකකුයි කෙසෙලුයි දුන්න. ඒකත් කාල එනගමන් ආයි අර සිසිල් පැන් එකෙන් බීල, සව්, කිරි කෝපි දන්සැල් දෙකක් වැන්දා. රෑ අන්තිමට ගියා සුප් දන්සැලකට. ඒකත් ඉතා ඉහල තත්වයේ තිබ්බ මිනිස්සු ෂොපින් බෑග් වලට හිටන් සුප් අරන් ගියා.

දන්සැල් දෙන එකයි දන්සැල් වලින් කන එකයි දෙකම ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ජොලියට කියලයි මටනම් හිතෙන්නේ නැතුව ඒකෙ ආගමික දෙයක් නම් තියෙනවද මන්දා. සද්දෙට සිංදු දාගෙන අනික් අයගෙන් සල්ලි එකතු කරලා බලෙන් දෙන දන්සැල්, පෝලිමෙ ඉඳලා ගිහින් බත් කන, සුප් බොන දන්සැල් වලින් සෙතක් නම් වෙනවද මන්දා. (මාත් හොඳට කාල බීලා ඇවිත් ඒවටම බනිනවා)

මේක සුයිප් ටිකට් ද සුවිප් ටිකට් ද මන්දා මේ වචනේ ආවෙ කොහෙන්ද කියලා මන් හරියටම දන්නෙත් නැහැ මන් මේ කියන්න යන්නේ ඇදුනොත් කෝටියයි නැත්නම් අතේ තිබ්බ රුපියල් විස්සටත් (ඉස්සරනම් දහයයි) කෙලවෙන ලොතරැයි ගැන.

ඉස්සරනම් මාත් ගත්තා ඒත් දැන්නම් වැරදිලාවත් ගන්නේ නැහැ මොකෝ මම හොඳටම දන්නවා ලොතරැයියෙන් වෙන්නේ මගෙ අතෙ තියෙන රුපියල් විස්සත් නැති වෙන එක කියලා. මන් දන්න ගොඩක් අය ඉන්නවා දවසකට ලොතරැයි 5 ක් විතර ගන්න එයාල කියන්නේ නම් රුපියල් 1000, 5000 වගෙ ගනන් ඇදිලා තියෙනවා කියලා ඒත් දවසට රුපියල් 100 ගානෙ මාසෙකටම එයාල රුපියල් 3000ක විතර ලොතරැයි අරන් තියෙනවා . ඒ වගේ මාසයක් දෙකක් අරගත්තම රුපියල් 1000ක් ඇදුනම ඇති වැඩේ මොකද්ද.

මෙයාලට ඕක කොච්චර පැහැදිලි කරන්න හැදුවත් කරන්න බැහැ. මන් දවසක් කිව්වා දවස ගානෙ සුවිප් ගන්න සල්ලි කැටේකට දාල මාසෙකට සැරයක් සුවිප් එකක් ඇදුනා කියලා හිතාගෙන කැටේ කඩන්න කියලා. ඒතකොට ඊට වඩා වාසියි කියලා. කොහෙද ඇති වැඩක් නැහැ.

හැබැයි ලොතරැයි ගන්න එකෙත් පොඩි ගතියක් තියෙනවා ඕක ඇදුනොත් මේවා මේවා කරනවා කියලා හීන මවලා පොඩි ආතල් එකක් ගන්න පුළුවන්නේ ඒක රුපියල් විස්සකට වඩා වටිනවා වෙන්න පුළුවන්.

ලොතරැයියක් ඇදිලා හරිගිය අය ගැන්නම් අහන්න හම්බ වෙන්නේ ගොඩක් කලාතුරකින් තමා ගොඩක් අයට හිටියටත් වඩා අන්ත වෙන එක තමා ලොතරැයි දිනුමකින් ලැබිලා තියෙන්නේ.

සෝඩා කියන්නේත් මහ පුදුම ජාතියක් තමා. නිකන් බොන්න බැහැනේ හැබැයි වෙන මොනා හරි දැම්මම නම් ජාති. ඉස්සරනම් මට සෝඩා පේන්න බැහැ ඇයි ඉතින් මෙලෝ රහක් නැහැනේ. ඒ උනාට නිකන් සෝඩා විතරක් බොන අයත් නැත්තේම නැහැ. සෝඩා වීදුරුවක් පිරෙන්න අයිස් කැට දාල බොන කොටනම් අමුතු ගතියක් තියෙනවලු ඒත් මම නම් බීලා නැහැ.

මම වැඩිය ටීවී නම් බලන්නේ නැහැ ඒත් ටීවී එකෙ බොන දර්ශන වලට කොටු දානකොට ඊට යටින් රස නොමරා රස විඳින්න කියලා සෝඩා දැන්වීමක් යන්වලු. මේක ගැන රාවය පත්තරේ ලිපියක් තිබ්බ. බොන එක වහලා බොන්න කියන්වා වගේ කතාවක් මේ දැන්වීමෙන් කියැවෙනවා සහ තවත් විස්තර ටිකක් කියලා කොහොම උනත් කතාව ඇත්ත සෝඩා දැම්මම රස වෙනස් වෙන්නේ නැහැනේ.

සැන්ඩි වලට සෝඩා ගන්න එකේ පොඩි වාසියක් දෙකක් තියෙනවා. බීමේ රස රැකෙන එක, ශරීරයට කොකා කෝලා තරම් අහිතකර නොවීම, නොබොන අය සැන්ඩි වලට වග කියන එක අවම වීම. ලාබ වීම, අවාසි තමා බොන්න ටිකක් අමාරු වීම මොකෝ කොකා කෝලා වගේ පැනි රසක් නැහැනේ. ඉත්න් බොන්න ටිකක් අමාරුයි.

ලංකාවෙ වෙළඳ පොලේ සෝඩා ජති දෙක තුනක් තියෙනවා අලියා සෝඩා, Lion Soda, Shaa Soda, My Soda. මේවා සේරම ඒක වගේ ඒත් මම නම් වැඩියෙනම් කැමති අලියා සෝඩා වලට . මන් හිතන්නේ අලියා බීම වලින් වැඩියෙන්ම විකිනෙනෙන සෝඩා වෙන්න ඕනේ.

රස නොමරා රස විඳින්න ගැන මෙතනත් තිබ්බා

පොඩිකාලෙ දවසක ගමේ පන්සලේ හාමුදුරුවෝ ඇහුවා "දැකුළු මල්" දැකලා තියෙනවද කියලා. ඒ මල් ජාතිය ගැන දහ අතේ කල්පනා කරනකොට හාමුදුරුවෝ "බීරි මස්කට්" දෙන්න ද ඇහුවා කන්න. නොදන්න දෙවල් කන්න ඒ කාලෙ බය නිසා එපා කියලා අර මල් ජාතිය මොනාද කියලා කල්පනාකලා.

ඊටත් පස්සෙ කාලෙක බේතකට කියලා "පොටිච්ච වැල්" හොයාගෙන එන්න කිව්වා. ගස් වැල් ජාති ගැන කිසිම අදහසක් නැති මට මේවා කොහෙන් හොයන්නද කියලා තමා හිතුනේ. පහුගියකාලෙක කොස් කඩේකට ගිහින් "කොස් කිරන්න" කියපු නෝනා කෙනෙකුගෙන් කඩේ හිටපු කොල්ල කොහාටද කිරන්න ඕනේ කියල අහපු කතාවකුත්, ජනප්‍රිය වෙච්ච සිංදුවක "ඉල්ලල අඹ" ගන්න කතාවකුත්, Class යනකොට කොල්ලෝ නීතිය හදාරන අයට තමන්ගේ "නඩුව බලො" ගන්න බැරිද කියලා ඇහිල්ලකුත් තිබ්බ .

සිංහල බාසාව හැර වෙනත් බසක හෝඩිය ඇරෙන්න වෙන මොකුත් වැඩිය දන්නේ නැති නිසා මේ වගෙ වචන ඒ බාසාවලත් තියෙනවද කියලා දන්නේ නැහැ හැබැයි අපේ නම් තියෙනවා ඕනේ තරම්. අහලා තියෙන වචන නම් ගොඩයි ඒත් මේ වෙලාවේ මතක් වෙන සභ්‍ය ඒවා ටිකනම් මෙච්චරයි අනික් සේරම අසභ්‍ය.

අසභ්‍ය මේ විදිහේ වචන නම් නිතරම පාවිච්චි වෙනවා. මොකෝ අනික් අයට තේරෙන්නේ නැති නිසා කියන්න පුළුවන්නේ ඕනේම තැනක. අනික කියන වචනේ තෙරුමක් තියෙනවා අනික් පැත්ත හැරෙව්වම කුණු හරපෙකුත් තියෙනවානේ

මේ තියෙන්නෙ මාස හයකට කලින් ගිය ගාන
මේ දැන් ගාන
සංස්ථා ඔල්ඩ් අරක්කු බෝතලයයි :675/= ( ඉස්සර 640/= )
ගෝල්ඩ් ලීෆ් සිගරට් පැකට් එකයි:216/= ( ඉස්සර 192/= )
අලියා සෝඩා පොඩි බෝතලයයි:60/=
පොඩි කොකා කොලා එකයි:70/=
රටකජු ග්රෑම් 100:30/=
කඩල ග්රෑම් 100:30/=
බුලත් විටයි:10/= (බිවුවට පස්සෙ එන ගඳ අඩු වෙන්න )
ඔක්කොම:1091/=
මාස හයක් ඇතුලත 6% කින් බඩු මිල වැඩි වෙලා.
බ්ලොග් එකක් කොච්චර කාලයක් තියෙනවද කියලා මන් දන්නේ නැහැ ඒත් මන් වයසට යනකනුත් මේක තිබුනොත් ඒ කාලෙට බලන්න පුළුවන් වියදම් සන්සන්දනය කරලා

නියම සිංදුවක් අහන්න ලැබුනා.

මෙන්න අහන්න
මෙන්න පදවැල

දළ වශයෙන් ගත්තම සිංහලෙන් කියන්වනම්
"ගංජා ගහලා ආතල් විඳින්න තවත් දවසක් මට ජීවත් වෙන්න දුන්නට දෙවියන්ට ස්තූතියි" වගේ අදහසක් තමා කියැවෙන්නේ (මගෙ ඉංග්‍රීසි දැනුම නම් අන්තිමයි ඒක නිසා මට තෙරුන විදිහ හරිද මන්දා. අනේ මේ සිංදුවෙන් කියැවෙන්නේ එහෙම එකක් නෙමෙයි නම් සමාවෙන්න ඕනේ)

මෙහෙම එකක් සිංහලෙන් කිව්වොත් කොහොමට හිටීද?

නෙදර්ලන්තයේ තියෙන ඇමැස්ටර්ඩෑම් කියන නගරයේ කෝපි කඩවල නිත්‍යානුකූලව ගංජා විකුනන්න අවසර තියෙනවලු. ඉතින් මෙහෙ වගේ නැතුව අමාරුවෙන් හොයාගෙන හොරෙන් විඳින්නේ නැතුව ඒ පැත්තේ ගියානම් සුන්ඳර හැන්දෑවක ප්‍රසිද්ධියේ ඉඳගෙන මිහිර විඳින්න තිබ්බ. (මටනම් ඒක මැවිලා පේනවා)
(මිහින් එයාර් ලාබෙට ටිකට් දෙන්නේ නැද්ද දන්නේ නැහැ එහෙ යන්න)

මම පාවෙනවා උඹත් පාවෙනව
අපි අහසටම පාවෙමු
බලපන් සමනල්ලු පියාඹනවා
ගංජා අපේ හිතේ කරදර සියල්ල නැති කරනවා............

මේ චිත්‍රපටියෙත් හොඳ ටිකක් තියෙන්වා ගංජා ගැන

අන්තර්ජාලය කියන්නේ ලෝකෙ තියෙන ලොකුම ශ්‍රව්‍ය දෘශ්‍ය පුස්ථකාලයක්. ඕනෙම කෙනෙකුට ඕනෙම දෙයක් ගැන ඉගෙන ගන්න ඕන කරන ලිපි, පාඩම්, වීඩියෝ පට අන්තර්ජාලයෙන් හොයාගන්න එක එච්චරම අපහසු දෙයක් නෙමෙයි. උනන්දුවෙන් කැපවෙලා හොයන කෙනෙකුට අන්තර්ජාලය හරියට ප්‍රයොජනයට ගන්න කෙනෙකුට ජීවත් වෙන්න අවශ්‍ය රැකියාවක් උසස් අධ්‍යාපනයක් අන්තර්ජාලයෙන් ලබාගන්නත් බැරිකමක්ම නැහැ ඒත් කනගාටුවට කාරනේ කියන්නේ මෙච්චර වටින කියන අන්තර්ජාලය මම නම් පාවිච්චි කරන්නේ කාලය කාදැමීමේ අංගයක් හැටියටයි.

මම විතරක් නෙමෙයි බොහෝදෙනෙක් අන්තර්ජාලයෙන් හරියට ප්‍රයොජන ගන්නවද කියලා මටනම් සැකයි. Facebook,hi5, forums, email, news, mp3, film අඩවිවල ගතවෙලා තියෙන මගේ කාලය මන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න යෙදෙව්වනම් මේ වෙනකොට ඒකෙ ප්‍රවීනයෙක් වෙන්න තරමට කාලයක් මන් නාස්ති කරලා තියෙනවා කියල මටනම් හිතෙන්නේ.

18,20 ඉන්නකොට නාස්තිවෙන කාලය ගැන හැඟිමක් නැහැ හැබැයි 25,30 වෙනකොටනම් ඒ ගතවුනු කාලය ගැන කනගාටුවක් ඇති වෙනවා ඒක නිසා මන් මේ කියන්නේ අළුතින් අන්තර්ජාලෙට එකතුවෙන උදවියට. අන්තර්ජාලය ප්‍රයොජනවත් විදිහට භාවිතා කරන්න විනෝදය ටිකක් තිබුනම ඇති ගොඩක් වැඩ වලට යොදා ගන්න.

ලෝකයේ අනික් රටවල් වල ආර්ථිකයන් කඩාගෙන වැටෙද්දී අපේ රට එම අභියෝගයන්ට මුහුනදෙමින් නොසැලී ඉන්නවා කියලා තමා අපේ දේශපාලකයෝනම් කියන්නේ ඒත් ඒ කතාවේ ඇත්ත නැත්තනම් මම හරියටම දන්නේ නැහැ ඒත් අපේ රටේ විශාල වශයෙන් සේවකයන් රැකියාවල නියැළුනු කර්මාන්තශාලා කීපයකම වසාදමා හා සේවකයන් අඩුකරමින් සිටින වගනම් මට අහන්නට ලැබුනා.

මේ බොහොමයක් ආයතනවල ඉවතකරන සේවකයන් හරියට යන්ත්‍ර වගේ ඒ අය දන්නේ එකම එක කාර්යයක නියැලෙන්න විතරයි උදා: දියමන්ති කපන අය එය කිරීමට පමනක් දනී , විද්‍යුත් පරිපථ හෝ වෙනත් උපකරන වල කිසියම් කොටසක් සවිකිරීමට පමනක් තවත් පිරිසකට හැකියාව ඇත. ඇඟලුමකට බොත්තම් ඇල්ලීම, වාටියක් මැසීම , සිප් එකක් ඇල්ලිම රෙදි මැදීම, අසුරන වලට දැමීම, ලේබල් ගැසීම වැනි මෙකී නොකී කාර්යයන් එකක් හෝ දෙකක් පමනක් දන්නා පිරිස් දහස් ගනනක් මේ දිනවල ගලවා ඉවත් කරන යන්ත්‍ර මෙන් රැකියාවෙන් ඉවත් කරනු ලබයි.

එකම කාර්යයකට පමනක් හැකියාවක් ඇති මෙම පිරිසට වෙනත් රැකියාවක නියැලීමට හෝ ස්වයං රැකියාවක් කිරීමට හැකියාවක් නැහැ. විශාල වශයෙන් සෙවකයන් ඉවත් කලත් ඒ ආකාරයෙනම අපේ රටේ රැකියා අවස්ථා අළුතින් ඇතිවන්නේ නැහැ.

ඉතින් මේ අයට සහ එයාලගෙන් යැපෙන අයවෙනුවෙන් මෙච්චර කාලයක් මේ උදවිය නිසා සැප විඳපු අයගෙන්නම් මොනවා හරි වෙයි කියලා මටනම් හිතන්න බැහැ. මේක සැබැවින්ම කනගාටුදායක තත්වයක්.

අයින් වෙනකොට මාස දෙක තුනක වැටුප දුන්නත් ඒ දෙන්නේ මූලික වැටුප පමනයි බොහෝ විට කමහල් වල සේවය කරන අයගේ මූලික වැටුප රුපියල් 3000ක් ඉක්මවන්නේ කලාතුරකින් ඉතිරි සියල්ල ඔවුන් ලබන දීමනා ඉතින් රුපියල් හත් අට දහසක් එකවර ලැබුනා කියා ඔවුන්ගේ ජීවිතවලට වෙන සෙතක් නම් නැහැ.

මේකත් නිකන් බලන්න

මෙවන් පුදගලයෙකු ගැන ලිවීමට තරම් මට ඔහුගැන දැනුමක් නැත. ඔහුගේ චිත්‍රපට සමහරක් මා නරඹා ඇතත් ඒවා ගැඹුරින් තේරුම් ගෙන නැත. පිටගම්කාරයෝ ටෙලිනාට්ටියා බැලුවා වගේ ලාවට මතකයක් ඇත. ඒත් එය තෙරුම් ගත්තේනම් නැති බව මට විශ්වාසය. ඔහුගේ මා විසින් කියවා ඇති ඔහුගේ එකම පොත "අයාලේ ගිය සිතක සටහන්" යන්න පමනි. එහි ඇති රසවත් බව නිසාම මම ඔහුට අතිශයින් ප්‍රියකරමි. ඔහු ගැන හෝ ඔහු සමග කල සාඛච්ඡා ඇසුරින් ලියූ පුවත්පත් ලිපිනම් හමුවූ සෑම විටම මා විසින් කියවා ඇත.

සාමාන්‍යයෙන් මෙරට ප්‍රසිද්ධ පුදගලයන් මියගිය විට මට ඒ ගැන කිසිම කනගාටුවක් නැත්තේ ඔවුන්ගෙන් මෙරටට සිදුවන සෙතක් නැති නිසාය එහෙත් මෑත්දී මියගිය කේමදාසයන්ගේ සහ මෙතුමාගේ අභාවන් සැබවින්ම මා සසල කලබව මට සිතේ. මන්ද යත් මොවුන් මියගියපසු ඔවුන් සතුවූ ඒ මහා දැනුම් සම්භාරය, හැකියාවන් ඔවුන් සමගම දැවී අළුවී ගිය බැවිනි. අනාගතයට සුරැකිව ඇත්තේ ඒ ගැන මතකයන් පමනි.

ඔහු ගැන ලිපි කිහිපයක්

සුදුර්ලභ මිනිසා
තිස්ස අභිමානවත් පිටගම්කාරයා
විශිෂ්ඨයෙකුගේ සමුගැනීම
නිල් අහස් තලේ නෑ වලාකුළු...
අයාලේ ගිය සිනමා වන්දනාකාරයා
රණකාමය, ජාතිකත්වය හා කලාකරුවා
සමසමාජකාරයා කවදත් හිස කෙළින් තබාගෙන නිවැරිදි දේ නිර්භයව කළ අයෙක්

අදට අවුරුදු අවුරුද්ද උදා වෙලා සතියක්. මට තාම අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න (බොන්න) බැරි උනා. වෙන අවුරුදු වලනම් 14 වෙනිදම වැඩ පටන් අරන් මේ වෙනකොට හතර පස් වතාවක්ම කටයුතු වල නිරත වෙලා. ඒත් මේ පාර තාම නැහැ. මටත් පුදුමයි ඒ ගැන. මේකට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තෙ අපේ පවුලේ සමීපම හිතවතුන් කිහිප දෙනෙක්ම පහුගිය කාලයේ රට හැරයාම. ඒක නිසා දැන් සෙට් වෙන්න උදවිය නැහැ. තනියම ඔය කටයුත්ත කරන එකේ කිසිම ගතියක් නැති නිසා වැඩ කල් දදා ඉන්නවා.

ඒ අස්සේ අද ප්‍රවෘත්තියකට කියවුනා ඡන්දේ හින්ඳා 25,26 බස්නාහිර පළතේ සියළුම බාර් වහල කියලා. ඕකෙන් ඉතින් බස්නාහිර පළාත මායිමේ තියෙන වෙන පළාත් වලට අයිති වෙන බාර් වලට හොඳ වෙළඳාමක් තියෙයි. ඒ කියන්නේ මේ සතිඅන්තයෙත් මට වැඩක් කරන්න බැරිවෙයි වගේ.

අද රාත්‍රී අහාර වේල සඳහා මගේ ප්‍රියතම මස් වරගය වන ඌරු මස් තිබූ නිසා ඉස්මුරුත්තාව හැදෙනකම් බත් ගිල්ල. අපේ ගෙදරට අමු ඌරු මස් ගේන්නේ නැතත් උයාපුව රැගෙන එන බැවින් ඉඳහිට ඌරු මස් ආහාරයට ගැනීමට ලැබෙනවා.කඩෙන් කනවිටනම් අනිවාර්යයෙනම් වෙනත් මසක් මා ඇනවුම් කරන්නේ එම කඩයේ ඌරුමස් නොමැති නම් පමණි.

බොහෝ දෙනෙක් ගෙවල් වලට ඌරු මස් නොගෙනාවත් පිටත ආහාර ගන්න විට ඌරු මස් බොහෝම ආසාවෙන් කෑමට ගන්නව මම අනන්තවත් දැක ඇත. සමහර උදවියට නම් ඌරු මස් බොහොම අප්‍රසන්න වන්නට හේතුවක් වී ඇත්තේ ඌරා ගන්න ආහාරයය නමුත් ඌරු මස් මෙතරම් රස වීමටද හේතුව වනුයේ ඌ ගන්න ආහාරයම විය හැක.

අපිට වැඩිපුර ලැබෙන්නේ ගම්(චීන) ඌරු මස් ය නමුත් වල් ඌරු මස්ද බොහෝ ප්‍රදේශවල ලබාගැනීමට ඇත මටනම් වල් ඌරුමස් වලට වඩා ගම්(චීන) ඌරු මස් රසවත්ය. ඌරු මස් අධික තෙල් සහිතවන අතර සමහර ප්‍රදෙශවල මෙම තෙල් සහිත කොටස පමණක් ඉතාම රසට පිලියෙල කරනු ලැබේ. සමහර උදවිය මෙම තෙල් සහිත බව නිසා ඌරුමස් ආහාරයට නොගත්තත් ඌරුමස් වල ඇති විෂේශත්වයත් මෙම තෙල් සහිත බවය.

ඩෙවිල් පොර්ක් එකක් තිබෙනවා නම් බාගයක් ගහන එක සිම්පල් කටයුත්තකි.

ඉතින් ඊයේ රෑ අටට පටන්ගත්ත බ්ලොග් මැරතන් එක අද ඉවර උනා . පැය විසි හතරක් පැය කාලෙන් කාලට ලිපියක් ලියන එක එතරම් පහසු කටයුත්තක් නෙමෙයි ඉතින් අපේ පිස්සාගේ දුවන බ්ලොගය මේ කටයුත්ත ඉටු කලා.

මාත් ඇතුළුව තව කිහිප දෙනෙක් මේ කටයුත්තට සහභාගී උනත් ලිපි 96ක් ම ලියැවුනේ නැහැ වෙන අය අතින්.

බැලූ බැල්මට මේක පිස්සු වැඩක් වගේ පෙනුනත් මටනම් ඒක හරිම විනෝදාත්මක කාරියක් උනා. සිංහල බ්ලොග් ප්‍රචලිත කරන්න මේක අපූරු වැඩක්. ලියන්න උනන්දුව ඇති වෙනවා. ලියන්න ආසත් හිතෙනවා.

ලිපි ලියමින් අනික් අයගේ බ්ලොග් වලට අදහස් එකතු කරන එක හරිම ජොලි වැඩක්. එකිනෙකා අතර සුහදතාවත් ඇත්තටම වර්ධනය උනා.

මන් හිතන්නේ බ්ලොග් මැරතන් එකෙන් සංවිධායකයෝ බලාපොරොත්තුවෙන සේරම වගේ ඉශ්ඨ වෙනවා.

මම හිතන විදිහට මේක තුන්වෙනි මැරතන් එක
මම සහභාගී උන පළවෙනි එක
හිතාගෙන අවෙ නම් ලිපි 96ම ලියන්න ඒත් ලියන්න පුළුවන් උනේ විසි ගානයි. කමක් නැහැ ඊලඟ පාර සේරම ලියන්වා
ඉතින් මේ තරඟය සංවිධානය කරපු, තරඟයට සහභාගී උන, වතුර ගහපු හැමෝටම ස්තූතියි!!!!!
චියර්ස්ස්ස්ස්ස්.....!!!!!

මටනම්
පළවෙනි ස්ථානය
පිස්සාගේ දුවන බ්ලොගය
දෙක
...සඳක් නැති සඳැල්ලක්...
තුන
ශ්‍රීශානුගෙ දිවිල්ල
ඉන්ද්‍රනාම ගේ මැරතන් අඩවිය
තාරකගේ මැරතන් 2009

විසි නමය
ඉතින් දැන් මැරත්න එක අවසාන වෙන්නත් ලඟයි. තවමත් අපේ ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් දුවනවා. ආරම්භයේ සිටි බොහෝදෙනෙක් මේ වනවිට විවේක සුවයෙන් සිටිනවා.

දුවපු අය වගේම වතුර ගහපු අයත් දුවන්න පාර සුද්ද කරලා දීපු අයත් මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කලයුතුයි.

මම නම් දැන් දුවලා ඉවරයි. තරඟය නරඹමින් තමා ඉන්නේ.

දුවන හැමෝටම සුබ පැතුම්.

විසි අට
වෙනදා වගේ ඉරිදා පත්තර ටික සෙනසුරාදා (අද ) ආව. (පත්තර බෙදන කෙනා ගෙනාව නැතුව පත්තර ඇවිදන් අවේ නැහැ )ඉස්සරනම් ඉරිදා පත්තර තිබ්බේ රුපියල් 25 ට දැන් 40,50 ඒ මදිවට පිටුත් අඩුවෙලා. ඉස්සර සිළුමිනක් ගත්තම මාසයක් බත් ඔතන්න ඇති දැන් සතියකත් මදි වගේ.(ආණ්ඩුවේ පත්තරේ මිනිස්සු වැඩිපුරම ගන්නේ කොල ගොඩක් තියෙන නිසා මිසක් බලන්න දෙවල් ගොඩක් තියෙන නිසා නම් නෙමෙයි ).

දැන් දැන් පත්තර සේරම එක වගේ මෙලෝ දෙයක් නැහැ බලන්න. මේ දවස් වල බස්නාහිර ඡන්දේ නිසා බාගයක්ම තියෙන්නේ එයලගෙ දැන්වීම් .

මේ මිනිස්සු පත්තරවල දැන්වීම් දාන්න වියදම් කරන සල්ලි වලින් ලේසියෙනම තිබ්බ ඉස්කෝලයක් හදලා දෙන්න. දැන්වීම් දානවා ඉස්කෝල හදනවා කියලා කරන්නේ නම් නැහැ. දැන්වීමට තමන්ගේ සල්ලි වියදම් කලාට හදන්න සතපහක් වියදම් කරන්නේ නැහැ සේරම ආණ්ඩුවෙන් දෙනකම්ම ඉන්නවා. අනේ මුන්ටනේ අපි 25 ගිහින් කතිරේ ගහලා එන්නේ.

විසි හත
හරියටම තරඟ කලානම් මැරතන් එක ඉවර වෙනකොට ලිපි අනූ හයක් තියෙන්න ඕනේ. මගෙ නම් තියෙන්නේ විසි ගානක් විතරයි. මම මැරතන් එකෙන් හතරෙන් එකකට වගේ තම සහභාගී වෙලා තියෙන්නේ.

මම සහභාගී වෙන පළවෙනි එකනේ. ඉතින් ඔය මදෑ. ඊලඟ පාර මීට වඩා ට්‍රයි කොරනවා.

ආරම්භයේ සිටම සිටි ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම තවමත් තර්ඟ කරන බවක් පේන්න තියෙන්වා.

දැන් ඉතින් ලියන්න තියෙන සේරම වගේ ලියලා ඉවරයි ආයි කාලෙකට බ්ලොග් එකට මොකුත් ලියන්න වෙන එකක් නැහැ වගේ.

විසි හය
දැන් මැරතන් තරන්ගය 18 වෙනි පැයටත් ලන්වෙලා. දනුත් තරඟකාරයො තමන්ගේ දිවිල්ල කරගෙන යන්වා.
මමනම් කඩින් කඩ තම තරඟයට සහභාගී උනේ.

මට අලි වැඩක් උනා. අද දිවා අහාරය සඳහා ආරාධනයක් තිබ්බ මාත් ඉතින් උදේටත් නොකා හොඳටම බඩගිනි වෙනකම් ඉඳලා ගියා. හිස් අතින් යන්න බරි නිස පොඩි පහේ කේක් ගෙඩියකුත් අරන් තමා ගියේ. මෙන්න බොලේ යනකොට ආරාධනා කරපු ගෙදර දොරවල් ජනෙල් වහලා කිසිම කෙනෙක් පේන්න නැහැ.

ගෙදරටත් කෑම එපා කිව්වා. ඉතින් බලලා බලලා කඩෙන් බත් එකකුත් අරන් ආපහු ගෙදර ආවා. දැන් ඉතින් ඒකවත් කන්න ඕනේ.

විසි පහ

අපේ ගෙවල් ලඟ අඹ ගහක ගෙඩි පිරිලා තිබ්බ. ඒකේ ගෙඩි ඉදෙන්න කලින් පණුවෝ ගහනවා ඒක නිසා කවදාවත් ඉදුනු ගෙඩියක් කන්න බැහැ. ගහයට හැම තැනම පණුවො ගහපු ගෙඩි පිරිලා. මේ ලඟදි එයාලට වාසියක් වෙලා. ඔය ස්වභාවික පලතුරු බීම හදහන සමාගම නියෝජිත්යෙක් ඇවිත් මුළු ගහේම අඹගෙඩි ටික සල්ලිත් දීල කඩගෙන. නිකන් කුනුවෙලා යන එක නිසා එයාලත් දීලා.

ඉතින් ඔන්න ඔය වගේ ඉස්තරම් පළතුරු තමා ඔය උදවිය බීම හදහන්න පාවිච්චි කරන්නේ.

ඇත්තටම තමන්ගේ වත්තේ හැදෙන එළවලුවක් පලතුරක් ඇරෙන්න කඩෙන් ගන්න කිසිම දෙයක් ගැන මේ කලේ නම් විස්වාස කරන්න බැහැ.

විසි හතර
අවුරුදු දවසට පහුවදා මම තවත් මිතුරෙක් සමග බෝපත් ඇල්ල බලන්න ගියා. සිදුවෙලා තියෙන වෙනස්කම් නම් අදහා ගන්නත් බැහැ.

ඉස්සර මම ජීව්ත් උනේ ඇල්ලට යන පාරේ ඒ කාලෙ අපිටනම් කිසිම වටිනා කමක් තිබ්බේ නැහැ ඇල්ලේ ඒත් දැන් බෝපත් ඇල්ල බොහෝ දෙනෙකුට ජීවනෝපාය වෙලා. ඇල්ල අවට පරිසරයන් හොඳටම විනාස කරලා. හරිම අපිරිසිදුයි නව ගොඩනැගිලි හදලා මුදල් අයකරන අය පරිසර රැකීම ගැනවත් පිරිසිදුකම ගැනවත් එච්චර තැකීමක් කරන්නේ නැහැ වගේ.

ඒ කාලෙන කට්ටිය 10ක් විතර නැත්නම් අපි යන්නේත් නැහැ ඇල්ලට මොකෝ ඒ තරම් පාලුයි ඒ වගෙම හොරු හිටියා. දැනුත් හොරු ඉන්නවා නාන්න යන අයගේ ගමන් මළු වගේ එවා පැහැරගෙන යන අය. ඉතින් ඔයාලත් යන්වනම් වටින කියන බඩු භාණ්ඩ පරිස්සම් කරගන්න. නන්න ගලවලා තිබ්බනම් ඒ අසලින් තමන්ගේ කෙනෙක්ම රඳවන්න.

ඇත්තෙනම ඇල්ල ලස්සන පල්ලේහාට ඉතින් වීරයෝ වෙන්න හිතාගෙන උඩට නැගලා නිකන් ජීවිතේ නැති කරගන්න එපා. බිව්වට කමක් නැහැ ගැඹුර නැති තැනක නාන්න.

අංක විසිතුන
පහුගිය දවසක පරණ හිතවතුන් පිරිසක් මුන ගැහුනා. හමෝම ඉතින් කාලෙකට පස්සේ හම්බ උන නිසා ආගිය තොරතුරු කියන්න පටන් ගත්තා.

ඉතින් ඔන්න කෙනෙක් කියන්ව, දවසක් මචං අපේ ගෙදර බොන්න සෙට් වෙල... අනික් එක්කෙන කියන්ව මන් දවසක් බෝතලෙකුත් අරන්... ඕං තව එකෙක් කියන්වා අපි එදා බෝතලේකුත් අරන්... එදා සෙට් වෙච්ච වෙලාවේ කියල තවත් එකෙක් කියපි ඔන්න ඔය වගේ තම හැමෝගෙම වගේ සොඳුරු මතකයන් එක්ක බෝතලයක් සම්බඳ වෙලා.

අවුරුදු දවස් දෙකේ අරක්කු වික්ක කෙනෙක් හම්බ උනා, ගල් බෝතලේ 1500/= ටත් වික්කලු. මේ මිනිස්සුන්ට අවුරුද්දට කලින් රුපියල් 550ක් දීල ගන්න බැහැ ඒදාට 1500ක් දීල ගන්නව. මේක ආණ්ඩුව එහෙම දැන ගත්තොත් අරක්කු ගනන් තවත් වැඩි කරයි

අංක විසිදෙක
ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්.
වෙන රටවල් ගැනනම් මන් දන්නේ නැහැ ඒත් ලංකාවෙ මන් ගිහින් තියෙන හැම පළාතකම වගේ මදුරුවෝ ඉන්නවා. ඉස්සරනම් නුවරඑළියේ එහෙම මදුරුවෝ හිටියේ නැහැ ඒත් දැන්නම් මෙහෙ තරමටම නැතත් මදුරුවෝ ඉන්නවා.

නුවරඑළියේ ඉන්න උන් සීතලට මොකක් කරනවද කියලා නම් මන් දන්නේ නැහැ (අපි වගේ බොනවා ඇති හැබැයි මත්පැන් නෙමෙයි වැඩි වැඩියෙන් අපේ ලේ)

මෙච්චර මදුරු මර්දන ව්‍යාපාර ක්‍රියාත්මක වෙද්දිත් මදුරුවො හැදෙන්නේ කොහෙද මන්දා. එහෙම නැත්නම් මදුරු නාශක විකුනන මුදලාලිලා මදුරුවෝ ඇති කරලා එලියට දානවද කොහෙද.

කඩේ නම් එක එක ජාතියේ මදුරු මර්දන් තියෙනවා. ඔය හැම එකක්ම වගේ මන් පාවිච්චි කරලත් තියෙන්වා. මටනම් හම්බ උන හොඳම ක්‍රමය තම මදුරු දැල

මදුරු දැල් ශරීරයට අහිතකරත් නැහැ. එක පාර ටිකක් වැඩි මුදලක් වියදම් වෙන එක විතරයි ඊට පස්සේ හැමදාම නොමිලේ සේවය. ඉඳලා හිටලා හේදුවහම ඇති ඒ නැතත අවුලක් නැහැ

අංක විසි එක
මම ඉතින් බ්ලොග් එකේ එක එක දෙවල් ගැන ලියනවා ඒත් වැඩිපුරම ලිපි ලිය වෙන්නේ බීම ගැන තමා.
මන් මෙච්චර කල් ලියපු ලිපි අතරින් වැඩිපුරම ප්‍රතිචාර තියෙන්නේත් බීම ගැන ලියපුවාට තමා.

මගේ සමහර ලිපි නම් හරිම අසාර්ථකයි. සමහරක් එවා නම් හොඳට ලිය උනා කියලා මට හිතෙනවා. හොඳටම සවුත්තුයි කියලා හිතුන ඒවා නම් මන් ඉවත් කලා ඒත් අනික් අය ප්‍රතිචාර දක්වපුවා ඉවත් කරන එක හරි නැහැ වගේ නිසා සමහර ඒවා නම් ඔහේ තියෙන්න ඇරියා.

කොහොම උනත් මාස 7ක් විතර බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය එක ගැන නම් මන් සතුටු වෙනවා.

අංක විස්ස
ලියන්න දෙවල් හිතේ තියෙනකොට ලියන්න හිතෙනව. ඒත් එවා ලියාගෙන ලියාගෙන ගිහින් ඉවර උනාම හිතට හිස බවක් දැනෙනවා. හරියට බල්දියක තිබ්බ වතුර ටික සේරම එලියට අරන් වීසි කලාවගේ. ලියන තරම් වේගයෙන් ඔලුවට අදහස් එන්නේ නැහැනේ ඉතින් අළුතෙන් ලියන්න දෙවල් නැහැ වගේ.

අද පොල දවස. ඉස්සරනම් පොලේ ගිහින් බඩු ගේන්වා දැන්නම් යැවෙන්නේ හරිම අඩුවෙන්. හැම තැනම දාල තියෙන එළවලු කඩ නිසා දැන් පොලේ යන්න ඔනේම නැහැ ඔනෙම දවසක හොඳ එළවලු ගන්න පුළුවන්. මේ පැත්තේ තියෙන එළවලු කඩයකුයි පොලේ වෙලෙඳන් අතරයි පහුගිය කාලෙ පොඩි පහේ යුද්ධයක් තිබුනා. දැන්නම් එහෙම එකක් නැහැ.

කොහොම උනත් මිනිස්සු යන්නේ රුපියලක් හරි තමන්ට වාසි තැනකටනේ. ඒකට කාටවත් දොස් කියන්න පුළුවනෑ

අංක දහ නමය
අත්‍යාවශ්‍ය නොවන අත්‍යාවශ්‍ය ආහාරයක්. කිරිපිටි කොහොමද අපේ අයට නැතුවම බැරි උනේ කියලා මම නම් දන්නේ නැහැ. මටත් ඉස්සර පිටි කිරි වීදුරුවක් උදේට නැතුවම බැහැ. නැගිටපු ගමන් හොයන්නේ උදේ කිරි එක. ඒත් මන් දැන් පිටි කිරි බොප්න එක සම්පූරනයෙන්ම නවත්තලා තියෙන්නේ. එළකිරි හම්බ උනොත් විතරක් බොනවා නැත්නම් ඒකත් නැහැ.

පිටි කිරි බොන එක නැවැත්තුව නිසා මගේ ශරීරයටනම් කිසිම ආබාධයක් ඇතිඋනේ නැහැ. මම නම් හිතන්නේ මේ පිටි කිරි අත්‍යාවශ්‍ය ආහාරයක් කරන එක පිටි කිරි විකුනන සමාගම් විසින් ඇති කරපු මතයක්.

කාලයක් මෙලමයින් තියෙන්වා කියලා කතාවක් ආවා. දැන් ෆාම් ඔයිල් තියෙන්වා කියනවා ඉතින් ඇත්තටම පිටි කිරි වල මොන මොන විස දේවල් ශරීරයට අහිතකර දේවල් තියෙනවද කියල කවුද දන්නේ?

සමාගම්වලට කැමති කැමති විදිහට ගනන නග්ගන්න දුන්නනම් අපේ අය පිටි කිරි බොන එක නිකම්ම නැවතිලා

අංක දහ අට

ඔන්න බ්ලොග් මැරතන් එකේ දෙවෙනි දවසත් උදා උනා. මම නම් නිඳකුත් දාල නැගිට්ට විතරයි. තවමත් අපේ සහෝදරවරු දුවන බවක් තමා පේන්නේ. ඉතින් උදේ පාන්දරම දුවන හැමෝටම මන් ගානේ වතුර පාරක්.

දුවන්න මල්ලිලා හයියෙන් දුවන්න....

චියර්ස්ස්ස්....!!!!

අංක දාහත
දැනට මම නවතිනවා ආයි හෙට උදේට ලියන්න හිතාගෙන ඉන්නවා. අද දවල් තමා මන් හිතුවේ මැරතන් දුවන්වා කියලා. ඉතින් මේ මදෑ ලිව්වා. ආයි හෙට ලියන්වා.

අනික් දුවන හැමෝටම සුභ පතුම්

කමෙන්ට් වතුර ගහපු අයටත් ටැන්කියූයූ...!!!

අංක දාසය

හැන්දෑවට බාර් එකක් ගාවින් යනකොට අපේ රටේ මිනිස්සු බොන හැටි බලා ගන්න පුළුවන්. කාලෙ බෝතලයක් අරන් ගිහින් පෝලිමේ ඉඳන් බාර් එකෙන් එකට අරක්කු පුරෝ ගන්නවා, ඊට පස්සේ ඇවිත් කළුවර තැනකට වෙල ඒක කටේ හලාගෙන මූනත් ඇඹුල් කරගෙන කෙල ගහලා යන්වා යන්න වෙන කෙනෙකුට හිස් බෝතලේ දීලා

මමනම් බීම කියන්නේ ඕකට නෙමෙයි. ඔය මත්පැන් හැම එකකටම රසක් තියෙන්වා ඒක නිදහසේ විඳ විඳ බොන එකට තමා මන් කැමති. විවිධ මත්පැන් වලට විවිධ ජාති මිශකරලා එවායේ රසය වෙනස් කරලා තමයි වෙන රටවල නම් මිනිස්සු මත්පැන් බොන්නේ

අරක්කු වලට නැති උනාට වෙනත් ජාති වලටනම් Cocktail recipes තියෙන්වා. ඒවාට මිනිස්සු විවිධ නම් පවා භාවිතා කරනවා. අපේ රටේ අය තාම අමුවෙන් ගල් ගහනවා

අංක පහලොව
ඉස්සර බස් එකේ ගිය මම දැන් ගමන් බිමන් යන්නේ මෝටර් බයිසිකලයේ. මම නම් ඒකේ කිසිම හොඳක් දකින්නේ නැහැ මොකෝ දැන් දැන් පොඩි දුරක්වත් පයින් යන්නේ නැතුව මම පෙට්‍රල් පුච්චගෙන මෝටර් බයිසිකලයේ ගමන් යන්න පුරුදු වෙලා. එක මගේ සාක්කුවටනම් එච්චර හොඳක් කරන්නේ නැහැ.

ඉතින් ඔය මෝටර් බයිසිකලේ පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් තියෙන්වා. මන් මේ කියන්න හදන්නේ ඉස්සරහට කවුරුහරි ඒක නවීකරනය කරන්න හිතාගෙන ඉන්නවනම් මේවා ගැනත් පොඩ්ඩක් හිතන්න.

මෝටර් බයිසිකලේ තියෙන ප්‍රධානම අඩු පාඩුව තමා වහලයක් නැති එක. වහින වෙලාවට ඉතින් දෙයියන්ගෙම පිහිටයි . අහසින් වහින වතුර මදිවට පාරෙ තියෙන වතුරත් අනික් වාහන වලින් අපේ ඇඟටම ගහලා යනවා.

දෙවෙනි එක තමා එකපාරට නවත්ත ගන්න තියෙන අපහසුව. මේක අනික් වාහන වල තිබ්බත් ඊට වඩා මේකී තියෙන්වා ඒක අපේ ජීවිත වලට ලොකු අවදානමක්.

තුන්වෙනි එක තමා මේකෙ බඩු භාණ්ඩ ටිකක් වැඩිපුර ගෙනයෑමේ අපහසුව.

මේවත් සම්පූරන උනානම් මෝටර් බයිසිකලේ කියන්නේ එළ වාහනයක්

අංක දාහතර

හිතේ තිබ්බ ගොඩක් දෙවල් දැන් ලියලා ඉවරයි ඒක නිසා දැන්නම් මට ලියන්න දෙයක් ගැන හිතා ගන්නත් අමාරුයි.

දැන්නම් ලාවට බියර් තිබහක් ඇති වේගන එනවා. මොනා කරන්නද දන් බාර් වහලනේ. කලින් බඩු ලෑස්ති කරගත්තෙත් නැහැ.

අවා පොඩි අදහසක් ඒක ගැන ඊලඟ ලිපිය ලියන්වා. එහෙනම් තව ටිකකින් ඒක බලන්න

අංක දහතුන

ගොඩක් දෙනෙක් කැමති නැති කෑමක්, විසේසයෙන් කාන්තා පාර්ශ්වේ අය චුයින්ගම් කන්න කමති උනාට බුලත්විට නම් පෙන්නන්න බැහැ. මේකට ගොඩක්ම හේතුව තමා බුලත් කාල හැම තැනම කෙල ගහන එක.

මම හැදුන ගොඩක් ගෙවල්වල ඉස්තෝප්පුවේ වරදින්නේ නැති දෙයක් තමා බුලත් හෙප්පුව. ගෙට ගොඩවෙන ඕනෑම කෙනෙක්ගෙන් අහන්නේ විටක් කමුද කියන එක තමා. පොඩි කාලෙනම් පොඩි තහනමක් තිබ්බත් දැන්නම් එහෙම එකක් නැහැ. අදවගේ නිදි මරන්න තියෙන දවසක ඒකට කියාපු දෙයක් තමා බුලත් විටක් කියන්නේ. මල ගෙවල් වල නිදිමරන අයට නියම අවුසද‍යක් විටක් කන එක.

හුණු සහ දුංකල කන එක සරීරයට අහිතකර උනත් බුලත් සහ පුවක් සමග අනික් කලමනා විටට ගැනීම අහිතකරයි කියලා මම නම් හිතන්නේ නැහැ.

මේකත් කියවලා බලන්න

ඔය කවුරු අකමැති උන අපේ ව්‍යත්සයින් (නම හරිද මන්දා ) නුත් මේකෙ ගුණ ගැන කියලා තියෙන්වා

අංක දොලහ
අපේ මකර රජ දහනේ එක පාරක් තිබ්බා "මම මලක් ගැසුවෙමි" කියලා ලිපිය ඒකට ආපු සමහර අය ඇවිත් තිබ්බේ මලක් ගැහුවම මොනවගේද කියලා දැන ගන්න. කාලෙකින් මලක් ගහන්න ලැබුනේ නැති නිසා මටත් ඒක මොන වගේද කියලා හරියටම මතක නැහැ.

ඒත් ෆුල් ආතල් කියලානම් මතකයි. ඇත්තටම මලක් ගැහුවම මොන වගේද කියන එක කාටවත් කියන්න බැහැ ඒක තමන්ම අත්විඳලා බලන්න ඕනේ දෙයක්. මෝකො එක එක්කෙනාට ඒක දැනෙන්නේ වෙනස් විදිහකට නිසා.

පාවෙනවා වගේ. මම ගහපු හැමවෙලේම වගේ වෙන ඒවත් මිශ්‍ර වෙලා නිසා තනිකරම මලේ අගය විස්තර කරන්න විදිහක් නැහැ. හොඳටම මතක එකම දේ තම ඊට පස්සේ ඇති වෙච්ච පුදුමාකාර බඩගින්න. ඒක නිවා ගන්න එක පාරක් අයිස් ක්‍රීම් ලීටරයක් විතර කෑවා

අංක එකොලහ
එක එක ජාතියේ අරක්කු වලට මාරු වෙලා අන්තීමට මම නැවතුනේ මෙන්න මේ ජාතියෙන්
මේක හරිම ටොප් බීමක්.

ඉස්සෙල්ලම බීපු අරක්කු ජාතියේ නම නම් මට මතක නැහැ ඒත් මතකයේ තියෙන මුල්ම ජාතිය තමා මේක. සංස්ථා White Label. මෙක තොරාගන්න හේතු උනේ මේක අනික් එවා තරම් ගඳ නොවීම. මොකො ඒකාලෙ මම උපෙ ට ක්ලාස් යන්වනේ ඉතින් ගඳත් ප්‍රශ්නයක්.

කාලයක්ම මන් බිව්වේ Old Reserve ඒත ඒකෙ ගානනම් දැන් ඔරොත්තු දෙන්නේ නැහැ (850/= +) ඊට පස්සේ V.S.O.A. Double Distilled නුත් කාලයක් බිව්වා ඒත් දැන් මේක.

වැඩිපුර දැනගන්න මේකත් බලන්න

අන්තිම වතාවට ගන්නකොටනම් ගාන රුපියල් 640/= දැන්නම් කොහොමද දන්නේ නැහැ

අංක දහය
හැමෝගෙම පවුල් වල සාමාජිකයෝ ඉන්නවා ඔය අතරින් අපි කැමති වගේම අකමැති අයත් ඉන්නවා.
සමහර අය උපන්දා ඉඳලා පවුලේ සාමාජිකයන් වෙනකොට සමහර අය අළුතින් සම්බන්ද වෙනවා.

මම මේ කියන්න යන්නේ මම කැමතිම අපේ පවුලේ සාමාජිකයෙක් ගැන. මචන් කෙනෙක් ඉතින් අළුතින් එකතු උන සමාජිකයෙක් නේ.

අපේ පවුලට එකතු උනදා ඉඳල නෙමෙයි එකතු වෙන්නත් කලින් ඉඳලා අපි දෙන්නා බොන පාට්නර්ලා. කොහේ ගියත් අපි දෙන්න තමා බොන දේවල් වලට මූලිකත්වය ගන්නේ. හැමදාම අන්තිමට කෑම කන්නේ අපිදෙන්න ඒක නිසා බැනුම් අහගන්න වාර අනන්තයි. මොක උනත් දෙන්නටමනේ ඒක නිසා අවුලක් නැහැ.

ට්‍රිප් ගියාම ගිය වෙලේ ඉඳන් සහ යන අතරමගදි පවා යන එකට නොව බීමට මුල් තැන දෙන්න මචංගෙන් මට ලැබුන සහයෝගය කියලා නිම කරන්න බැහැ. ට්‍රිප් එක ඉවර වෙනකම්ම අපේ රාජකාරිය උනේ ගෙනිච්ච බෝතල් ටික ඉවර කරන එක. මට අපේ පවුලේ වැඩිහිටියන්ගේන් බැනුම් ආවත් මචන් අළුත් සාමාජිකයෙක් නිසා ඔහුට එතරම් බලපෑම් නැහැ ඉතින් ඒක මටත් වාසියක්ම උනා.

මචංට බොන්න ඕනෑ උන හැම වෙලාවකම මම සූදානම් නැතත් මට බොන්න ඕනෑ උන හැම වෙලාවකම මචං මගේ සහයට හිටියේ බීමට බරපැනත් දරමින්.

ඉතින් මේ මස්සිනා පහුගිය දවසක අපේ රට අත ඇරලා වෙන රටකට පදිංචියට ගියා තමන්ගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් ඒකෙන් මට උන පාඩුව නම් කියලා නිම කරන්න බැරි උනත් ඔහුගේ අනාගතයට මම හදවතිනම සුභ පතනවා
චියර්ස්ස්ස්...!!!!
නිවාඩුවට එනකොට බොන්න මොනාහරි අරන් වරෙන් මචෝ...!!!!